Pages

Thursday, 15 August 2013

මේක දුමින්ද සිල්වා කරලා තියෙන පළමුවැනි වැරැද්ද නෙවේ. - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර

හැමදාම ඔබ කිව්වේ දුමින්දට එළියට එන්න කියලා. දැන් දුමින්ද එළියට ඇවිල්ලා...?

මෙහෙමයි. C.I.D එකෙන් හරි පොලිසියෙන් හරි අධිකරණය ඇතුළෙන් හරි කතාවුණු දේට වඩා දෙයක් මම හොයාගත්තා. ඒ හොයාගත්තු දේ ගැන මට විශ්වාසයක් තියෙනවා. මොකද මට තමයි වුවමනාව තියෙන්නේ මගේ තාත්තව ඝාතනය කරපු පුද්ගලයාගේ තත්ත්වේ හොයන එක.

පිටරටවල ඉන්න මගේ නෑදෑයන්ගෙන් ලැබුණු ආරංචියි, මම හොයාගත්තු දේවලිනුයි මම දැනගෙන හිටියා මේ පුද්ගලයාගේ ඇත්ත තත්ත්වේ මොකක්ද කියලා. අධිකරණයේදී නීතිඥවරු පුන පුනා කිව්වත් මේ තමයි මෙයාගේ තත්ත්වේ කියලා ඇත්තටම අපි දැනන් හිටියා මොහුගේ ඇත්ත කායික, මානසික තත්ත්වය මොකක්ද කියන එක. මොහුව සැරෙන් සැරේ මුණගැහුණු කට්ටිය කවුද කියලා මට හොඳටම විශ්වාසවන්ත මාර්ගවලින් ආරංචි වෙලා තියෙනවා. අපේ තාත්තා ඝාතනය කළාට පස්සේ මොහුව හදිසියේ ජයවර්ධනපුර රෝහලේ ඉඳලා සිංගප්පූරු ගෙනිච්ච වෙලාවේ දුමින්ද සිල්වා ගිහින් තියෙන්නේ කකුල් දෙකෙන් ඇවිදගෙන. ඒක මම වගකීමෙන් කියනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔහු ජයවර්ධනපුර රෝහලෙන් ගියේ සනීප වෙලා. ඉතිං ඒකයි මම හැමදාම කිව්වේ ඔහුව පෙන්නන්න කියලා. දැන් මං කියපු දේ ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවා.

ඔබ කියන්නේ දුමින්ද කළේ බොරුවක් කියලද?

ඔහු රටක් රවටලා සාමාන්‍ය ජනතාවයි හැම කෙනාම රවට්ටලා
එළියට ඇවිල්ලා තියෙනවා. අධිකරණයේදී ඔහුට ඇප ඉල්ලුවේ ඔහුගේ මානසිකත්වය හැදෙන්න පවුලේ කට්ටියත් එක්ක ඉන්න ඕනෑ කියලා. හැබැයි එහෙම කියපු පුද්ගලයට දෙනෝදාහක් ඉස්සරහා කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඔහුට ඇප දෙන්න කලින් ඔළුව මැදි කරලා කපලා තිබුණු ඡායාරූපයක් අධිකරණයට පෙන්වලා තිබුණා. හැබැයි එහෙම පාරක්වත් දැන් නැහැ. ඉතින් මේක තමා මම හැමදාම කිව්වේ. ඔහු කරලා තිබෙන්නේ අධිකරණයට පිටිපස්ස පෙන්නලා හිනාවුණා වගේ වැඩක්. ඉතින් ඒක ගැන අපි කනගාටු වෙනවා.

අද බලනකොට ඔහු රටක්ම රැවැට්ටුව කෙනෙක්. මොහු දැන් කියනවා ඉස්සෙල්ලම යන්නේ ජනාධිපතිතුමාගෙන් ආශීර්වාද ගන්නලු. ඉතින් මොකටද ආශීර්වාද ගන්නේ? ලොකු හපන්කමක් කරලා ආව කෙනෙක් නෙවේනේ.
 
 ඔහු එහෙම කිව්වහම මොකද හිතුණේ?


