Pages

Sunday, 20 December 2020

ඇමසන් ගින්නේ දේශපාලනය

 ඇමේසන් ගින්නේ දේශපාලනය 

මේ  වන විට ලොව සිදුවෙමින් පවතින කාබන් විමෝචනය ගැන සලකා බලන විට ලොවට තවත්  ගස් බිලියන ගණනක් අවශ්‍ය බව විද්‍යාඥ මතයයි. එහෙත් සිදුවන්නේ ආර්ථික  අවශ්‍යතා සඳහා හෝ ජනාවාසකරණය පිණිස හැකි තරම් තුරු ලිය වනසා මහ පොළොව  කෙළින්ම හිරුට නිරාවරණය කිරීමයි. එවිට පොළොව මුඩු වේ. කෘත්‍රිම හේතු නිසා  පොළොව මුඩු වීමෙන් ස්වාභාවික පරිසර පද්ධතියේ තුළිත බව බිඳී යයි.

හිරු තුරු හිස් මත පතිත වන විට තුරුපත්වල ඇති හරිතප්‍රද හිරු රැස්වලින්  ශක්තිය උකහාගෙන වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ කඳ දිගේ ඉහළට නැඟෙන ජලය  උපයෝගී කැර ගනිමින් පත්‍රවලදී ප්‍රභාසංශ්ලේෂණය නම් ජීව-රසායනික  ප්‍රතික්‍රියාව සිදු කරයි. එහි දී කාබන් 1: හයිඩ්‍රජන්2: ඔක්සිජන් 1  අනුපාතය ඇති කාබෝහයිඩ්‍රේට් නම් ද්‍රව්‍ය කාණ්ඩයේ සංයෝග නිපැයේ. සත්ත්වයන්  පරිභෝජනය කරන ඕනෑම ආහාර වර්ගයක මූලික අවස්ථාව සහ සරල සංයුතිය මෙයයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තවත් වැදගත් දෙයක් සිදු වේ. ඒ සියලු ජීවීන්ගේ  ශ්වසනයද ඇතුළත් දහනය නමැති ක්‍රියාවට අවශ්‍ය ඔක්සිජන් වායුව විමෝචනය  කිරීමයි.

ඔක්සිජන් අවශෝෂණය කොට රුධිරගත ආහාර ජීරණය කිරීමේ ක්‍රියාවලිය එක්තරා  ආකාරයක දහනයකි. මේ සඳහා විවිධ සතුන්ගේ සිරුරු තුළ ව්‍යුහයෙන් වෙනස්කම් ඇති  ඉන්ද්‍රිය පිහිටා තිබේ. ක්ෂීරපායීන්ගේ පෙණහල්ල උදාහරණයකි.

පෙණහල්ල වායුගෝලයේ ඇති ඔක්සිජන් උරාගෙන සත්ත්ව ශ්වසන පද්ධතියට අගෝචර  කාබන්ඩයොක්සයිඩ් නම් වායුව පිට කරයි. ගසක් කරන්නේ එහි විලෝමයයි. ඇමේසන්  වනාන්තරය ‘ලෝකයේ පෙණහල්ල’ ලෙස හැඳින්වෙන්නේ මේ විලෝම ක්‍රියාවලිය සිදු කරන  හෙයිනි. ඇමේසන් ලොව ඔක්සිජන් අවශ්‍යතාවෙන් පහෙන් එකක් නිපදවන බව සාමාන්‍ය  පිළිගැනීමයි.

ඉතින්; ‘ලෝකයේ පෙණහල්ල’ ලෙස හැඳින්වෙන ඇමේසන් වනාන්තරයේ දැවැන්ත වෘක්‍ෂ  රාජයන් ආර්ථික අරමුණු උදෙසා පුලුස්සා දැමීම දැකිය හැක්කේ අනාගත ලෝකය මහා  ව්‍යසන උගුලකට හසු කිරීමක් ලෙසින් මිස අන් කවර අයුරකින්ද?

