Pages

Sunday, 24 November 2013

මගෙ පපුවෙ පත්තු වෙන ගින්දර සංසාරෙ පුරාම එයාව පුච්චාවි ---- මරා දැමු කොබෙයිගනේ අවුරුදු කුමාරිගේ අම්මා කියන කතාව

මරා දැමු කොබෙයිගනේ අවුරුදු කුමාරිගේ අම්මා කියයි

කොබෙයිගනේ අලුත් අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලත් මාලිනි එවකට (1989) කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති විසින් රවටා දූෂණය කැර මරා දැමීම පිළිබඳ පුවත එදා රට පුරා මහත් කැළඹීමක් ඇති කළේය. වසර 24 කට පසු මේ ඔවුන්ගේ අද කතාවයි.
මා දැන් සිටින්නේ කොබෙයිගනේ අවුරුදු කුමාරියගේ පුංචි ගෙදරය. ඩිංගිරි මාමා ඒ අවුරුදු කුමාරියගේ පියාය. එමලින් ඇගේ මවය. ඒ මවත්, ඒ පියාත් තවමත් කඳුළින් ජීවිතය ගත කරති. ඔවුන් අදත් හඬන්නේ ජීවිතය ඉල්ලමිනි. කුරිරු මිනීමරුවකු විසින් උදුරා ගන්නා ලද තම දුවගේ වියෝවේ ශෝකාලාපයෙන් අදත් ඔවුන් තැවෙන්නේ තම ජීවිතය එතැනට ගෙන ආ ලෝකයට සාප කරමිනි.

මීට අවුරුදු 24 කට පෙර එනම් 1989 දී රට පුරා භීෂණය පැතිර ගිය මොහොතක තම අහිංසක දියණිය තමන්ගෙන් උදුරා ගත් අතීතය ඔවුන් ආවර්ජනා කරන්නේ අපහසුවෙනි. ලෝකයේ තවත් අම්මාවරුන් හා පියවරුන් වෙනුවෙන් රට සසල කළ සිදුවීමක අද කතාවට උත්තර බඳින්නට ඔවුන් මා අබිමුව සිටී.


මහත්තයෝ, මේ පපුවෙ පත්තු වෙන ගින්න නිවන්න කාටවත් බෑ. අවුරුදු 24 ක් ගතවුණත් ඒ ගින්න තව තවත් මගෙ හිතේ බුර බුරා නඟිනවා. මේ අපරාධය කළ ඒ මහ කෙරුමා දැන් මහ උළු ගෙදර පරාල ගණන් කළත් මගෙ හිත වාවන්නෙ නෑ. එයා වැලිකඩ හිරගෙදර පන්සල් පාටියෙ ඉඳලා දැන් මහර බන්ධනාගාරෙ භාවනා කටයුතුවල කෙරුමෙක් වෙලා සුදනා වෙන්ඩ හදනවා. ඒත් දෙයියො මේ නඩුව විසඳුවා. බුදු හාමුදුරුවො ආයිත් ඉපදිලා ආවත් එයාව ගලවගන්ඩ බෑ.

වසර විස්සක් ගතවී ගියත් ඒ අම්මාගේ පපු කුහරයේ දෝරෙ ගලන දරු සෙනෙහස කිසිදු වෙනසක් නැත. දාරක ප්‍රේමය හම සිඳ මස්වලට වදියි. මස් සිඳ ඇටවලට වදියි. ඇට සිඳ ඇට මිදුළු මත දුක් දෙවයි. කොබෙයිගනේ අවුරුදු කුමාරි නිලන්කා මාලිනීගේ අම්මා එමලින් මාතාව ද එහෙමය. ඇය විලාප දෙමින් හඬමින් තවමත් දුක්වන්නීය.