දුමින්ද සිල්වා ජනාධිපතිතුමාගෙන් ආශීර්වාද ගන්න හදන්නේ මගේ තාත්තයි තව තුන්දෙනකුයි ඝාතනය කරලා. ඉතින් මට ප්‍රශ්නේ ජනාධිපතිතුමා නියම වශයෙන් ආශීර්වාද දෙනවද කියන එක. හැබැයි ඉතින් මෙතැන මේකයි තියෙන්නේ. ජයවර්ධනපුර රෝහලේ ඔහුව බලපු වෛද්‍යවරු පවා කළේ සම්පූර්ණ බොරුවක්නේ. මාධ්‍යවලින් කිව්වේ ඔහුගේ තත්ත්වය බරපතළයි කියලා. බොරුනේ ඒවා. නීතිඥවරු, වෛද්‍යවරු තමන්ගෙ වෘත්තියට පිවිසෙද්දී ප්‍රතිඥාවක් දෙනවා. ඒ දුන් ප්‍රතිඥාව මොකක් වුණත් හැමදේම ඇත්ත වෙන විදියට හැමෝම කටයුතු කරලා තියෙනවා.

තව දෙයක් තමයි සමහරු කියන්න පුළුවන් නීතිඥයන්ගේ දක්‍ෂකම තමයි බොරුව ඇත්ත කරලා පෙන්නන එක කියලා. හැබැයි නීතිඥයන්ටත් බොරු කීමේ ප්‍රමාණයක් තියෙනවා. සමහර කතා හදලා තිබුණා ජනතාවගෙන් අනුකම්පාව ගන්න ඔළු කට්ට ෆ්‍රිජ් එකක දාලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මිනිහෙකුට හිසේ අමාරුවක් හැදුණත් කොච්චර අමාරුද? උණ්ඩ දෙකක් ඇතුළට ගියපු පුද්ගලයෙක් හිටි ගමන් කකුල් දෙකෙන් ඇවිදගෙන යද්දී ඒක හාස්කමක්ද බොරුවක්ද මේ පුද්ගලයා මේ කරලා තියෙන දේවලට එහෙම හාස්කම් වෙනවා නම් මේ රටේ ධර්මතාවක් නැහැ.

මගේ තාත්තගේ මරණේ ඉඳලා අද වෙනකම් සැලැස්ම ලස්සනට ක්‍රියාත්මක කරලා තියෙනවා. මට හොඳටම විශ්වාසයි ඔහු මේ නඩුවටවත් එන්නෙ නැතුව මෙහෙම්ම නිදහස් වෙලා දේශපාලන කටයුතු කරමින් හොඳට ඉඳියි කියලා.

 කොහොමද එතකොට ඔබේ සටන ඉස්සරහට වෙන්නේ?

මේක පටන්ගත්ත දවසේ ඉඳලා හැමදාම වගේ අපේ පාර්ශ්වයෙන් විතරයි නඩුවට යන්නේ. අද වෙනකම් නඩුවේ සිදුවෙච්ච කිසිම දෙයක් ජනතාවට හැංගුවේ නැහැ. මොකද මේක ජනතාවත් එක්ක යන නඩුවක්. ඒ වගේම මේක මිනීමැරුමක්. නමුත් අද වෙනකොට සම්පූර්ණයෙන් ජනතාවත් නොමඟ යවලා, අධිකරණයත් නොමඟ යවලා සම්පූර්ණ බොරුවක් කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ දැන් තමයි සටන පටන්ගත්තේ කියලා.

හැමදාම අපේ පැත්තේ දේ ගැන විතරනේ නඩුවෙදී කතා කළේ. ඔහුගේ පැත්තෙනුත් කතා කරන්න දෙයක් ඇති. ඒ දේ සිද්ධ වෙයි කියලා හිතුවා. හැබැයි ඒ දේ සිද්ධ වුණේ නැහැ.

