Pages

Thursday, 29 August 2013

මානව හිමිකම් කොමසාරිස්‌ මෙරටට ගෙන්වා මල් පිපී ඇති හැටි බලන්න ආරාධනා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දිනය වැඩි ඈතක නොවෙයි - මන්ත්‍රී පී. හැරිසන්



මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මෙරටට ගෙන්වා මල් පිපී ඇති හැටි බලන්න යෑයි ආරාධනා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දිනය වැඩි ඈතක නොවේ යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.

රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පෙරේදා (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.

ගෙවල්වලින් බෝතලයක්‌ රුපියල් 40 ගණනේ එකතු කරන නිසා කිරි ගොවියාට කිරි බෝතලයක්‌ වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් 50 කට අඩු මුදලක්‌, නමුත් වතුර බෝතලයක මිල රුපියල් 70 ක්‌ වනවා. රටට ගෙන්වන කිරිපිටිවල වස විස තිබෙන බවට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය කාලයේ බොහෝ විට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක්‌ ඇති වුණා. ආණ්‌ඩුවේ ජනමාධ්‍යවලින් ද ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක්‌ ලබා දුන්නා.

නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වන ෙµdන්ටේරා සමාගම වසා දැමීමටත් ආණ්‌ඩුව තීරණය කළා. එහෙත් යළි ආනයනික කිරිපිටි වර්ගවලට අවසර දෙන බවත්, පුවත්පත්වල සඳහන් වනවා. පසුගිය වසරවල ආනයනය කරන ලද කිරිපිටි අත්අඩංගුවට ගත්තේ නම් ඒ කොපමණ ප්‍රමාණයක්‌ දැයි ආණ්‌ඩුව ප්‍රකාශ කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කොළඹ නගරයේ තිබෙන µqඩ්සිටියක පිටි පරීක්‍ෂා කරන ආකාරය අපි දුටුවා. එහෙත් හම්බන්තොට, මොනරාගල, පොලොන්නරුව, අනුරාධපුර ආදී දුර බැහැර ප්‍රදේශවල වෙළෙඳසල්වල තිබූ වස විස සහිත කිරිපිටි එකතු කළාදැයි අපි අසනවා.

නවසීලන්තයේ විදේශ ඇමැතිවරයාත්, තානාපතිවරයාත්, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කළ පමණින් කිරිපිටිවල වස විස ඉවත් වුණා දැයි ආණ්‌ඩුව රටට කිව යුතුයි. මේ රටේ ජනතාව ගොනාට අන්දමින් වස විස අඩංගු කිරිපිටි ජනතාවට අලෙවි කිරීමට ආණ්‌ඩුව කටයුතු කරනවා. දේශීය කිරි ගොවියා නගාසිටුවන බව කියමින් පසුගිය අය වැයෙන් මුදල් වෙන් කළා. එක්‌ පශු වෛද්‍යවරයකුට කිරි ගවයන් 500 ක්‌ බලා ගැනීමට දී ඇති බව ප්‍රකාශ කළත් දේශීය කිරි ගොවියා නගාසිටුවන වැඩපිළිවෙළක්‌ නැහැ.

පසුගිය දවස්‌වල කඳුකර ප්‍රදේශවල කිරි ගොවීන් තම කිරි නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව කාණුවලට හැලුවා. දේශීය කිරි ගොවියා ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක්‌ නොමැති වුවත්, සාක්‌කුවට මුදලක්‌ වැටුණු නිසා නැවතත් වස විස සහිත කිරි ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. එම නිසා අත්අඩංගුවට ගත් වස විස සහිත කිරි පිටි කොපමණද? නිලධාරීන් කවුදැයි කියා සෞඛ්‍ය ඇමැතිවරයා එම තත්ත්වය පිළිබඳ රටට කඩිනමින් ප්‍රකාශ කළ යුතුයි.

