Pages

Tuesday, 13 August 2013

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි, ඒකාබද්ධ වූ උතුර සහ නැගෙනහිරත් ඇතුළත්ව' – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන්  සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළාය. අනන්දි විමුක්ති කොටි නායකයෙක් වන එලිලන්ගේ බිරිදයි. එල්ටීටීඊ සංවිධානය විසින් භාවිතා කළ නම එලිලන් වුවත් ඔහුගේ නම වන්නේ සසිදරන් ය. අවසාන යුද්ධ සමයේදී මුලතිව් සෙල්වපුරම් ප‍්‍රදේශයේදී 2009 මැයි 18 වැනිදා ෆ‍්‍රැන්සිස් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් දහස් ගණන් කොටි සාමාජිකයන් මෙන්ම නායකයන් ද හමුදා වෙත භාර වුණා. එසේ හමුදාවට භාර වූ අය අතර එළිලන් ද වෙනවා. නමුත් එසේ හමුදාවට භාර වූ තම ස්වාමි පුරුෂයා පිළිබඳව තවමත් කිසිඳු තොරතුරක් නැති බව අනන්දි සසිදරන් පවසනවා.

කෙසේ නමුත් මෙවර උතුරැ පළාත් සභාවට දෙමළ ජාතික සංධානයෙන් තරග කරන අනන්දි සසිදරන්, උතුරු පළාත් මැතිවරණය පිළිබඳව පවසන්නේ මෙවන් අදහසක්,
 දේශපාලනයට පිවිසීමේ අරමුණ කුමක්ද?
 බොහෝ කාන්තාවන් ස්වාමි පුරුෂයන්, ළමයින් දෙමව්පියන් අහිමි වී දුක්බර ජීවිතයක් ගත කරනවා. දහස් ගණන් අය හමුදා වෙත භාර වුණා. එයට සාක්‍ෂි ද තිබෙනවා. බොහෝ පිරිස් හතුරුදහන් වී තිබෙනවා. තවත් පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා. බන්ධනාගාරවල බොහෝ දෙමළ දේශපාලන සිරකරුවන්ද සිටිනවා. මේ පිරිස් නිදහස් කරගැනීම සඳහා හඬ නැගිය යුතුයි. සාමාන්‍ය කාන්තාවක් විදියට හඬ නැඟීමෙන් කිසිඳු ඵලක් නැහැ. දේශපාලන නියෝජිතයෙක් වශයෙන් හඬ නැඟීමට මම තීරණය කළා. එම නිසා උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් යාපන දිස්ති‍්‍රක්කයේ තරඟ කිරීමට තීරණය කරා. එවගේම මේ වන විට උතුරේ කාන්තාවන් මුහුණ දෙන ගැටළු ජාත්‍යන්තර ඉදිරියට ගෙන යාමට මම උත්සහ දරණවා.

දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙක් විදියට ප‍්‍රකාශ කිරීමෙන් පසු විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදු වූ බව අපට දැන ගන්නට ලැබුනා. එය සත්‍යක්ද, මොකද්ද එය?
ඔව්. ඒ සිදුවීම තර්ජනයක් ලෙස සැලකිය යුතුයි. කිලිනොච්චි ප‍්‍රදේශයට අයත් ග‍්‍රාම සේවකගෙන් ත‍්‍රස්ත මර්ධන ඒකකය මාගේ තොරතුරු සහ පවුලේ තොරතුරු විමසා තිබෙනවා. තමා වෙත කිසිඳු තොරතුරක් නැති බව ඔහු ත‍්‍රස්ත මර්ධන ඒකකයට දන්වා තිබෙවා. මාගෙන් තොරතුරු අසා දන්වන බව ඔවුන්ට ග‍්‍රාම සේවක පොරොන්දු වී තිබෙනවා. මා වෙත පැමිණී ග‍්‍රාම සේවක මාගෙන් තොරතුරු ඇසුවා. මෙවැනි බොහෝ සිදුවීම් වලට අපේ අපේක්‍ෂකයන් මුහුණ දී තිබෙනවා. ගෙදරට පැමිණ ආරක්‍ෂක නිළධාරීන් අපේක්‍ෂකයන්ගේ සහ පවුලේ තොරතුරු නිතර විමසනවා. මොන හේතුව මත ද තොරතුරු ලබා ගන්නේ කියා අපි දන්නේ නැහැ. නමුත් මෙවැනි සිදුවීම් තර්ජනයක් ලෙස අපි සලකනවා. එහෙම වෙන්නේ අපෙන් හොරෙන් ඇවිත් තොරතුරැ හොයන අය, ආණ්ඩු පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගෙන් හමුදාව කිසිඳු තොරතුරක් ලබා ගන්නේ නැහැ.
උතුර පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවේවි ද?
මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවේවි කියා විශ්වාස කරන්න බැහැ. නමුත් නිදහස් හා සාධාරණව මැතිවරණය පැවැත්විය යුතුයි. එයට ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් පැමිණිය යුතුයි. එවිට නිදහස් හා සාධාරණව මැතිවරණය සිදුවේවි කියා විශ්වාස කරන්න පුළුවන්. උතුරේ සිදුවෙන සිදුවීම් දෙස බලන විට මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සැකයි. මෑතකදී නාවට්කුලි ප‍්‍රදේශයේ ධර්මශාලාවක් වෙත එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාරය මැතිවරණය කඩා කප්පල් කිරීමේ අරමුණක් ද කියා අපට සැකයක් තිබෙනවා.