මහත්තයෝ, මගෙ මහත්තයා පොල් කැඩීම රස්සාව හැටියට කළේ. මාත් කුලියක් මලියක් කරන්ඩ ගෙයින් පිටත ගියා. මගෙ පොඩි එකී ඒ කාලෙ හරිම පුංචියි. මාලිනිගේ අයියා විජිතසිරිත් කීයක් හරි හොයා ගන්ඩ යනවා.

ඒ වෙලාවට ඔය අලුගුත්තේරුවා මගෙ පැලට රිංගනවා. දැනගෙන ඇහුවත් මාලිනි කිව්වෙ ඔය අරක්කු අල්ලන්ඩ, කසිප්පු හොයන්ඩ ආපු ගමන් ඕ. අයි. සී. මහත්තයා ගෙට ආ බව විතරයි. අනේ! මගේ කෙලී. මට ඇල් වතුර ටිකක් නාන්ඩ දුන්න නෑ.

වතුර උණු කරලාමයි මාව නෑව්වෙ. මේ අත්දෙකෙන් දුව මිරිස් ගලක් අල්ලන්ඩ දුන්නෙ නෑ. එයා තමයි සියලු දේ මට කරලා දුන්නේ. මෙයා හරිම ලස්සනයි. තාත්තා වගේම රතුයි. ඒකා කෙල්ල තැන් තැන්වල රවට්ටාගෙන ගෙන ගිහින් බඩට දරු ගැබක් ආවහාම මගේ රත්තරන් කෙල්ල මරලා දැම්මා.

මාලිනීගේ අම්මා තාත්තා සහ සහෝදරයාගේ දියණිය
 එදා ගෙදරින් ගියෙ මගෙ කකුල් අල්ලලා වැඳලා ඇත්තම කියලා. අම්මේ, මං මේ ප්‍රශ්නෙ විසඳගෙන එන්නම් මේ දරුවාට තාත්තා කියන්ඩ කෙනෙක් ඉන්ඩ එපායැ කියලා. දවස් දෙකක් ගියා. කෙල්ල ආවෙ නෑ. පොලීසියට ගියාම ඇන්ට්‍රියවත් ලීවෙ නෑ. අන්තිමේ භීෂණය අස්සෙ ටයර් සෑයක දාලා මගෙ කෙල්ලත් පිච්චුවා.

ඇය තවත් බොහෝ දේ හඬමින් කීවාය. ඒ අම්මාගේ වේදනාබර කඳුළුවල තෙත මගේ හදත් උණුසුම් කරයි. මාලිනිගේ පියා නිහඬව මෙතෙක් වේලා බලා සිට හිස් අහස දෙස බලා සුසුමක් හෙළුවේය.

මගේ මාලිනිට වයස අවුරුදු 19 පිරුණා විතරයි මහත්තයො. ඇය පින්න මලක් වගේ සුන්දරයි. අපව බලා කියාගත්තෙත් ඒකී. හරිම කරුණාවන්තයි. ඔය අවුරුදු කුමාරි තරගය කොබෙයිගනේ ස්කෝලෙ තියෙනකොට මං කිව්වා පුතේ, නුඹේ ලස්සන නුඹ ළඟ. ඕවා පෙන්නන්ඩ අවශ්‍ය දේවල් නොවේ.

ඒක හරි අන්ත්‍රාදායකයි කියලා. ඒකි ඇහුවෙ නෑ. අනේ තාත්තෙ කිය කියා ඇඬුවා. මං එයාට තියෙන සෙනෙහස හින්දම අවසර දුන්නා. එදා අවුරුදු කුමාරි තරගයේ පළමුවැන්නා වෙනකොට එයා මා දැක්කෙ රාජ කුමාරිකාවක් වගේ. ඔය පෝරිසාදයා එදා එතැන හිටියා. මිනිහා ඒ කාලෙ බැඳලා නෑ. ඒත් අවුරුදු 35 ක්. ඌ උකුසු ඇසින් දුව දිහා බල බලා හිටියා. ඒත් මං හිතුවෙ නෑ ඒකි මෝඩ වේවි කියලා. අපිට ලොකු අතු ඕනෑ නෑ. වයස් පරතරයත් විශාලයි. මං දුවට අවවාද කළා.