ඇමේසන් ද්‍රොණිය ලෙස හැඳින්වෙන ලොව විශාලතම වියළි කලාපීය වැසි  වනාන්තරයෙන් සෑහෙන කොටසක් බ්‍රසීලය තුළ පිහිටා ඇත. මෙය හෙළි පෙහෙළි  කිරීමෙන් ආර්ථික ආහාර භෝග වගා කිරීම බ්‍රසීලය කලක පටන් කැරගෙන ආවකි. එහෙත් ඒ  ක්‍රියාව මේ වසරේ ජනවාරි පළමුවනදා ජායිර් බොල්සෙනාරෝ ජනාධිපති ධුරයේ වැඩ  භාරගත් පසු ත්වරණය විය. ඔහු කෘෂි ව්‍යපාර ගැන වැඩි විශ්වාසයක් තබන්නෙකි.

📷

සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදීම ඔහු ඒ ගැන අනාවැකි ප්‍රකාශයට පත් කළේය.  වනාන්තරයේ අනීතික ඉඩම් අල්ලා ගැනීමට, පතල් කැණීම්වලට සහ සත්ත්ව පාලනයට  එරෙහිව ඇති දැඩි නීති ලිහිල් කිරීම ඒ අතර වෙයි.

ඇමේසන් වනාන්තරය සුරැකීම ගැන තමාට බලපෑම් කරන සංවිධාන සහ ආයතන ඔහුට  නොරිසිය. බ්‍රසීලය තුළ ඔවුන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට නොඑන්නැයි  ඔහු ලෝක වනසත්ත්ව අරමුදල වැනි සංවිධානවලට සිය විරෝධය නිවේදනය කොට ඇති අතර  ඒවාට රජයෙන් ලබා දෙන පහසුකම් කප්පාදු කොට හෝ අත්හිටුවා තිබේ. ඒවාට තමන්ගේ  එකඟත්වයක් නොමැති බවත් ඉවසා දරා නොසිටින බවත් ඔහු එම නිවේදන මගින් දන්වා  ඇත. එසේම ආදිවාසී ජනයාට ඉඩම් වෙන්කිරීම ගැනද ඔහු විරෝධය පළ කරයි. ඊට අමතරව  ඔහුගේ උපදේශකයන්ගේ නිවේදනවල දැක්වෙන පරිදි බ්‍රසීල රජය ඇමේසන් වනාන්තරය තුළ  න්‍යෂ්ටික සහ විදුලි බලාගාර අරඹන්නට අදහස් කොට සිටියි.

බොල්සෙනාරෝ වනාහි එක් අතකින් දුෂ්ඨයෙක් සහ අනෙක් අතින් නපුරෙක් යැයි එරට  හිටපු ජනාධිපති දැනට සිරගත ව සිටින ලූලා ද සිල්වා පසුගිය 26 දින විශේෂ  අවසරයක් මත බීබීසී සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ලොව රාජ්‍ය 196ක් විසින් එකඟ වනු ලැබ 2016 අප්‍රේල් 16 දින අත්සන් තබන  ලද පැරිස් දේශගුණික සම්මුතියෙන් සිය රට බැහැර වනු ඇති බවට ඔහු තර්ජනය කරයි.  අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට එම සම්මුතියෙන් ඉවත් වන බව නිල වශයෙන්  නිවේදනය කොට තිබේ. එම සම්මුතියට බ්‍රසීලය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ  බොල්සෙනාරෝගේ පූර්වගාමියා වූ මිචෙල් මිගුඅල් එලියස් ටෙමර් ලුලියා විසිනි.

ජනාධිපති ලෙස පත්වන්නට පෙර සිටම ඔහු 2019 දේශගුණ විපර්යාස සමුළුවට සිය  රට සත්කාරකත්වය දීම ගැන විරෝධය පළ කළේය. එම සමුළුවේ 25 වන සැසිය පවත්වන්නට  නියමිතව තිබුණේ එළැඹෙන නොවැම්බර් 11 - 22 දිනවල බ්‍රසීලයේ සාඕපෝලෝ නුවරය.  බොල්සෙනාරෝ ජනාධිපති වීමෙන් පසු සිය රට එම සත්කාරකත්වයෙන් ඉවත් වන බව නිල  වශයෙන් එක්සත් ජාතීන් වෙත දැනුම් දුන් අතර එළැඹෙන දෙසැම්බර් 2 - 13 කාල  සීමාව තුළ චිලී හි සැන්තියාගෝ අගනුවර පවත්වන්නට විධිවිධාන යොදනු ලැබ තිබේ.

