Thursday, 8 August 2013

ජනාධිපති මහින්ද 'ඉන්දියාව ඉදිරියේ දණ ගහනවා'

විජිත රෝහණ විසින් රජීව් ගාන්ධිට පහර දුන් අවස්ථාව
විජිත රෝහණ විජේමුණි හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට පහර දුන් අවස්ථාව
උතුරේ පළාත් සභා මැතිවරණය, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ බලපෑම්වලට නතුවීමේ ප්‍රතිඵලයක් බව හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට පහර දුන් හිටපු නාවුක සෙබලා පවසයි.
විජිත රෝහණ විජේමුණි ඒ බව කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය තහනම් කිරීමේ නියෝගයක් කරන මෙන් ඉල්ලා සිංහල ජාතික පෙරමුණ ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමග අදහස් දක්වමින්.
"මේ රටේ ජනාධිපතිවරයා ඉන්දියාව ඉදිරියේ දණ ගහල ඉවරයි," යනුවෙන් ද ඔහු පැවසීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ මූලික විරෝධතාවයක් මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා, පළාත් සභා මැතිවරණය කැඳවා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව බැවින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව කියා සිටියේය.
එහිදී ප්‍රශ්නයක් මතු කළ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා සිංහල ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් පෙත්සමේ සඳහන් කොට තිබුනත්, එය මැතිවරණ කොමසාරිස්වරයා විසන් ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂයක් නොවන බව පැවසීය.
එබැවින් පෙත්සම ඉදිරියට පවත්වා ගෙන යාමට ඉඩ දිය නොහැකි බව අභියාචනාධිකරණයේ සභාපතිවරයා දැනුම් දීමෙන් අනතුරුවයි, පෙත්සම්කාර විජිත රෝහණ විජේමුණි විසින් පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබුවේ.
සිය පක්ෂයේ සාමාජිකයන් පුද්ගලික මට්ටමෙන් උතුරු පළාත් සභා මැතිවරණයට එරෙහිව යලිත් වරක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ඇති බව ද ඔහු පැවසීය.

No comments:

Post a Comment