සමාගම් සතුටු කිරීමට වස විස සහිත කිරිපිටි නිෂ්පාදන අලෙවි කිරීම නිසා අද මේ රටේ දරුවන් දියවැඩියාව ආදී රෝග රාශියකින් පීඩා විඳිනවා. විශේෂයෙන් ම වකුගඩු රෝගීන්, කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්‌වා පීඩා වින්දත් ඔවුන්ට බෙහෙත් ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. අද මේ රටත්, ජනතාවත් බහුජාතික සමාගම්වල ගොදුරක්‌ බවට පත් කොට තිබෙන අතර, ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිව යුතුයි. ගොවි විශ්‍රාම වැටුප ගැන අද ආණ්‌ඩුව කතා කරන්නේ නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය ගොවි ජනතාව වෙනුවෙන් ඉතා උනන්දුවකින් කටයුතු කොට ගොවි විශ්‍රාමික වැටුප එක්‌සත් ජාතික පක්‍ෂය ආණ්‌ඩුව විසින් ඇති කළා. මේ රටේ අනෙක්‌ වෘත්තීන්හි නිරත වී සිටින අයට විශ්‍රාම වැටුපක්‌ හෝ වෙනත් දීමනාවක්‌ ලැබුණත් ජීවිතය අවසාන සමය වන විට ගොවි ජනතාව අසරණ වෙනවා. ඒ පිළිබඳ සොයා බලා 1987 දී ගාමිණී ජයසූරිය මැතිතුමා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කළා. මඩ සෝදාගත් ගොවියා රජකමට සුදුසු යෑයි ව්‍යවහාරයක්‌ තිබුණත් අද ගොවියාට මඩ සෝදා ගෙන රෝහලට යැමට සිදුවෙලා. ඒ වුණත් රජයේ රෝහල්වලින් නොමිලේ බෙහෙත් ලැබෙන්නෙත් නැහැ. අවුරුදු එකහමාරක්‌ තිස්‌සේම ගොවි විශ්‍රාම වැටුප් ලබා දීමට ආණ්‌ඩුව ක්‍රියා කරන්නේ නැහැ. එහෙත් මිහින් ලංකා ආයතනයේ පාඩුව ගෙවන්න ආණ්‌ඩුවට මුදල් තිබෙනවා. පාඩු ලබන එයාර් ලංකා ආයතනයට එක්‌ මාසයක්‌ සඳහා මිලියන 178 ක්‌ බැගින් ගෙවනවා. ගොවීන් තමන්ට විශ්‍රාම වැටුපක්‌ ලබා දෙන ලෙස ප්‍රකාශ කරන්නේ හිඟමන් යෑදීමක්‌ ලෙස නොවේ. ඔවුන් ඉතිරි කරන ලද මුදල් ලබා දෙන ලෙස ඔවුන් කියා සිටිනවා.

ගොවි විශ්‍රාම වැටුප ගෙවීමට වසරකට රුපියල් මිලියන 125 ක්‌ වැය වෙනවා. ගොවි විශ්‍රාම වැටුප ලැබීමට ගොවීන් එක්‌ලක්‍ෂ විසිපන්දාහක්‌ පමණ සුදුසුකම් ලබා ඇති අතර, තවත් ගොවීන් ලක්‍ෂයක්‌ පමණ ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටිනවා. ගොවි විශ්‍රාම වැටුප ගෙවීම පැහැර හැර තිබුණත් ගොවීන්ගෙන් ඒ සඳහා දායක මුදල් මේ වන විටත් අය කරනවා. ඛනිජ තෙල් සංස්‌ථාවට, ප්‍රවාහන අමාත්‍යාංශයට, මිහින් ලංකා සහ එයාර් ලංකා ගුවන් සමාගම්වලට සහනාධාර ලබා දෙන්නේ නම් දහඩිය කඳුළු හෙළා රටට බත සැපයූ ගොවීන්ට එම සහනාධාර මුදල් ලබා දීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි අපි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කරනවා.