‘ගෝලීය උණුසුම’ යනු ‘සංස්කෘතික මාස්වාදීන්ගේ (Cultural Marxists)  කුමන්ත්‍රණයක් බව බොල්සෙනාරෝගේ විදේශ අාමාත්‍ය අර්නෙස්ටෝ අරාඋජෝ පවසයි. මෙය  අමෙරිකන් ආරට යෑමක් බව ප්‍රකටය. ඔහු අමාත්‍යධුරයට පත් වූ වහාම කළ මුල්ම  කාර්යයන් අතර අමාත්‍යාංශයේ ‘දේශගුණ විපර්යාස’ යන කොටස ඉවත් කිරීමද වෙයි.  පාරිසරික අමාත්‍යංශය යටතේ තිබූ ‘දේශගුණ විපර්යාස සහ ඉහිල් කිරීම’ සහ ‘වන  නාශනය’ යන අංශ දෙකද වසා දමන ලදි. මේවා ජනාධිපතිවරණ පොරොන්දුය.

බොල්සෙනාරෝ ධුරයට පත්ව ගෙවුණු මුල් සමස තුළ ඇමේසන් වැසි වනාන්තරය වැනසීම  ඉහළ ගිය ප්‍රමාණය 88%ක් බව එරට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය යටතේ  ස්ථාපිත ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වාර්තා කළේය. වාර්තාව නිකුත් කළ  වහාම සාවද්‍ය දත්ත මත වැරදි වාර්තා පිළියෙල කරන්නේය යන චෝදනාව නගා එහි  ප්‍රධානියා සේවයෙන් ඉවත් කැරිණි. මේ රජය බලයට පත්වීමෙන් පසු ඇමේසන් වනය තුළ  පාරිසරික විනාශය මැඩ පැවැත්වීමට අදාළ නීති පොරොන්දු ලෙස ලිහිල් කරන ලදි. ඒ  අනුව වනාන්තරය තුළ පදිංචි වීම, පශු පාලනය සහ පතල් කැණීම යන කටයුතුවලට අදාළ  දඩ සහ අනෙකුත් දඬුවම් 20% දක්වා අඩු කොට තිබේ.

මේ වසරේ මුල් සමස තුළ ඇමේසන් වනයේ ළැව්ගිනි 72,000ක් පමණ ඇති වූ බව  ජාතික අභ්‍යවකාශ පර්යෙෂණ ආයතනයේ නවතම වාර්තාවක දැක්වේ. පසුගිය වසරේ මෙම  සංඛ්‍යාව 40,000 පමණ මට්ටමේ පැවැතිණි. මේ අතර බහුතරයක් ස්වාභාවික ළැව් ගිනි  නොව ගිනි තැබීම් බව පාරිසරික සංවිධානවල මතයයි. මේ සංඛ්‍යාන 85,000ක් බව  ඇතැම් තැනෙක සඳහන්ය.

ඒ ගිනිතැබීම් අනීතිකය. අනීතිකව ඉඩම් අල්ලා ගන්නෝ තමන්ගේ ඉඩම විශාල කැර  ගනු කැමැත්තෝ වෙති. ඊට ගොදුරුවන්නේ අහිංසක වනයයි. එයින් මෙලොව පවතින  විශාලතම කාබන් අවශෝෂකයේ අගය පහළට ඇද දමයි. මේ වනවිට ඇමේසන් පෘථිවියට තවත්  දරා ගන්නට බැරි තරම් විනාශ වී හමාර ය. මින්පසු එය නියත වශයෙන්ම සැවනා සහිත  මුඩු බිමක් බවට පත් වනු නිසැකය.

