Pages

Monday, 8 July 2013

ආණ්‌ඩුව උතුරේ ඡන්ද මංකොල්ලයකට සූදානම් වෙනවා – එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක

මේවන විට දැඩි කතාබහට ලක්‌ව ඇති 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ උතුරේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සමග  ‘දිවයින ඉරිදා සංග්‍රහය‘  කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය(- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධව රට තුළ පුළුල් කථිකාවක්‌ මේ වන විට ඇතිවී තිබෙනවා. රටේ විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මේ සම්බන්ධව දරන සෘජු ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර(- කිසි ලෙසකින්වත් දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු නැහැ. යම් කෙනෙක්‌ හෝ යම් පක්‍ෂයක්‌ එහෙම කරනවා නම් ඊට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

ප්‍රශ්නය(- එහෙම කියන්නේ ඇයි?

ප්‍රශ්නය(- 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සිදු කළේ මීට වසර 25 කට පෙරයි. එවකට උතුර නැගෙනහිර පැවැති අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ලබාදීමේ අරමුණින් මේ සංශෝධනය ගෙන ආ බව සිහිපත් කළ යුතුයි.

13 වැනි සංශෝධනය රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක්‌ බවට පත්වුණේ ඉන්දු ශ්‍රී ලංකා එකඟතාවක්‌ මතයි. මෙය රට බෙදන හෝ ඊට අනුබල දෙන එකක්‌ නොවෙයි.

මෙම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ උතුරු නැගෙනහිරට බලය බෙදීමක්‌ කළ යුතු බවට යෝජනා කළ අවස්‌ථාවේ එවකට සිටි ෙ-. ආර්. ජයවර්ධන මහතා උතුරට පමණක්‌ නොව පළාත් නවයකට බලය බෙදාහරිමින් පළාත් සභා ක්‍රමය ස්‌ථාපිත කළා. නමුත් එය අහෝසි කළ යුතු බව පවසමින් ආණ්‌ඩුව උතුරේ ඡන්දය අරමුණ කරගෙන අද දේශපාලන සූදුවක නිරතව සිටිනවා. අපි කියන්නේ අහෝසි කළ යුත්තේ 13 වැනි සංශෝධනය හෝ පළාත් සභා නොවෙයි. ජනාධිපතිවරයා රටට පොරොන්දු වූ විධායක ජනාධිපති ක්‍රමයයි. ඒ වගේම අහෝසි කළ යුත්තේ බලහත්කාරයෙන් සම්මත කරගත් 18 වැනි සංශෝධනයයි. ඒ සඳහා පියවර නොගෙන දේශපාලන වාසිගන්න ආණ්‌ඩුව ක්‍රියා කරමින් සිටින බව පැහැදිළියි.

ප්‍රශ්නය(- පළාත් සභාවලට පොලිස්‌ හා ඉඩම් බලතල ලබා දුන්නොත් අනාගතයේ අපිට උතුරට යැමට ඒමටවත් හැකි වාතාවරණයක්‌ එහි නැතිවිය හැකි බව බොහෝ පිරිසක්‌ ප්‍රකාශ කරනවා. එවැනි පසුබිමක්‌ තුළ ඔබ කොහොමද කියන්නේ එමගින් රට බෙදෙන්නේ නැහැ කියා.

පිළිතුර(- ඔබ ඔය කියන ප්‍රශ්නය මතු කරන්නේ ආණ්‌ඩුවේ හෙංචයියන් හා කසකාරීන් පිරිසක්‌. ඔවුන්ට උවමනා කර තිබෙන්නේ හැමදාම ජාතිවාදය වපුරමින් බලය රැකගෙන ඒ මත යෑපීමයි.

ඉඩම් පොලිස්‌ බලතල උතුරට හෝ වෙනත් පළාත් සභාවකට ලබාදීමෙන් රට බෙදනවා කියන කතාව අමූලික බොරුවක්‌ බව කිව යුතුයි.

මේ රටේ පොලිසිය පාලනය කරන්නේ පොලිස්‌ පතිවරයායි. ඒ පොලිසිය පාලනය කරන ආයතනය වන්නේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයයි. මෙවැනි පසුබිමක්‌ තුළ රට බෙදීමක්‌ ගැන කථා කිරීම විහිළුවක්‌ වෙනවා. මේ රටේ කියවීමට ලිවීමට හැකි බහුතර ජනතාවක්‌ සිටින බව මෙවැනි බොලඳ ප්‍රකාශ ගෙන යන අය මතක තබාගත යුතුයි.

උතුරේ ඡන්දය පැවැත්වීමට සූදානම් වන මෙවැනි අවස්‌ථාවක ආණ්‌ඩුව ගෙනයන මේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා රට ජාත්‍යන්තර වශයෙන් අපවාදයකට ලක්‌වෙනවා. ආණ්‌ඩුව කියන පරිදි රට බෙදීමක්‌ සිදුවෙනවා නම් ආණ්‌ඩුව කළ යුත්තේ වහාම මෙතැන් සිට විධායක පොලිස්‌ සහ ඉඩම් කොමිෂන් සභාවක්‌ ඇති කිරීමයි.