අපිට හයිකෝට් එක ඇතුළේ දුන් නඩු තීන්දුවලට ප්‍රකාශ නිකුත් කරන්න බැහැ. අපි නීතිය ඉගෙන ගන්න, නීතියට ගරු කරන මිනිස්සු විදියට එහෙම කරන්න හැකියාවක් නැහැ. හැබැයි මොහු ඊට පස්සේ ඉස්සරහට අරගෙන තියෙන්නේ මෝඩ පියවරක්. ඔහු හිතනවා ඇති ජනතාව එක්ක ඉන්නවා කියලා පෙන්නලා ජනතාව එක්ක පෙළපාළි ගියපුවාම ජනතාව ආදරෙන් භාරගනී කියලා. මේකෙන් තව තවත් වුණේ දුමින්ද සිල්වා ගැන මිනිසුන්ට පිළිකුලක් ඇතිවුණා මිසක් ආදරයක් ඇතිවුණ එක නෙවෙයි.

 ඔබ කියන්නේ එතැනට ආවේ දුමින්දට ළෙන්ගතු මිනිස්සු නෙවෙයි කියලද?

මෙහෙමයි ඉතින්... ඕනෑම පුද්ගලයෙක් යම්කිසි ජන පිරිසක් හදාගෙන ඉන්නවා. මටත් ඉන්නවා. ඔහු නිකන් නෙවේනේ පාර්ලිමේන්තුවට ගියේ. එක්ලක්‍ෂ ගාණක් ඡන්ද අරගෙනනේ ඔහු පාර්ලිමේන්තුවට ගියේ. එතකොට ඔහු පාර්ලිමේන්තුවට යනකොට මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔහු කවුද කියලා බලලා නෙවෙයි. ඉස්සෙල්ලම ඡන්දෙ ඉල්ලන්න ආපුවාම ඔහුට තියෙන ආකර්ෂණයට දෙනවා. ඒත් ඔහුගේ ඇත්ත තත්ත්වය දන්නේ ටික කාලයක් යනකොට.

මොහුට පළමුවැනි පාර ඡන්දෙ දීලා යම්කිසි පිරිසක් හදාගෙන තිබුණා නම් අද ඒ ටික නැති වුණා කියලා මට 100%ක් විශ්වාසයි. අනිත් එක තමයි මේ බලන්න ආව පුද්ගලයෝ ටික. ඒ ආව පුද්ගලයෝ කොළොන්නාවේ කට්ටිය කියලා සමහරු පෙන්වන්න හදනවා. හැබැයි ඉතින් මගේ තාත්තට ආදරේ කරපු කොළොන්නාවේ ජනතාව මම හිතන්නෙ නෑ කොහොමත් දුමින්ද සිල්වාව පිළිගනී කියලා. හැබැයි මෙහෙමයි ඉතින් කාලයක් යනකොට සමහර මිනිසුන්ට හැමදේම අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මම අද වෙනකල් ඒක මිනිසුන්ට අමතක වෙන්න ඉඩදුන්නෙ නැහැ. අවුරුදු දෙකහමාරක් තිස්සේ මම මොන මොනවා හරි කරලා මගේ තාත්තා ඝාතනය වුණු කෙනෙක් කියලා මිනිසුන්ගේ හිතේ රැඳෙව්වා.

දැන් මට ආරංචියක් ඇවිත් තියෙනවා මේ පුද්ගලයා වෙසක් එකට හැම ගෙදරකටම හාල් ගෝනියක් දීලා ආයේ දේශපාලනය පටන් ගන්නවා කියලා. ඉතින් සමහරු මිනිස්සු හාල් ගෝනියට හරි ඔහු ළඟට යයි. ඒකට අපිට ජනතාවට මුකුත් කියන්න බැහැ. මොකද එක පැත්තකින් මේ ආර්ථික වශයෙන් පීඩිතව ඉන්න ජනතාවට මෙහෙම දෙයක් දුන්නහම නිකම්ම ඒ පැත්තට යන එක සාමාන්‍ය දෙයක්. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ රටේ ප්‍රධාන පුටුවල ඉන්න දේශපාලනඥයෝ. මේ වගේ පුද්ගලයන් දේශපාලනයේ තියාගන්න එක ආණ්ඩුවට මොනතරම් පහරක්ද? මිනිස්සු වුණත් බනින්නේ මේ පුද්ගලයට වඩා ආණ්ඩුවට මේ වගේ පුද්ගලයෝ තියාගෙන ඉන්නවා කියලා.

