Pages

Friday, 25 April 2014

ඕනේම නං උදව්වක් ඕන කෙනෙක් දැකපු වෙලාවක එයාට උදව් කරලා මාව මතක් කරන්න....ඒ හොඳටම ඇති

එය අධික ශීතලෙන් යුත් සන්ධ්‍යා සමයකි. පාළු පාරක ගමන් කර මින් තිබූ මාග්‍රට් මහත්මියගේ මෝටර් රථය, යාන්ත්‍රික දෝෂය කට ලක්ව අතරමග නතර විය.

ක්‍රම ක්‍රමයෙන් අඳුර ගලා එයි. තව මොහොතකින් හිම පතනයද ඇරඹෙනු ඇත. බියට පත් මාග්‍රට් මහත්මිය වටපිට බැලුවේ, රථයේ දෝෂයට පිළියමක් කළ හැකි කිසිවෙකු මහමග එනු ඇත්දැයි දැන ගනු පිණිසය. එහෙත්, එය නිවාස ආදියෙන් තොර වනගත පෙදෙසක් වූ බැවින් කිසිවෙකු දක්නට නොවීය.


මොහොතකට පසු, සිය වැඩපළ නිම වී පාපැදියක නැගී නිවස බලා යමින් සිටි කම්කරුවෙක් රථය අසලට ළඟාවෙද්දී සිදුව ඇති දෙය තේරුම් ගෙන එහි මදකට නතර වූයේය. ඔහු දුටු මාග්‍රට් මහත්මිය වහාම රථයෙන් බසින්නට සූදානම් වූවාය.

එහෙත් කම්කරුවා සිනාසී ඇය ඉන් වැළකුවේය.


‘ එළියෙ බොහොම සීතලයි. නෝනා කාර් එක ඇතුළට වෙලා ඉන්න. මං බලන්නං ඇන්ජිමට මොකද වෙලා තියෙන්නෙ කියලා. පැය භාගයකට පමණ පසුව රථය යළි පණ ගැන්විය හැකි විය. වෙහෙසට පත්ව සිටි

කම්කරුවා තම දෑතෙහි වැකි කුණු රෙදි කඩකින් පිසදාගෙන ආපසු යාමට සැරසුණි.

කම්කරුවාට බෙහෝ ස්තුති කළ මාග්‍රට් මහත්මිය, ඔහු කළ උපකාරය වෙනුවෙන් කිසියම් මුදලක් ගෙවීමට සූදානම් විය. එහෙත්, කම්කරුවා එකහෙළාම එය ප්‍රතික්ෂේප කළේය. “අ‍පොයි නෝනා මට සල්ලි එපා. මං බොහොම ‍පොඩි උදව්වක්නෙ කෙරුවෙ.”


“අ‍පොයි එහෙම හොඳ නෑනෙ. වෙලාවේ හැටියට මට විශාල උදව්වක්නෙ කෙරුවෙ. මේක ‍පොඩි තෑග්ගක් හැටියට බාර ගන්න. “එපා නෝනා, මට ස්තුතිවන්ත වෙන්න ඕනේම නං උදව්වක් ඕන කෙනෙක් දැකපු වෙලාවක එයාට උදව් කරලා  මාව මතක් කරන්න. ඒ හොඳටම ඇති.”
කම්කරුවා සිනාසී පිටව ගියේය.


ගමනින් හරි අඩකට වඩා පසු කළ මාග්‍රට් මහත්මියට කුසගින්නක් දැනුණි. මග අසල වූ කුඩා කෝපි හලක් දුටු ඇය ඒ ඉදිරිපස රථය නතර කළාය. වෙහෙසට පත්ව සිටි මාග්‍රට් මහත්මිය දුටු කෝපිහ‍ලේ සේවිකාව වහා ඉදිරියට පැමිණ  ඇය සාදරයෙන් පිළිගෙන අවශ්‍ය ආහාර පාන පිළියෙළ කළාය.


එම සේවිකාව, දරු ප්‍රසුතියක් ආසන්නයේ සිටින බව දුටු මාග්‍රට් මහත්මිය තරමක් පුදුමයටත් කනස්සල්ලටත් පත් වුයේ එබඳු කෙනෙකු මෙතරම් රෑ බෝවන තුරු තනිපංගලමේ වැඩෙහි නිරතව සිටීම නුසුදුසු බැවිනි. 


නිසැකවම ඇය, වැඩිපුර මුදලක් සොයාගැනීමට වෙහෙසෙනවා විය යුතුය. බිල රැගෙන ආපසු ඒ මත ඩොලර් සියයේ නෝට්ටුවක් තැබූ මාග්‍රට්, සේවිකාව ඉතිරි සල්ලි රැගෙන ඒමට පෙර රථයට නැගී පිටව ගියාය.
ආපසු පැමිණි සේවිකාව පුදුමයෙන් වටපිට බැලුවාය. මේසය මත ඇති කඩදාසි අත්පිස්නාවෙහි යමක් ලියා තිබෙනු දුටු ඇය, වහාම එය අතට ගෙන බැලුවාය.


එහි මෙසේ ලියා තිබුණි.


“දියණිය, ඔබ මා ඉතා උණුසුමින් පිළිගෙන හොඳින් සංග්‍රහ කළා. ඔබ අද හෙටම මවක වීමට සිටින හෙයින් මගේ මේ සුළු තිළිණය පිළිගන්න. එය ඔබට සහනයක් වේ යැයි මා සිතනවා. එසේම උපකාරයක් ඇවැසි කෙනෙක් දුටු විට ඔහුට හෝ ඇයට උපකාර කරන්න. ඔබට, මට පෙරළා කළගුණ දැක්විය හැකි ආකාරයද එයමය.


එම කඩදාසි අත්පිස්නාව තුළ තවත් ඩොලර් සියයයේ නෝට්ටුවක් ද විය.
සේවාව නිම වී ආපසු නිවසට ගිය සේවිකාව සිය සැමියා එන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ එදා සවස ළඟා වූ මේ වාසනාව පිළිබඳව ඔහුට පැවැසීමටය. දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය මුදලින් හරි අඩකටත් වඩා දැන්  ඔවුන් සතුය. රෑ බෝවන තුරු වෙහෙසී වැඩ කිරීම තවදුරටත් අවශ්‍ය නැත.


සැමියා එන හඬ ඇසුණු සේවිකාව ඉක්මන් පිය තබමින් දොර වෙත ගියාය. ඉන් ගෙතුළට පිවිසියේ අන් කවරෙකුවත් නොව, මාග්‍රට්ගේ රථය හදා දුන් ඒ කම්කරුවාමය.

No comments:

Post a Comment