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සියලු පක්‍ෂ සමග ඇතිකරගත් එකඟතාව මත රටේ ස්‌ථාපිත කළ 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ඇතිකළ ස්‌වාධීන පොලිස්‌ ඉඩම් කොමිෂන් සභාව තිබුණා නම් මහ ඇමැතිවරයාට වත්, ජනාධිපතිවරයාට වත් මෙයට ඇඟිලි ගැසිය නොහැකියි. එය ස්‌වාධීන කොමිෂන් සභා හරහා ක්‍රියාකළ යුතුයි. මේ තත්ත්වය මත අප කියා සිටින්නේ 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලාත්මක කර ස්‌වාධීන කොමිෂන් සභා යළි ස්‌ථාපිත කළ යුතු බවයි. එවිට කිසිදු බලවේගයකට ඊට ඇඟිලි ගැසිය නොහැකියි. නමුත් ආණ්‌ඩුව අද උත්සාහ කරන්නේ ඉන් මග හැර යැමයි. මෙයින් අපට පේන්නේ ආණ්‌ඩුව අඬුව තියාගෙන අත පුච්චා ගන්න හදන බවයි.

ප්‍රශ්නය(- ජනාධිපතිවරයාගේ විශේෂ පණිවුඩයක්‌ රැගෙන බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ ගමනට පෙර විපක්‍ෂය සමග සාකච්ඡා කළා නේද?

පිළිතුර(- බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවට ගියේ උතුරට පොලිස්‌ ඉඩම් බලතල නොදෙන බව දැනුම් දීමට බව මාධ්‍ය වාර්තාකර තිබුණා. එය අපිත් දුටුවා නමුත් මේ ගමන ගැන හෝ ආණ්‌ඩුවේ ස්‌ථාවරය සම්බන්ධව හෝ එක්‌සත් ජාතික පක්‍ෂය සමග කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැහැ.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජුනි මස 12 වැනිදා ජනාධිපතිතුමාට ප්‍රධාන කාරණා තුනක්‌ සිහිපත්කර ලිපියක්‌ යොමු කළා. එයින් ඉල්ලා සිටියේ උතුරේ ඡන්දය පැවැත්වීමට පෙර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලාත්මක කර ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කිරීම, උතුරට සිවිල් ආණ්‌ඩුකාරවරයෙක්‌ පත්කිරීම, මැතිවරණය නිරීක්‍ෂණය කිරීමට විදේශ නිරීක්‍ෂකයෝ කැඳවීම යන ප්‍රධාන කරුණුයි. මේ ලිපියට කිසිදු පිළිතුරක්‌ ජනාධිපතිවරයා මෙතෙක්‌ එවා නැහැ

ප්‍රශ්නය(- නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා. එයට ඔබේ පක්‍ෂය සහභාගි නොවී පිටතින් සිට චෝදනා කිරීම වැරදියි නේද?

පිළිතුර(- එය කිසිම වැරැද්දක්‌ නැහැ. අනික අත්දැකීම් අනුව බලන විට ඔය තේරීම් කාරක සභාව ගැන අපිට ලොකු අවිශ්වාසයක්‌, සැකයක්‌ තිබෙනවා. පසුගිය කාලේ පත්කළ තේරීම් කාරක සභාවලින් කිසිදු ප්‍රයෝජනයක්‌ වුණේ නැහැ. විපක්‍ෂය මතු කළ කරුණුවලට තැනක්‌ ලැබුණේ නැහැ.

ඒ කෙසේ වෙතත් පසුගියදා විපක්‍ෂ නායකවරයා යවන ලද ලිපියට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබෙනවා නම් තේරීම් කාරක සභාවට සහභාගිවීම සම්බන්ධව අපට තීන්දුවක්‌ ගත හැකියි.

ප්‍රශ්නය(- ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාවේ එකඟතාවක්‌ නොමැතිව ශ්‍රී ලංකා රජයට අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම කළ හැකි ද?

පිළිතුර(- එහෙම කරනවා නම් එය සදාචාර සම්පන්න නැහැ. දෙපාර්ශ්වය අතර ගිවිසුමක්‌ තිබෙනවා නම් එය සංශෝධනය කිරීමේදී දෙපාර්ශ්වය අතර යම් එකඟතාවකට පැමිණිය යුතුයි.

13 වැනි සංශෝධනයට ඔබ්බෙන් යන බලය බෙදා හැරීමක්‌ සිදුකරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය රටට පොරොන්දු වූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා. මෙවැනි පසුබිමක්‌ තුළ 13 මගින් දී තිබෙන බලතල කප්පාදු කරනවා නම් එය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්විය හැකියි.

ප්‍රශ්නය(- නමුත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ 13 වැනි සංශෝධනයට ඔබ්බෙන් යන බලය බෙදාහැරීමක්‌ ගැන ජනාධිපතිවරයා පොරොන්දු වුණේ එහි වෙනත් අර්ථයක්‌ ඇතිව බවයි. ඇතැම් පාර්ශ්වයන් වැරදි ලෙස අවබෝධ කර ක්‍රියාකරන බවට ඔහු චෝදනා කර තිබුණා.