උතුරේ හමුදාව සිටීම මැතිවරණයට බාධාවක් කියලා බොහෝ අය කියනවා, ඔබේ අදහස මොකද් ද?
ඇත්තෙන්ම… උතුරේ හමුදාව විශාල වශයෙන් රැදී සිටීම මැතිවරණය ප‍්‍රචාරක කටයුතු වලට ඝෘජුවම හානියක් ඇති කරනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට ජනතාව එක්රැස් කරගැනීමට බැරිව තිබෙනවා. හමුදාව හැම තැනම සිටින නිසා ජනතාව නිදහස්ව ප‍්‍රචාරක කටයුතු වල නිරත වීමට බයෙන් සිටිනවා. එම නිසා මට නිදහස්ව මැතිවරණය ප‍්‍රචාරක කටයුතුවල යෙදෙන්න බැරි තත්වයක් උදාවෙලා තියනවා. උතුරු පළාතේ සිටින හමුදාව මුළුමනින්ම පිටත් විය යුතුයි. අපට හමුදාවක් අවශ්‍ය නැහැ.

බලතල ඉවත් කර මැතිවරණ පැවැත්විය යුතු බවට දකුණේ බොහෝ පක්‍ෂ ප‍්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබේ අදහස?
 ප‍්‍රථමයෙන් ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව 13 වැනි සංශෝධනයේ ඇතුළත්ව තිබෙන සෑම බලතලයක්ම උතුරැ පළාත් සභාවට ලබා දිය යුතුයි. ඒ සමඟ ඒකාබද්ධ වූ උතුර සහ නැගෙනහිරත් දෙමළ ජනතාවට ලබා දිය යුතුයි. මෙය 13 වැනි සංශෝධනයේ ඇතුළත් වී තිබෙනවා.
දෙමළ ජනතාවගේ අයිති වාසිකම් ලබාදීමට ඉන්දියාව ශී‍්‍ර ලංකා රජයට බලපෑම් කළ යුතුයි.


හමුදා වෙත භාරවූ ඔබගේ ස්වාමි පුරුෂයා පිළිබඳව කිසියම් හෝ තොරතුරක් ඔබට ලැබුණා ද? මුලතිව් සෙල්වපුරම් ප‍්‍රදේශයේදී 2009 මැයි 18 වැනිදා ෆාදර් ෆ‍්‍රැන්සිස් ප‍්‍රධානත්වයෙන් දහස් ගණන් විමුක්ති කොටි සාමාජිකයන්, නායකයන් සමඟ මාගේ ස්වාමි පුරුෂයා වන එලිලන් ද(සංවිධාන නම) හමුදා වෙත භාර වුණා. එවිට එම ස්ථානයේ මාත් සිටියා. මම වගේ බොහෝ භාර්්‍යාවන් දෙමව්පියන්, ළමයින් සහ සහෝදරවරුන් මෙම සිදුවීමට සාක්‍ෂි වශයෙන් සිටිනවා. නමුත් යුද්ධය අවසන් වී අවුරුදු 4ක් ගත වෙලත් මේ වන තෙක් මාගේ ස්වාමි පුරුෂයා පිළිබඳව හෝ අනිකුත් සාමාජිකයන්, නායකයන් පිළිබඳව වූ තොරතුරු නැහැ. මට පාසල් යන ගැහැණු දරුවන් තිදෙනෙක් සිටිනවා. මා වගේ ස්වාමි පුරුෂයන් අහිමි වූ බොහෝ කාන්තාවන් දුක්බර ජීවිතයක් ගත කරමින් සිටිනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනැඟීමට උදව් කිරිමට මම ගොඩක් උත්සහ දරනවා.

No comments:

Post a Comment