මේ නවකතාවක හෝ ටෙලි නාට්‍යයක ඇතුළත් දෙබසක් නම් නෙවෙයි. ලෝක
දිවි නසා ගන්නන්ගේ දිනය වෙනුවෙන් විශේෂ දේශනයකට එක්වෙමින් එහෙම කිව්වේ අපේ
සම්මානනීය, ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ.
එහෙම සිතිවිල්ලක් කවදා හරි ඔබටත් ඇති වී තිබෙනවාද?
උත්තරය ‘ඔව්’ නම් ඔබ මානසික විෂාදයෙන් පෙළුණු අයෙක් බව නිසැකයි. එහෙත් තවම ඔබ ජීවතුන් අතර නම් ඒ පාපතර සිතුවිල්ල ක්‍රියාවට නොනැඟීම ගැන ඔබටම ස්තුතිවන්ත වෙන්න. ඒ ඔබේ ජීවිතයේ වටිනාකම මේ ලෝකේ කිසිම දෙයකට සම කරන්න බැරි නිසා.
අපි අනෝජා වීරසිංහ හමුවුණේ ඇගේ අතීත අත්දැකීම් හා වත්මන් ජීවිතයේ සුබවාදී ආකල්ප ඔබත් එක්ක බෙදා හදා ගන්න.
හත්වරක් ජීවිතය හැරදාලා යන්න සිතුණු ඔබට අද ජීවිතය ගැන දැනෙන්නේ, හැෙඟන්නේ කොහොමද?
ඇත්තටම ඒ කාලේ මට තිබුණු ගැටලු, ප්‍රශ්න එක්ක තමයි අර වගේ අදහස් සිතට ආවේ. ඒ ඒ කාලෙට සාපේක්ෂවයි මට ඒ ගැටලු පැන නැගුණේ. ඒත් මම දැන් ජීවිතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. අද මට ජීවිතය බරක් නෙවෙයි. මගේ පළමුවැනි විවාහය අසාර්ථක වුණාම මම කම්පාවට පත්වුණා. දිල්කි දුව එක්ක ලෝකෙ තනි වුණා කියලා මට හිතුණා. මගේ දෙවැනි විවාහය සිදු වුණාම අලුත් ජීවිතයක් ගත කරන්න හැකි වෙයි කියලා මම හිතුවා. ඒත් ඔහුට මාව තේරුම් ගන්න බැරි වුණා. විශේෂයෙන්ම නිළියක් වශයෙන් මගේ වෘත්තීය ජීවිතයේ ස්වභාවය මොකක්ද කියලා ඔහු තේරුම් ගත්තේ නෑ.
ඒ හේතුව නිසා දෙවැනි විවාහයත් බිඳ වැටුණා?
ඔව්. උස්, මහත් වෙච්ච රූමත් දියණියක් එක්ක මේ ලෝකේ ආයෙමත් තනි වුණා මං. තවත් ජීවත්වෙලා මොකටද කියලා හිතුණා. එත් ඒ හැම වෙලාවකම ඒ අදහස නැති කර ගත්තේ දුව ගැන කල්පනා කරලා. පළමු විවාහය දෙදරා යාමත් එක්ක තමයි මාව විශාද තත්ත්වයට ගොදුරු වුණේ. ඒත් මම එතකොට ඒක දැනගෙන හිටියේ නෑ. ඇත්තටම විෂාදය (Depression) තත්ත්වය තියෙන හුඟ දෙනෙක් දන්නේ නෑ එහෙම තත්ත්වයක් තමන්ට තිබෙන බව.
ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍යමයි?
අනිවාර්යයෙන්ම. මගේ පළමු විවාහය අසාර්ථක වෙලා ‘ජුලියට්ගේ භූමිකාව’ චිත්‍රපටය කරන කාලේ වෙන කොට විශාදයේ උපරිම තත්ත්වයක මම හිටියේ. මගේ අසාමාන්‍ය හැසිරීම් රටා දැකලා කාංචනා තල්පාවිල කියන මගේ මිතුරිය තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාව යොමු කළේ. එයාට ඒක තේරුණා. පවුලේම කෙනෙකුට නැතිනම් එයා ළඟින්ම ඇසුරු කරන කෙනෙකුට තමයි රෝගියාගේ වෙනස තේරෙන්නේ.