එයා ඇහුවෙ නෑ. හොරාට ආශ්‍රය කරලා. දරුවෙක් ලැබෙන්ට ආවාම මෙයා පොලීසියට ගිහින් කරදර කරලා බඳින්ඩ කියලා. ඒ වෙලාවෙ රට පුරා කොල්ලො කෙල්ලෙ මරා දානවා. ජේ. වී. පී. භීෂණෙ... යූ. එන්. පී. ආණ්ඩුව මිනී මරන්ඩ ගත්තා.

අනේ මගෙ කෙල්ලවත් උන් වන සතෙක් වගේ මරලා පුච්චලා දැම්මා. කෙල්ල ගෙදරින් ගිහින් ආවෙ නැති වුණාම මාත් මායියාත් පොලීසියට දිව්වා. කවුරුවත් ඇන්ට්‍රි ලිව්වෙ නෑ. ඔය අලුගෝසුවා කිව්වා. දැන් ටිකකට ඉස්සර බස් එකක නැඟලා හෙට්ටිපොළ පැත්තට ගියා දැක්කා කියලා. එදා ඒ ලොක්කාට උදව් කරපු පොලිස්කාරයො තවත් 3 දෙනෙක් විතර හිටියා.

මං කෙල්ල හොය හොයා හැම තැනම ඇවිද්දා. දළුපොතගමවත්තෙ පොල් කඩන්න යන දවසෙ පාර අයිනේ තවත් මිනී දෙකක් පිච්චෙනවා කියලා කවුරුදෝ කීවා. මාත් ගියා බලන්ඩ. අනේ! මගෙ රත්තරං කෙලී එතැන ටයර් සෑයෙ පිච්චි පිච්චී හිටියා. මං විලාප දුන්නා ඒ මිනිය ළඟ දුමාරෙ ඉඳන්.

මේ අලුගෝසුවාට පාඩමක් උගන්වන්ඩ මං මගේ පරම්පරාවෙන් තිබුණු අක්කර 6 1/2 න් අක්කර 6 ක්ම වික්කා. නඩු කියන්ඩ. දැන් මේ අක්කර 1/2 විතරයි තියෙන්නෙ මහත්තයො. මේ ගෙදර තවමත් හදාගන්ඩ බැරි ඒකයි. අප තවමත් නොවිඳිනා දුක් විඳිනවා.

එදා තිබුණෙ අපට පුංචි පැලක් විතරයි. මේ තරමින් ගේ හදාගෙන නෑ. මං නඩුවට වැඩ කරනවා කියලා එක රාත්‍රියක ඔය මිනිහා කට්ටියක් අරගෙන මේ වත්තට ඇවිත් මාව ඒ පැල ඇතුළට දාලා ගිනි තිබ්බා. මං ගිනි ගන්නා පොල් අතු පැලලි අතරින් පැනලා දිව්වා ජීවිතය බේරා ගන්ඩ. අප පාරවල් ගානේ හිඟා කෑවා. අවුරුදු 9 ක් නඩු කියන්ඩ. ඕකා උපදින ආත්මයකවත් මිනිස් බව ලබන්නෙ නෑ.

 මගේ දරුවා මරලා තවත් මාස 6 ක් යනකොට එයා කසාඳ බැන්දා. ඒ දැරිවිටත් දරුවෙක් දුන්නා. ඒ දරුවත් ඒ දැරිවිත් දැන් කොහේ ඉන්නව ද දන්නෙ නෑ. සමාජයට මුහුණ දෙන්ඩ බැරිව ඒ අයත් ජීවත් වෙනවා ඇති.