වයඹ සහ මධ්‍යම පළාත්වල ජනතාවට අප මතක්‌ කරන්නේ මේ ආණ්‌ඩුව ගොවීන් ගැන හිතන ආණ්‌ඩුවක්‌ නොවන බවයි. කිරිපිටි සමාගම්වලට, ධනපති සමාගම්වලට, සුද්දන්ට උදව් කරන ආණ්‌ඩුව ගොවීන් පිළිබඳ කිසිදු සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් පීඩාවට පත් වී සිටියත් වී අලෙවි මණ්‌ඩලය හාල් විකුණනවා. කෝටි 67 ක පමණ මුදලක්‌ වී මිලදී ගැනීම වෙනුවෙන් ආණ්‌ඩුව විසින් ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා. එම මුදල් ලබා දී තිබෙන්නේ කට වචනයටයි. නමුත් ජනතාව සිල්ලර කඩයකින් බඩු ගත්තත් ඒ පිළිබඳ පොතක සටහන් කර ගැනීමට වෙළෙන්දා ක්‍රියා කර නැහැ. එහෙත් වී අලෙවි මණ්‌ඩලය කට වචනයට රුපියල් කෝටි 67 ක හාල් තොග ලබා දී තිබෙනවා.

කට වචනයට වී ලබා දී තිබෙන්නේ ආණ්‌ඩුවට ගැතිකම් කරන හිතවතුන් කිහිපදෙනකුට පමණයි. වී වලට සහතික මිලක්‌ ලබා දීමට නොහැකි වී ඇති ආණ්‌ඩුවට ගොවි විශ්‍රාමික වැටුප ගෙවීමටවත් රුපියල් බිලියන 125 ක්‌ ගෙවීමට නොහැකිවී තිබෙන බව ද කිව යුතුයි.

යාපනයේ ජනතාව තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සොයා දෙන ලෙස නවනීදන් පිල්ලෙයි මහත්මියගෙන් ඉල්ලීමක්‌ කළා. එතුමිය අනුරාධපුරයට පැමිණියොත් ගොවි ජනතාව අමුඩය ගසා ගෙන ඉල්ලා සිටින්නේ අහිමි කරන ලද ගොවි විශ්‍රාමික වැටුප ලබා දීමට මැදිහත් වන ලෙසයි.

ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කෙමසාරිස්‌ නවනීදන් පිල්ලෙයි මහත්මියට මෙරට පැමිණෙන ලෙස ආරාධනා කළත් එතුමිය පැමිණෙන විට ජනාධිපතිවරයා විදෙස්‌ගත වුණා. ඒ අතර තවත් ඇමැතිවරු පිරිසක්‌ මල් පිපී ඇති අයුරු බලන්නට තල්රුප්පාවට එන ලෙස ආරාධනා කරනවා. තවත් ඇමැතිවරු පිරිසක්‌ නවනීදන් පිල්ලෙයිට බණිනවා. මේ සියල්ල ලෝකයා හිනස්‌සන විහිළු වැඩ බව කිව යුතුයි.



1988 - 1989 භීෂණ සමයේ මානව හිමිකම් උල්ලංඝනය වන බව කියමින් පළමු වරට ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව අද ඇතමුන් අමතක කරනවා. ජාත්‍යන්තර බලවේග මේ රටේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට පටන් ගත්තේ ඉන් පසුවයි. 1971 දීත් රට තුළ භීෂණයක්‌ ඇති වුවත් එදා සිටි විපක්‍ෂ නායක ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මානව හිමිකම් උල්ලංඝනය වූ බවට නම් ලැයිස්‌තු අරගෙන ජීනිවාවලට ගියේ නැහැ. ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පුතා අත්අඩංගුවට ගත්තත් ජාත්‍යන්තරයට රට පාවා දුන්නේ නැහැ.

නවනීදන් පිල්ලෙයි පැමිණෙන බව ආරංචි වූ පසුව පොලිසිය වෙනම අමාත්‍යාංශයක්‌ යටතට අනුයුක්‌ත කළා. එහි ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්‌ පත් කළා. වෙනම අමාත්‍යාංශයක්‌ යටතේ පොලිසිය සාධාරණ වේ යෑයි බලාපොරොත්තු වුවත් රටේ ජනතාවත්, ජාත්‍යන්තරයත් පොලිසිය හමුදාවේම කොටසක්‌ බවට පත් වේ යෑයි කිසිවිටකත් සිතුවේ නැහැ.