මොනවද ඒ රෝග ලක්ෂණ?
මානසික රෝග කිව්වම විශාදිය විතරක් නෙවේ. තවත් ගොඩක් ලෙඩ තියෙනවා. නමුත් විශාදය තමයි නරකම දේ. ඕනෑම කෙනෙකුට ච්ඥඵනපඥඵඵඪධද එකක් එන්න පුළුවන්. කෑම අරුචිය ඇති වෙනවා නම්, නිකරුණේ කේන්ති යනවා නම්, ඔහේ අඬනවා නම්, බලාගත් අත බලාගෙන කල්පනා කරනවා නම් මේවා බොහෝ වෙලාවට විශාදයේ ලක්ෂණ වෙන්නට පුළුවන්. වඩාත් වැදගත්ම දේ තමයි ඒ තත්ත්වයන් තියෙන කෙනාට ඒවා තේරෙන්නේ නෑ. වටේ ඉන්න අය තමයි ඒක තේරුම් ගන්න ඕනෑ.
විෂාදයෙන් පෙළෙන කෙනෙකුට දිවි තොර කර ගන්නට හිතෙන්නේ ඇයි?
තමන් නොවටිනා කෙනෙක්ය කියන සිතුවිල්ල ඒ අයට ඇති වෙනවා. තමන්ට කිසිවකු ආදරේ නෑ කියා සිතෙනවා. කවුරුත් තමන්ට උදව් කරන්නේ නෑ කියලා ඔවුන් කල්පනා කරනවා. දැන් ඉතින් ජීවත්වෙලා පලක් නෑ කියලා සිතලා තමයි ඔවුන් දිවි නසා ගන්න පෙළඹෙන්නේ.
කෙනකු ඇයි විෂාදයට ගොදුරු වන්නේ. මොන වගේ මානසික හේතූන් නිසා ද?
අද සමාජය එදාට වඩා සංකීර්ණයි. ඒ වගේම ව්‍යාකූලයි. ඉතින් නොයෙක් හේතූන් නිසා කෙනෙක් මානසික ආබාධවලට ගොදුරු වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, දික්කසාදවීම් වගේ දේවල් මේ විශාදයට බහුල හේතු සාධක. පළමුවැනි දරුවා බිහි කළාට පස්සේ සිදුවන ශාරීරික වෙනස්කම් පවා කාන්තාවක් විශාදයට ලක්කරන හේතුවක් වෙන්න පුළුවන්.
තව පැහැදිලි කළොත්?
පළමුවැනි බබා හම්බ වුණාට පස්සේ අලි බඩක් ඇවිත් ඇඟ කැත වෙනවා. පියයුරු එල්ලා වැටෙනවා. තමන් දැන් විරූපී වෙලා කියලා පසුතැවෙන මවුවරු අපි දැකලා තියෙනවා. ඒ සිතිවිල්ල විශාද තත්ත්වයක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. ඊට පස්සේ මානසිකවත්, කායිකවත් දෙකෙන්ම පිරිහෙනවා ඒ කෙනා.
ඔබ කියපු මානසික හේතූන්ට අමතරව කෙනෙකුගේ රැකියාවේ ස්වභාවයත් විශාදයට බලපාන්නට පුළුවන් නේද?
විශේෂයෙන්ම ඒ ගැනත් අපි කතා කළ යුතුමයි. රංගන ශිල්පිනියක් හැටියටනේ මගේ වෘත්තීය ජීවිතය ගොඩ නැගෙන්නේ. ඒ නිසා මගේ රැකියාව පැත්තෙන් මුලින්ම මේ ගැන කතා කරන්න කැමැතියි. යම් නළුවකු හෝ නිළියක භාවමය රංගනයක නියැලෙනවා නම් අනිවාර්යෙන්ම ඊට ලොකු ශක්තියක්, ජවයක් මුදා හරින්න වෙනවා. අපි හිතමු මට කේන්ති යන චරිතයක් රඟපාගන්න තියෙන්නේ කියලා. ඒ භාවයන් මුහුණට විතරක් නෙවේ මුළු ශරීරයටම මම ආරෝපණය කර ගන්නවා. දැන් මම ඉන්නේ තරහෙන් පුපුර, පුපුර, උඩින් පල්ලෙන් රඟපාන අය මම දන්නේ නෑ. හැබැයි භාවමය රංගනයක නියැලෙන ඕනෑම නළුවකුට, නිළියකට එය පොදු කාරණයක්. නළු, නිළියන් කියන්නේත් සාමාන්‍යය මනුෂ්‍යයොනේ. මේ මානසික, කායික වෙහෙස නිසා ඔවුන්ට ලිංගික ජීවිතය ගැන ආසාවක් නැති වෙන්න පුවන්. මට පවා එහෙම වෙලා තියෙනවා.
