Pages

Monday, 29 July 2013

ප්‍රසිද්ධ ජනප්‍රිය මුහුණු නැතිවුණත් අපි ළඟ ජනතාවට වැඩකරන්න කැපවුණු පිරිසක්‌ ඉන්නවා - ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා



"අපටත් තිබුණා ළඟදි ආණ්‌ඩුවට පැන්න එක්‌කෙනා වගේ ආණ්‌ඩුවට පැනලා තාන්න මාන්න පදවි වරප්‍රසාද ලබන්න. ඔය ආපු එක්‌කෙනාට වඩා අපට ලොකු පිළිගැනීමක්‌, ලාභ ප්‍රයෝජන ගන්න අපට තිබුණා. අපිට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පවා තනතුරු ගන්න ආරාධනා තිබුණා." හිටපු හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා බිංගිරිය මංසන්ධියේදී පැවැසීය.

මේ දැන් ආණ්‌ඩුවට එකතු වෙනවා කියලා කිව්වොත් අපිට ඉහළම ඇමැතිකම් ගන්න පුළුවන්. අද ජනතාවට විකල්ප දේශපාලන ක්‍රමයක්‌ අවශ්‍යයි. අද අපි යන යන තැන ජනතාව කතා කරන්නේ මේ වෙනසක්‌ විය යුතු කාලය කියලයි. අවුරුදු ගාණක්‌ අපි රැවටුණා ඇති. ජනතාවට වේල් තුනක්‌ තියා එකක්‌වත් කන්න නෑ. පරිප්පු සුඛෝපභෝගි ආහාරයක්‌ වෙලා. ජනතාව දුක්‌ විඳිනවා. හැම තැනකම දකින්න ලැබෙන්නේ බලාපොරොත්තු කඩවුණු මුහුණු. මේ නිතර දකින මුහුණුවල සතුටක්‌ නෑ. ජනතාව පීඩාවට පත්වෙලා.

පාර්ලිමේන්තුවේ ඉන්නේ "9" වසරවත් පාස්‌ නැති මැති ඇමැතිවරුන්. මේ ඇමැතිවරු තමයි ආර්ථිකය ගැන කතා කරන්නේ. සමහරුන්ට ග්‍රීසියේ දූපත් පවා මිලදී ගන්න මුදල් තිබුණට ජනතාව යන එන මං නැති තැනට පත්වෙලා.

අපි ළඟ ප්‍රසිද්ධ ජනප්‍රිය මුහුණු නෑ. අපි ළඟ ජනතාවට ආදරය කරන වැඩ කරන්න කැපවුණු පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ගේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයයි.

මෙම රැස්‌වීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නිකවැරටිය ප්‍රධාන සංවිධායක එස්‌.එම්. හේරත් මහතා ඇතුළු කථිකයන් කිහිප දෙනෙක්‌ අදහස්‌ දැක්‌වූහ.


 බන්ධුල හේරත් - සෝමවීර ගම්ලත්

No comments:

Post a Comment