 ගොඩදෙනෙක් කියනවා මේ සිද්ධිය හැන්ඩ්ල් කරද්දී හිරුණිකා අනාගත්තා කියලා...?

මම අද වෙනකම් මේ දේවල් හොයාගත්තේ පෞද්ගලික පුද්ගලයෝ දාලා. ඒවා කවදාවත් උසාවියේදී ඔප්පු කරන්න බැහැ. මොකද මම දුමින්ද සිල්වා ගැන මේ දේ දන්නවා කිව්වට උසාවියේදී පිළිගන්නේ නැහැ. මේවා හෙළි කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනෑ අය ඉන්නෙත් ඔහුගේ පැත්තේ නිසා අපේ හිතේ තියෙන දේවල් මාධ්‍යයට කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අද වෙනකල් මමත් මගේ පවුලේ අයත් තනි සටනක් ගෙන ගියේ නීතිඥවරු සමඟ.

අපිට කිසිම තැනකින් කිසිම වරප්‍රසාදයක් උදවුවක් හම්බවුණේ නැහැ. හැබැයි සාමාන්‍ය ජනතාව පුළුවන් හැම වෙලාවෙම අපිත් එක්ක හිටියා කියලා කියන්න ඕනෑ. ඒ හැරෙන්න අපිට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැහැ. ඒත් මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන් අද වෙනකල් මේ පුද්ගලයාට සැඟවිලා ඉන්න ලොකු අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. අපි හැමතැනම කතා කළේ සත්‍ය ජයගන්නවා කියලා. ඒත් අද වෙද්දී මැර බලයටයි, සල්ලි බලයටයි හැමදේම යටවෙලා.

 එදා සන්ධාන වේදිකාවට නැඟලා සින්දු කියපු එක ගැන අද මොකද හිතෙන්නේ?

ඒ ගැන පුංචි කනගාටුවක්වත් මට නැහැ. මොකද මම එදත් කිව්වා අදත් කියනවා එදා ස්ටේජ් එකට නැග්ගෙ මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා වෙනුවෙන්. මම එතුමාට ඉතා ඉහළින්ම ගරු කරනවා. මම හෙට වුණත් එතුමා වෙනුවෙන් ස්ටේජ් එකට නඟිනවා. අනෙක අතීතයේ කරපු කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන කෙනෙක් නෙවෙයි මම.

 තාත්තට සාධාරණය ඉටුකරගන්නා සටන ඉදිරියට කොහොම වෙයිද?

රට ඇතුළේ කරන්න පුළුවන් හැම සටනක්ම අද වෙනකල් කළා. දැන් මේක යම්කිසි තැනකට ඇවිත් තියෙනවා. ඒත් හැමකෙනාම දැන් දුමින්ද සිල්වගේ පැත්තම අල්ලගෙන තියෙන්නේ. දැන් ජාත්‍යන්තරයෙන් කරන දෙයක් හැරෙන්න අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. ජනතාවට පෙනි පෙනී නිදහසේ මේ විදියට වැරැදිකාරයෝ එළියට එද්දී ඒක වැරැදි කරන කට්ටියට වගේම වැරැදි කරන්න බලාපොරොත්තු වන අයටත් වැරැදි පූර්වාදර්ශයක්.

මේක දුමින්ද සිල්වා කරලා තියෙන පළමුවැනි වැරැද්ද නෙවේ. මීට කලිනුත් ඔහු වැරැදි කරපු කෙනෙක්. ඒ නිසා මේ වැරැදිවලට ස්වභාවධර්මයේ නීති ක්‍රියාත්මක වේවි. හැබැයි එහෙම කියලා මේක අතහරින්නෙ නැහැ. කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් හරි කරනවා. අපේ ඊළඟ අදහස තියෙන්නේ මේ පුද්ගලයා කොහොමහරි නඩුවට උසාවි ගෙන්වන එක.

No comments:

Post a Comment