ඒ කිව්වේ?
නෑ, නිළියක් වීම විවාහ ජීවිතයට හරි අවාසියි. ලෙඩක් හැදුනත් හිතන්නේ ඒක රඟපෑමක් කියලා. එක කාලයක් තිබුණා රංගන ජීවිතයේ තිබුණ කාර්යබහුලත්වය නිසාම මම වෙහෙසට පත් වෙලා හිටපු. කතා බහ කරන්න ආසාවක් නෑ. පාටිවලට යන්නේ නෑ, විනෝදයට අකැමැතියි. ලිංගික ජීවිතයේ පවා තිබුණේ උදාසීන බවක්. මේ සේරම රඟපෑම් කියලා තමයි දෙවැනි සැමියා හිතුවේ.
වත්මන් ටෙලි නාට්‍යය සංස්කෘතිය හරහා අද තරුණ නිළියන් විශාල වශයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසී සිටිනවා. ඔවුන් අතරේ තිබෙන්නේ දැඩි තරගයක්. මෙය පවා මම හිතන්නේ මානසික ගැටලුවක්?
ළඟදී මම පත්තරේක දැක්ක අනාචාරයේ හැසිරුණ නවක ටෙලි නාට්‍යය නිළියක් අත්අඩංගුවට අර ගත්ත පුවතක්. ‘මම දුප්පත්. මට වාහනයක් නෑ. ඒත් අඩුම තරමින් ත්‍රීවිලර් එකකවත් ගන්න ඕනෑ. ලස්සනට අඳීන්න ඕනෑ. ඒ නිසයි මෙවැනි දේකට පෙළඹුණේ’ කියලා ඒ නිළිය කියලා තිබුණා. නිළියක් කිව්වම ලස්සනට ඉන්න ඕනෑ. ඇත්ත, ඒත් අපි වැරැදි වැඩවලින් සල්ලි හොයලා ඒක කරන්න හොඳ නෑ. අනෙක තමන්ගේ පර්ස් එකේ තරම දැනගෙනයි තමන් වැඩ කරන්න ඕනෑ.
ඔබත් එහෙම සකසුරුවමින් ජීවිතය ගොඩ නගා ගත් නිළියක්?
මම, ගීතා කුමාරසිංහ ක්ෂේත්‍රයට ආවේ එකම කාලයක වගේ. ඒ කාලෙත් ගීතාට හොඳට සල්ලි තිබුණා. මට මතකයි ගීතා පාටීස්වලට එන්නේ ලොකු දියමන්ති මාල දාලා, ලක්ෂ ගණන් වටිනා සාරි ඇඳලා. තමන්ගේ හමේ වර්ණයට ගැළපෙන මේකප් සෙට්ස් එයා යුරෝපයේ ඒ කොම්පැණිවලට දීලා කියවලයි හදා ගන්නේ. මම දන්න තරමින් එහෙම කරපු අපේ එකම නිළිය ගීතා. ඒත් එදා මම ගීතා කරපු දේවල් කරන්න ගියේ නෑ. එහෙම කරන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. පරණ ‘සරසවිය’ ෆෙස්ටිවල්වල පින්තූර පත්තරවල ඇතිනේ, බලන්න. ගොඩක් වෙලාවට මම හෙයාර් ස්ටයිල් කරන්න ගියෙත් නෑ. කොණ්ඩෙ කඩාගෙන ඉන්නේ. සාරි වුණත් ඇන්දේ බොහොම සරල, චාම් ඒවා, මට තියෙන විදිහට.
ඒ චාම් බව රැඳුණු ‘අපේකම’ ඔබ මුළු ලෝකයටම කියා පෑ දවසක් තිබුණා?