ජනාධිපති බොල්සෙනාරෝගේ රජයේ පරිසර විරෝධී බව මෙයින් ප්‍රකට වන්නේ යැයි  විචාරකයෝ පෙන්වා දෙති. ඔහුට අවශ්‍ය වන්නේ ඇමේසන් වනය මුළුමනින්ම බූ ගා සෝයා  බෝංචි වැනි ආර්ථිකමය වටිනාකමකින් යුත් ආහාර භෝග වගා කිරීමය. මෙබඳු ආහාර  භෝග 20ක් පමණ එරට විසින් අපනයනය කෙරෙන අතර සෝයා බෝංචි ඉන් ප්‍රමුඛය. චීන  අමෙරිකා වෙළෙඳ හබය නිසා චීනය අමෙරිකා එක්සත් ජනපදයෙන් මිල දී ගන්නා සෝයා  බෝංචි ප්‍රමාණය අඩු කළ අතර බ්‍රසීලය එතැන ගත්තේය.

ඔසාකාහි පැවැති පසුගිය G20 සමුළුවේදී ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්  බ්‍රසීල ජනාධිපතිවරයා හමු වී ඇමේසන් වන විනාශය ගැන ඍජුවම සිය අදහස් පළ කළ  බව වාර්තා විය. යුරෝපා සංගමය සමග බ්‍රසීලය අත්සන් තබන්නට නියමිතව සිටි  ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමට සිය සහාය දෙන්නේ එරට පැරිස් සම්මුතියෙන් ඉවත්  නොවන්නේ නම් පමණක් බව ෆ්‍රංස ජනාධිපති ෆ්‍රංසුආ මක්‍රොන් ඔසාකාහිදී  බොල්සෙනාරෝ හමු වී පැවසූ බවද වාර්තා වේ. ඊට පිළිතුරු වශයෙන් සිය රට ස්ථිර  වශයෙන් ම පැරිස් සම්මුතියෙන් ඉවත් නොවන බවත් පවසා ඇති බොල්සෙනාරෝ නුදුරු  දිනෙක බ්‍රසීලයට පැමිණ ඇමේසන් කලාපයේ චාරිකාවක නිරත වන ලෙස මක්‍රොන්ගෙන්  ඉල්ලා ඇත.

එහෙත් පසුගිය මාසයේ මාධ්‍ය හමුවකදී බොල්සෙනාරෝ යුරෝපා නායකයන්ගේ විවේචන,  අදහස් හා යෝජනාවලට දැඩි සේ පහර ගැසූ බව සඳහන්ය. යුරෝපා නායකයන් අනුන්ගේ  දේවලට ඇඟිළි නොගසා තමන්ගේ වැඩක් බලා ගත්තා නම් වඩා සුදුසු බව පැවසූ ඔහු  යුරෝපයේ තුරුලතා සම්පත දැනටමත් වනසා අවසන් බව පැවසීය. තමන් ලොව අන් කිසිදු  රටකට වඩා තුරුලිය සුරකින බවත් එනිසා ලොව කිසිම රටකට ඇමේසන් ගැන කතා කරන්නට  සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු එහිදී පවසා ඇත.

අගෝස්තු මුල ඇමේසන් වනාන්තරයේ විශාල පරිමාණයේ ගින්නක් හට ගත්තේය.  සාමාන්‍යයෙන් වියළි කාලගුණවලදී මෙවැන්නක් අනපේක්‍ෂිත නොවේ. එහෙත් මෙවර  ගින්න වෙනස්ය. එය මේ දක්වා ඇවිළෙමින් පවතින අතර හෙක්ටෙයාර ලක්ෂ එකහමාරක්  පමණ මේ වන විට දැවී අළු වී හමාරය. ඒ අනුව දැන් එය අන්තර්ජාතික තලයේ නිතිපතා  සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත් විය. පසුගිය සතියේ පැවැති G7  සමුළුවේදී ඒ ගැන සාකච්ඡා කෙරී ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ඇඩො මිලියන  22ක ආධාරයක් බ්‍රසීලයට ලබා දිය යුතු යැයි එසැණ යෝජනාවක් සම්මත වී ඇත. ඒ  යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ප්‍රංස ජනාධිපති ෆ්‍රංසුආ මක්‍රොන් විසින් වන  අතර ඒකමතිකව සම්මත වී තිබේ. එහෙත් අැමෙරිකා එක්සත් ජනපදය ඒ යෝජනාවට පූර්ණ  එකඟත්වය පළ නොකළ බව සඳහන්ය.