පොලිසිය පිළිබඳ අලුත් අමාත්‍යාංශ ආරම්භ කොට ඔවුන් පළමු රාජකාරිය ලෙස සිදු කළේ බල්ලන් විවාහ කර දීමයි. මේ රටේ රාජ්‍ය නායකයෝ කන්ද උඩරට පත්තිරිප්පුවට ගොස්‌ දිවුරුම් දුන්නා. සිංහල ජාතීන්ට බෞද්ධයන්ට උරුම සංස්‌කෘතියක්‌ තිබෙනවා. සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව විදේශිකයන් පවා මේ රටට පැමිණ විවාහ වන අවස්‌ථා කොතෙකුත් තිබෙනවා. එහෙම උරුම ඉතිහාසයක්‌ තිබෙන අපේ රටේ පොලිසිය ඒ චාරිත්‍ර අනුව බල්ලන් පෝරුවට නංවා හනිමුන් සඳහා නුවරඑළියට රැගෙන ගියා. ආණ්‌ඩුවේ ආශ්චර්යය මේකයි.

ලෝකයේ ලොකුම වරායත්, ආසියාවේ උසම කුලුනත් ඉදිකොට ආසියාවේ ආශ්චර්යය පෙන්වීමට ආණ්‌ඩුව උත්සාහ කරන අතරම බල්ලන් භාර අමාත්‍යාංශය ආශ්චර්යවත් ලෙස බල්ලන්ට මඟුල් ජෝඩු කරනවා. බල්ලන් පෝරුවට ගෙන ඒම පිළිබඳ ආණ්‌ඩුව සිංහල බෞද්ධ සංස්‌කෘතියට අපහාස කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගත යුතුයි. බල්ලන්ට වෙනම සංස්‌කෘතියක්‌ තිබෙනවා. ඒ සංස්‌කෘතිය සිංහලයන්ට තිබෙන සංස්‌කෘතිය නොවන බව ආණ්‌ඩුව තේරුම් ගත යුතුයි. දයාසිරි ජයසේකර ආණ්‌ඩුවට එකතු වුණේ දිගාසිරි වීමට සිතා ගෙනයි. දයාසිරි සල්ලිවලට ගිය බව මම අදත් කියනවා. දයාසිරි මෙගා ස්‌ටාර් බවට පත් කිරීමට ගම්වලට ගොස්‌ පාක්‍ෂිකයන් උනන්දු කිරීමට අපිත් කටයුතු කළා. එහෙත් දයාසිරි වයඹට යැමත් සමඟම ඔහු අද ලිට්‌ල්ස්‌ටාර් බවට පත් වෙලා.

නවනීදන් පිල්ලෙයි රටට ගෙන්වා ගෙන තිබෙන්නේ මෙම ආණ්‌ඩුව බව රහසක්‌ නොවේ. ඇය ලබා දෙන වාර්තාව අනුව මල් පිපී ඇති හැටි බලන්නට කතා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දවස වැඩි ඈතක නොවේ. එම නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‌ෂා කිරීමට 17 වැනි සංශෝධනය යළි ක්‍රියාවට නංවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ බව පෙන්වීමට මේ ආණ්‌ඩුව කටයුතු කළ යුතුයි.

එහිදී අදහස්‌ දැක්‌වූ බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා - නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට පැමිණීමට පෙර ඊට විරෝධය පළ කිරීමට සමහර ඇමැතිවරු විශාල ඝෝෂාවක්‌ කළා. නමුත් අද ඔවුන් ඒ පිළිබඳ කිසිම කතාවක්‌ නොකර වෙන රටක සිටිනවා මෙන් සිටිනවා. ආණ්‌ඩුවේ ජනමාධ්‍ය නවනීදන් පිල්ලෙයි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රචාරයක්‌ ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. පසුගිය ජිනීවා සැසිවාරයේදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ආණ්‌ඩුව පොරොන්දු වුණා. නවනීදන් පිල්ලෙයි මහත්මිය පැමිණියේ ඒ පිළිබඳ සොයා බැලීමටයි.

No comments:

Post a Comment