ඔව් . . . ඒ 1987 වසරේ පැවැති ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල දවසේයි. එදා මම ‘මල්දෙනියේ සිමියොන්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හිමි වුණ ‘රජත මයුර’ සම්මානය ලබාගන්න ඒ උළෙලට සහභාගි වුණේ බතික් ඔසරියක් ඇඳගෙන. කෝටිපති නිළියොනෙ ඒ උළෙලට එන්නේ. අනේ මම බුද්ධි අයියට (බුද්ධි කීර්තිසේන) කියලා බතික් ඔසරි ටිකක් නිර්මාණය කරගෙන ඒ විදිහට ගියා. ඒ හිටපු පිරිස අතරින් මාව කැපිලා පෙනුණා. මම කියන්නේ අපි බුද්ධිමත්ව අපේ දේවල් ගොඩ නඟා ගන්න ඕනෑ. මෝස්තර විලාසිතා කරන්න ගිහින් මම ලෝකෙට ණය වුණේ නෑනේ.
කාන්තාවන් කොහොමත් විලාසිතාවලට කැමැතියි. තරුණ, රූමත් නිළියො වැඩිපුර විලාසිතාවන්ට නැඹුරුවීම වරදක් නෙවෙයි නේද?
විලාසිතා කිරීම වරදක් නෙවෙයි. ඒත් නොගැළපෙන විලාසිතා කරන්න ගිහින් තව කෙනෙකුට විකාරයක් වෙන්න නරකයි. ලස්සනට ඉන්න කවුද අකැමැති? පොඩි මේකප් එකක් දාගෙන රත්තරං බඩුවක් පැළඳගෙන ගියා කියලා වරදක් නෑ. ඒ තැනට ගැළපෙන විදිහට අඳීන්න පළඳින්නත් අපි දැනගන්න ඕනෑ. ඒකයි මම කියන්නේ ලස්සනට අඳීන්න. හැබැයි ජෝකර් කෙනෙක් වෙන්න එපා. මේ රූමත් බව හැමදාම තියෙන්නේ නැහැ. හම රැළි වැටෙනවා. කෙස් පැහෙනවා. දත් වැටෙනවා. මේ දේවල් අපි තේරුම් ගන්න ඕනෑ. අපි කැත වෙනවා. වයසට යනවා. අද අපි ගාව තියෙන ජනප්‍රියත්වය, හෙට වෙන කෙනෙකුට හිමි වෙනවා. ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනෑ.
ඒ තත්ත්වය ඔබ හොඳීන් අවබෝධ කරගෙනයි ඉන්නේ?
2014 ජනවාරි මාසේ 21 වැනිදාට මට අවුරුදු 59 ලබනවා. ඒක හංගන්න බැහැනේ. හංගන්න ඕනෑත් නැහැ. අදටත් මගේ රසික, රසිකාවෝ මුණ ගැහුණාම මට කියන දෙයක් තමයි ‘ආනේ ඔයා කොච්චර ලස්සන ද ඉස්සර’ කියලා. එතකොට මම අහනවා ‘ඒ කියන්නේ දැන් ලස්සන නැහැ කියලනේ’ කියලා. ‘නෑ ඉස්සර ලස්සන කොණ්ඩයක් තිබුණනේ’ ඔය වගේ කතා කියනවා. අපේ රූපය, තරුණ බව සදාකාලික නෑ. ඒ සත්‍යතාවය මම දන්නවා. බුදුහාමුදුරුවොත් දේශනා කළානේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා.
ඒ ජීවිතාබෝධය තුළින් ලෝකය දිහා බලන්න මට අද පුළුවන්. මානසික විශාදය වගේ තත්ත්වයන්ට ගොදුරු නොවී යහපත් මානසික සෞඛ්‍යයකින් යුතුව ජීවත් වෙන්න අප කාටත් පුළුවන් ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ කර ගත්තොත්. අනෙක් අයට ඒ අවබෝධය ලබා දෙන්න මම ඇතුළු ‘අභින’ කණ්ඩායම නිරන්තරයෙන්ම සුදානම් වෙලා ඉන්නේ ඒ උතුම් පර්මාර්ථය පෙරදැරිවයි.
කතාබහ - අසංක දේවමිත්‍ර පෙරේරා
උපුටා ගැන්ම - සරසවිය
No comments:
Post a Comment