Pages

Thursday, 3 October 2013

සාම්පුර් බලාගාරයේ වසරක පාඩුව කෝටි 763ක් සෑම පාරිභෝගිකයෙකුටම පාඩුව නිසා වාර්ෂිකව අවම වශයෙන් රු 1525 ක් බැගින් ගෙවිය යුතුයි.


ලංවිම සහ ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම අතර ඇති මුලික ගිවිසුමට ප්‍රකාරව මෙගා වොට් 500 ක ධාරිතාවයකින් යුතු ගල් අගුරු බලාගාරයක් සාම්පූර් හි පිහිටුවනු ලබන අතර, විදුලිබල අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකුගේ හා ලංකා විදුලි බලමණ්ඩලයේ ඉහළ ඉංජිනේරුවකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තුළ අත්සන් කළ එම මුලික ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට වසරකට සිදුවන පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 7.63 ක්, එනම් රුපියල් කෝටි 763 ක් බව 'පොදු සේවා සංගමය' පවසයි.

'පොදු සේවා සංගමය' විසින් නිකුත්කොට ඇති නිවේදනයක් එබව සඳහන්වේ.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පළවේ.


'' ත්‍රිකුණාමලයේ සාම්පුර් ගල් අඟරු බලාගාරයේ අවසන් ගිවිසුම ලබන සතියේ අත්සන් කිරීමට යන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ. නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දියානු අගමැතිගේ සහභාගිත්වය පිළිබඳ සැක සංකා මතු වී ඇති පසුබිමක, ඉන්දියානු විදේශ ඇමති සල්මන් කුර්ෂිඩ් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමත් අතරතුර එකී ගිවිසුම අත්සන් කිරීමට අවස්ථාව යොදා ගන්නා බවත් කියැවේ.


ලංවිම සහ ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම අතර ඇති මුලික ගිවිසුමට ප්‍රකාරව මෙගා වොට් 500 ක ධාරිතාවයකින් යුතු ගල් අගුරු බලාගාරයක් සාම්පූර් හි පිහිටුවනු ඇත. ඒ සඳහා ලංවිම සහ එන්.ටී.පී.සී. සමාගම ඩොලර් මිලියන 75 බැගින් වූ ප්‍රාග්ධනයන් සැපයිය යුතු අතර තවත් ඩොලර් මිලියන 350 ක් පමණ ණය වශයෙන් ලබාගත යුතුය.


ඒ අනුව මෙම බලාගාරය සඳහා ඩොලර් මිලියන 500 ක මුළු වියදමක් සිදුවේ යැයි සඳහන් කෙරේ. එහෙත් එම බලාගාරයේ සැබෑ වියදම නිශ්චිතව දැනගන්නට නොමැත. මෙය ලංකාව සහ ඉන්දියාව අතර සියයට පණහ බැගින් සම පංගුකාරිත්වයක් දරණ බැව් පැවසුවත් දැනටමත් සකසා ඇති මුලික ගිවිසුම් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට අවාසි සහගත කොන්දේසි රැසකට එකඟ වීමට සිදුවී ඇති බැව් පසුගිය දිනවල වාර්තා විය. එහි ප්‍රතිවිපාක සැකෙවින් මෙසේය.


• බලාගාරයේ කාර්යක්ෂමතාව ශක්‍යතා අධ්‍යන වාර්තාවේ සඳහන් පරිදි 40% ලෙස නොව 33% ලෙස සැලකීම නිසා දැනට පවතින මිළ ගණන් අනුව වාර්ෂිකව රුපියල් බිලියන 2.6 සිට 4.9 දක්වා වන අලාභයක් සිදුවීම.


• බලාගාරයේ වාර්ෂික නඩත්තු වියදම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 20.5 නොව ඇමරිකානු ඩොලර් මිලියන 32.5 ලෙස සැලකීම නිසා විදුලි බල මණ්ඩලයට දැනට පවතින විනිමය අනුපාතිකය අනුව අවම වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 1.56 ක අලාභයක් සිදුවීම.