පිළිතුර(- ආරක්‍ෂක ලේකම්ගේ ඒ ප්‍රකාශය කොණ්‌ඩය බැඳපු චීන්නුන්ට කියන කතාවක්‌ වගෙයි. ජාත්‍යන්තරය හා ලංකාවේ සිටින ජනතාව කොණ්‌ඩය බැඳපු චීන්නු ලෙස සලකා එවැනි ප්‍රකාශ කිරීම ගැන අපි විමතියට පත්වෙනවා.

උතුරේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්‌ ලබාදෙනු ඇතැයි රජය කෙරෙහි විශ්වාසයක්‌ තබා ඉන්දියාව යුද්ධය නිම කිරීමට අපට සහය දුන්නා. එහෙම සහයෝගය නොදුන්නා නම් යුද්ධය නිමකරන්න හැකි වන්නේ නැහැ. නමුත් මේ ආණ්‌ඩුව ඒ විශ්වාසයන් සියල්ල විනාශ කර දමා ඒකාධිපති ගමනක්‌ ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය(- සැප්තැම්බර්Êමාසයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයට එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇති සූදානම කොයි වගේද?

පිළිතුර(- උතුරේ පළාත් සභා ඡන්දය ලබාගන්නත් එමගින් ඒ ජනතාවට කැමැති පාලනයක්‌ තෝරාපත්කර ගන්නත් අවස්‌ථාව ලබාදීමට අපි දැඩි උත්සාහයක නිරත වුණා. කෙසේ හෝ දැන් ඒ අවස්‌ථාව ලැබී තිබෙනවා.

මේ ඡන්දයට සහභාගි වීමක්‌ වශයෙන් අපේ පක්‍ෂය තරග කරනවා. පසුගිය කාලේ උතුරේ අපි සංචාරය කළා. මැතිවරණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් අපි සංවිධානය කරමින් සිටින බව සිහිපත් කළ යුතුයි.

ප්‍රශ්නය(- උතුරේ ඡන්දයට එ.ජා.පය හා ටී. එන්. ඒ. අතර හවුලක්‌ තිබෙනවද?

පිළිතුර(- එහෙම හවුලක්‌ නැහැ. අපි තනි පක්‍ෂයක්‌ ලෙස අලියා ලකුණින් තරග කරනවා. ටී. එන්. ඒ. එක වෙනම තරග කරනවා. මේ මැතිවරණය ඔවුන්ගේ බලය උරගා බැලීමේ මැතිවරණයක්‌ බවට පත්කරගනු ඇති.

අද මේ ආණ්‌ඩුව හිටපු එල්. ටී. ටී. ඊ. නායකයන් තම ලැයිස්‌තුවට ඇතුළත් කරගෙන උතුරේ ඡන්දය කරන්න හදනවා. මේ වනවිටත් උතුරේ සිටින විරුද්ධ පක්‍ෂවල ක්‍රියාකාරීන්ට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා.

ප්‍රශ්නය(- එවැනි පසුබිමක්‌ තුළ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය නිදහස්‌ සහ සාධාරණ එකක්‌ වනු ඇතැයි ඔබ විශ්වාස කරනවද?

පිළිතුර(- දැනටමත් අපිට ලැබී තිබෙන තොරතුරුවලට අනුව උතුරේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වෙනු ඇතැයි අපිට කිසිසේත් විශ්වාස කළ නොහැකියි. ඒ ගැන විශාල සැකයක්‌ අප තුළ තිබෙනවා.

පසුගිය සතියේ උතුරේ එ. ජා. ප. ක්‍රියාකාරීන් කණ්‌ඩායමක්‌ කොළඹට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළා. එහිදී ඔවුන් කියා සිටියේ දැනටමත් එජාපයේ සංවිධාන කටයුතු සිදු කරන විට හා ඉදිරි මැතිවරණයට තරග කරනවා කියන ආරංචිය පැතිරීමත් සමග ඔවුන් පිටුපස, ඔවුන් කරන වැඩකටයුතු හා සංවිධාන කටයුතු පිටුපස යම්කිසි කණ්‌ඩායමක්‌ දැඩි විපරමකින් යුක්‌තව ප්‍රශ්න කරමින් බලා සිටින බවයි. ඇතැම් අවස්‌ථාවල ඔවුන්ට බලපෑම් පවා එල්ල කර තිබෙනවා. මේ පසුබිම තුළ උතු=රේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැකියි.

මේ ලෙස උතුරේ ඡන්දය වංචා සහගත ලෙස බලපෑම් එල්ල කරමින් සිදු කළොත් එය නරක පූර්වාදර්ශයක්‌ පමණක්‌ නොව රටට අපකීර්තියක්‌ ද ඇතිවන බව ආණ්‌ඩුව මතක තබාගෙන ක්‍රියා කළ යුතුයි.

සාකච්ඡා කළේ - පියසේන දිසානායක

No comments:

Post a Comment