අංගුලිමාලටත් සමාව දෙන්ඩ පුළුවන් ඒ ගුරු පූජාවක් කරන්ඩ ගිහින් වෙච්ච කරදර නිසා. මේ මිනිහා නම් නරුමයෙක්. තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවත් එක්ක මගෙ කෙලී පුච්චලා තියෙන්නෙ. මං උදේ හවා දෙවියන්ට කිව්වා... විශේෂයෙන් කබලෑ දෙවියන්ට. ගම්භාර දෙවියො කියන්නෙත් එතුමාට. උදව් කළ පොලිස්කාරයො තුන්දෙනාටම පිස්සු හැදුණා. මහ එකා උළු ගෙදර ගියා.

ඩිංගිරි මහතා හා එමලින් මාතාවගේ වේදනාබර ප්‍රකාශ අතර දුව පැන ඇවිදින අවුරුදු 17 ක පමණ කෙල්ලක් මට පෙනෙයි. මම ඒ කවුරුන්දැයි ඔවුන් විමසමි.

එමලින් මාතාව හඬ අවදි කළාය.

මේ මගේ මිණිබිරිය මහත්තයො. මෙයත් කොබෙයිගනේ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ. දැන් අවුරුදු 17 යි. මගේ ලොකු පුතාගෙ දැරිවි. මං මාස 3 ඉඳලා හදන්නෙ. අපි දෙන්නා මේ නඩුවට ඇවිදිනකොට නිතර ක්ලාන්ත වෙලා වැටුණා.

මට මානසික රෝගයක් හැදෙන්ඩත් ආවා. පස්සෙ පුතා කැමැත්තෙන් දරුවා දුන්නා අපට. මෙයත් නැත්නම් අපට පිස්සු වැටෙනවාම තමයි. මේ රත්තරං කෙල්ලගෙ මුහුණ බලලා මං දැන් ජීවත්වෙන්නෙ.

ථෙරි කතාවලත් නොඑන බුදු පසේ බුදු මහරහතුන්වත් නොඉවසන මෙවන් අහිංසකයන්ගෙ කඳුළු කොතරම් බරදැයි මට සිතේ. තම දැරිවියට මෙන්ම ඒ මිනීමරුවාගේ බිරියට හා දරුවාට ද ඔව්හු අයහපතක් නොසිතති. ඒ සැබෑ මාපියන්ගේ හැටිය.

අද මේ සුන්දර අවුරුදු කුමාරිය ජීවත්වූවානම් ඇයට වයස අවුරුදු 43 කි. ඇයත් දූ දරුවන් කීප දෙනකුගේම අම්මා කෙනෙකු ද විය හැකිය. මේ අපරාධය කළ තැනැත්තා දැන් අවුරුදු 59 ක වියපත් පුද්ගලයෙකි. ඔහු ජීවිතාන්තය දක්වා සිපිරි ගෙදරක ජීවත් වනු ඇත.

ඔහු ජීවත්වන මහර බන්ධනාගාර අධිකාරි චන්ද්‍රසිරි මහතා හරහා අපි ඒ පුද්ගලයා හා කතාබහකට සූදානම් වීමු. ඒ සඳහා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ද සහාය අපට ලැබිණ.

එහෙත් අජිත් සමරකෝන් නමැති මේ අපරාධකරුවා බන්ධනාගාර අධිකාරිවරයාට මෙසේ කියා තිබිණ.

මං දැන් අලුත් ජීවිතයක් ගත කරන්නේ. භාවනාවට නැඹුරුව යහපත් මාර්ගයක ගමන් කරනවා. ඒ නිසා යටගිය අතීතයේ අහුමුළු ගැන කතා කරන්න කැමැති නෑ. ඒක ඒ අයට කියන්ඩ. ඔහු එසේ මා සම්මුඛ නොවන්නට කරුණු කියා තිබිණ.

මේ ඉරහඳ පායනා ලෝකය තවමත් වෙනස් වී නැත්තේය.


උපාලි සමරසිංහ

No comments:

Post a Comment