බ්‍රසීල රජය එම යෝජනාව එකපැහැර ප්‍රතික්‍ෂෙප කළේය. සිය රට ප්‍රංසයේ  කොලනියක් මෙන් සලකන්නේ යැයි බොල්සෙනාරෝ මැක්‍රොන්ට චෝදනා කළේය. එරට ආරක්‍ෂක  අමාත්‍යංශයේ නිවේදනයකින් කියැවෙන්නේ ගින්න පාලනයකින් තොරව පවතින්ය යන්න  තමන් ප්‍රතික්‍ෂෙප කරන බවයි. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්  ලොරෙන්සින්ගේ ට්විටර් පණිවිඩයක මෙසේ සඳහන්ය. ‘පරිත්‍යාගයට ස්තුතියි. ඒ  මුදල් යුරෝපයේ නැවත වන වගා කිරීම්වලට යොදවන්නේ නම් සුදුසුයි. ලෝක උරුමයක්  වන සිය රටේ දේවස්ථානයක් රැක ගන්නට මැක්‍රොන්ට නොහැකි වුණා. ඒත් ඔහු එනවා  අපේ ගින්න නිවන්න. වන ගිනි නිවීම සහ පාලනය ගැන ලොව ඕනෑම ජාතියකට පාඩම් කියා  දෙන්නට අපට හැකියි’

සාඩම්බර වාග් ප්‍රහාරවල යෙදෙමින් සිටිනවා විනා බ්‍රසීල රජය ඇමේසන් වනයේ  ගිනි නිවීමට උත්සාහ නොගන්නේ යැයි පාරිසරික සංවිධාන පෙන්වා දෙති. ජනාධිපති  බොල්සෙනාරෝ පෙර ප්‍රකාශ කළේ ඇමේසන් වනයේ ඇති වන වනගිනි නිවන්නට තරම්  ප්‍රමාණවත් සම්පත් සිය රටට නැති බවයි. එහෙත් පරිත්‍යාග කරන්නට කෙනෙක්  ඉදිරිපත් වූ විට ඔවුන් පලවා හැරීමද සිරිත් වශයෙන් සිදුවෙයි. තම පාරිසරික  සංවිධානය ඇ.ඩො. මිලියන 5ක් ඇමේසන් ගිනි නිවීම සඳහා පරිත්‍යාග කරන්නට  සූදානම් බව සම්මානලාභි සිනමා නළු ලෙනාඩෝ ඩිකැෆ්‍රියෝ දන්වා පසුගිය 26 දින  බ්‍රසීල රජයට නිල වශයෙන් දන්වා ඇතත් ප්‍රතිචාරය සඳහන් නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උත්කර්ෂයට නංවන ලද වාර්තා හා සංඛ්‍යා  අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලවල පළවන බව බ්‍රසීල රජයේ අදහසයි. පසුගිය සමයේ  නැගෙනහිර බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ මීට බලවත් ගිනි ඇවිළිණි. එහෙත් ඒ ගිනි  මේ තරම් කාලයක් අල්ලා සිටියේත් පැතිර ගියේත් නැති බව පෙන්වා දෙනු ලැබ තිබේ.  ඇමේසන් ලෝකයේ පෙණහල්ල ලෙස නම් දරා සිටින නිසා එයට විශාල ප්‍රචාරයක් ලැබුණා  විය හැකිය.

මේ සියල්ලට වගකිව යුත්තේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජායිර් බොල්සෙනාරෝ  බව ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. අනීතික ඉඩම් අල්ලා ගැනීම්වලට සහ  පතල් කැණීම්වලට ඉඩදී නිසොල්මනේ බලා හිඳින්නට රජයේ නිලධාරීන් පෙළැඹවීම  මගින් ඔහු කරන්නේ මහා විනාශයකි. ඊට අමතර වශයෙන් ඔහු වන ගිනි මැඩලන්නටද  කිසිවක් නොකරයි.

ඔහුට පිටුබලය සපයන්නේ අැමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ය. ‘බොල්සෙනාරෝ  පරමාදර්ශයට ගන්නේ ලෝකය රවුම් නොව පැතලි ය’යි කියා සිතන පුද්ගයකු බව ලූලා ද  සිල්වා පවසයි. ඔහු ඒ කියන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැනය.

[Extracted]





No comments:

Post a Comment