• මෙගාවොට් 500 ක තරම් විශාල බලාගාරයක් සඳහා හිමිකම් මත ලැබීම් (ආර්.ඕ.ඊ) ලෙස ඇමරිකානු ඩොලර් වලින් 18% වසරකට ලබාදීම දැනට තිඛෙන ලෝකයේ ඇති ප්‍රතිශත අනුව අසාධාරණවේ. එම අගය 12% ලෙස සැලකුව හොත් මෙම තීරණය නිසා දැනට තිඛෙන විනිමය අනුපාතිකය අනුව විදුලි පාරිභෝගිකයාට වසරකට රු බිලියන 1.2 ක පමණ අලාභයක් සිදුවීම.


• මෙම විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුමෙහි සාම්පූර් බලාගාරයේ මුළු ප්‍රාග්ධන මුදල සඳහන් නොකොට හිස් තැනක් වශයෙන් තිබිණි. ඒ අනුව ඉන්දියානු එන්.ටී.පී.සී. සමාගමට වංචනිකව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හා එක්ව පසුකාලීනව හිතුමතයේ ප්‍රාග්ධන වියදම ඉහළ නංවා පෙන්වීමට හැකිවේ. ඒ අනුව ඉබේම ඒකකයක් වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ඉහළ මිළක් ගෙවීමට සිදුවීම.


විදුලිබල අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකුගේ හා ලංකා විදුලි බලමණ්ඩලයේ ඉහළ ඉංජිනේරුවකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තුළ අත්සන් කළ එම මුලික ගිවිසුමට අනුව වසරකට සිදුවන පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 7.63 කි. එනම් රුපියල් කෝටි 763 කි.


මේ අනුව ලංකා විදුලි බලමණ්ඩලයට ලැඛෙන පංගුකාරිත්වයෙන් වැඩි කොටසක් යළි ඉන්දියානු සමාගම විසින් කොල්ල කෑමේ තත්වයක් උදා වී ඇත.


මේ සියළු වියදම් අනාගතයේ විදුලි පාරිභෝගිකයා මත පැටවෙනුයේ ලංවිම පාඩු නොලැබිය යුතුය යන ව්‍යාජ සටන් පාඨයම මෙම නිලධාරීන්ගෙන් මුවෙන් පිටවෙන විට විය හැකිය. ඒ අනුව සෑම පාරිභෝගිකයෙකුටම මෙම වංචාව නිසා වාර්ෂිකව අවම වශයෙන් රු 1525 ක් බැගින් හෝ ගෙවිය යුතුවේ.


ලාභයට විදුලිය දීමට සැළසුම් කරන ගල් අඟුරු බලාගාර මඟින් මෙවැනි නාස්තියක් හා දුෂණයක් සිදුවීම නො සැලකිල්ල නිසා සිදුවන්නක් නොවේ.


මෙම ව්‍යාපෘතිය මුල් කාලයේ සිටම ක්‍රියාත්මක වූයේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදිනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මඟිනි. ලංවිම අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද සාමාන්‍යාධිකාරීවරියගෙන් ද මීට අදාළ අවසර ලබාගැනීමක් නොවුණු බවට මාධ්‍යය වාර්තා පළවිය.


මෙහි සියළු වැදගත් ආර්ථීක සහ තාක්ෂණික කරුණු ආණ්ඩුවේ වුවමනාව සහ ඉන්දියාවේ බලපෑම යනාදී කඩතුරාවන්ගෙන් යට ගැසීම මත සිදුව තිබේනම් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කිරීම පළමුව කළ යුතුය.


මේ සා විශාල පාඩුවකට වගකිව යුතු වරදකරුවන්ට දඩුවම් දිය යුතුය. නැතහොත් ලංවීම අධ්‍යක්ෂ මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය තුළ පෙන්නා දී ඇති පරිදි වැරදි නිවැරදි කොට අත්සන් කළ යුතුය.


එසේ නොමැති ව ශ්‍රී ලංකා රජයට හා විදුලිබල මණ්ඩලයට අවාසි දායක ලෙස සැකසී ඇති සාම්පුර් ගල් අඟුරු බලාගාර ගිවිසුම, ලංකා ආණ්ඩුවේ අත කරකවා මේ ආකාරයෙන් කඩිමුඩියේ අත්සන් කිරීම මඟින්, ශ්‍රී ලංකාව නැවත වතාවක් ඉන්දියාවට පාවා දීමේ කුප්‍රකට සැළසුමකට යටත් වී දැයි සැක සිතේ. ''

No comments:

Post a Comment