Pages

Wednesday, 21 August 2013

ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවණතාවන් මෙවර පළාත් සභා මැතිවරණයෙන් ද ප්‍රකට වෙමින් පවතිනවා. - ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා.

2013.08.21 වැනි දින කොළඹ- රාජගිරිය ජාතික වතුකම්කරු සංගම් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා.

පසුගිය වසර පහ තුළ රටේ මැතිවරණ පැවැත්වෙද්දී දැකගැනීමට හැකිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවණතාවන් මෙවර පළාත් සභා මැතිවරණයෙන් ද ප්‍රකට වෙමින් පවතිනවා. එනම් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් රාජ්‍ය නිල වාහන, නිල නිවාස, රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය මාධ්‍යය ද මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමයි.
වයඹපළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී මෙබඳු අකටයුතුකම් සිදුවන බවට සන්ධාන ආණ්ඩුවේ අය විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කොට ඇති බව පසුගිය සති අන්ත ජාතික පුවත්පත් සියල්ලකම පාහේ වාර්තා වී තිබුණා. සන්ධාන ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක ඇමැතිවරයෙකුගේ ආධාරකරුවන් විසින් දේශපාලන හයිය යොදා ගනිමින් මධ්‍යම පළාත් සභා අපේක්‍ෂකයෙකුට පහර දී වාහන කුඩුපට්ටම් කළ හැටි ද එහි වාර්තා වී තිබුණා.
උතුරු පළාතේ දී දෙමළ ජාතික සන්ධානයට තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකර ගෙන යාමට නොහැකි වන ආකාරයෙන් බාධා කිරීම් සිදු වනවා. මැතිවරණ නිරීක්‍ෂණ ආයතන විසින් නිකුත් කරන ලද නිවේදන අනුව රජයේ පාර්ශ්වයන් විසින් කෙරෙන එම මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. නීති විරෝධී මැතිවරණ කාර්යාල සහ දැන්වීම් පුවරු, රජයේ වාහන පාවිච්චිය පිළිබඳ දිනෙන් දිනම වාර්තා වනවා. එහෙත් දේශපාලන බලපෑම් මත රාජකාරිය ඉටුකර ගැනීමට නොහැකිව පොලිස් නිලධාරීන් ද අසරණ වී සිටිනවා.
රජයේ ඇමැතිවරයෙක් කන්ද උඩරට පොලිස් ස්ථානයක දී යකා නැටූ ආකාරය ද ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබෙනවා. සංස්ථා සභාපතිවරුන් හා රජයේ නිලධාරීන් තම නායකයින් වෙනුවෙන් මහ දවල් දේශපාලනය කරන බවට මැතිවරණ නිරීක්‍ෂකයින් වාර්තා කොට තිබෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ආණ්ඩුකාරවරුන් පවා එළිපිට කරන දේශපාලනය සදාචාර විරෝධීයි.
රාජ්‍ය මාධ්‍ය එළිපිටම ප්‍රචාරක කටයුතු සිදු කරනවා. එපමණක් නොව, විපක්‍ෂයට විරුද්ධව සදාචාර විරෝධීව අමු අමුවේ ක්‍රියා කිරීම ලැජ්ජා සහගතයි. අද රාජ්‍ය මාධ්‍යවලින් විපක්‍ෂයට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැහැ. ඉඩක් වෙන් කළත් ඉන් සිදු කරන්නේ පහර ගැසීම පමණයි. මැතිවරණය පැවැත්වෙන කාලයේදීවත් රජයේ ජනමාධ්‍ය ස්වාධීන කරන ලෙස අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා වූ නිර්දේශ අමු අමුවේ උල්ලංඝණය කරන ආකරයක් අපි දකිනවා. රජයේ යාන වාහන හා හෙලිකොප්ටර් පාවිච්චිය ද මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරනවා. නියමිත ආකාරයට රාජකාරී කටයුතුවලින් බැහැරව සිදු කරන ගමන් සඳහා මුදල් ගෙවිය යුතු වුවත් එය සිදු වන්නේ නැහැ. රජයේ කාර්යාල, නිල නිවාස සහ ප්‍රභඣන්ගේ මන්දිර දේශපාලන කටයුතු වෙනුවෙන් සහ ඒ වෙනුවෙන් පැවැත්වෙන විවිධ භෝජන සංග්‍රහයන් වෙනුවෙන් ද භාවිත කරන ආකාරය ද අපි දකිනවා. මෙහිදී විනිවිඳභාවයෙන් යුතු අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීමට නම් රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන්ම ස්වාධීන විය යුතුයි.
අපක්‍ෂපාතී ව්‍යවස්ථාදායක සභාවක් නොමැතිව ලබා දෙන පත්වීම් තුළ දේශපාලන ස්වරූපයක් ඇති වීම වළක්වන්නට බැහැ. එසේ නම් රටේ විපක්‍ෂය තුළ මේ මැතිවරණ පැවැත්වෙන ආකාරය පිළිබඳව විශ්වාසයක් නැහැ. මැතිවරණ පැවැත්වීමට පෙර ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කිරීමේ අවශ්‍යතාව ගැන අපි පුනපුනා සඳහන් කළා. අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සහ පොලිස් කොමිසම 17 වැනි සංශෝධනයට අනුව ස්වාධීන විය යුතු බවට අපි හැම විටම හඬ නැගුවා. එහෙත් රජය හා ජනාධිපතිවරයා මේ ඉල්ලීම දිගින් දිගටම පැහැර හැරියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් සමගම සහ දැනට බලපැවැත්වෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ස්වාධීනත්වය කෙසේවත් පවතින්නේ නැහැ. මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුව විවිධ බාධක මධ්‍යයේ සිය රාජකාරී ඉටු කිරීමට දරන උත්සාහය අපි අගය කරනවා. එසේ නම් මේ මැතිවරණය පැවැත්වෙන්නේ ජන මතය උරගෑමටත්, ප්‍රජාතාන්ත්‍රීයව ජනතාවට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටත් අවකාශ සලසා දීමට නොවන බව ද කිව යුතුයි.
අද ව්‍යවස්ථාදායකය විධායකයේ ආධිපත්‍යයට යට වී තිබෙනවා. අධිකරණයට එල්ල වන බලපෑම් ගැන නැවතත් සඳහන් කළ යුතු නැහැ. පොලිසියත්, රාජ්‍ය සේවයත් දේශපාලනීකරණය වීම තුළ බිඳවැටී ඇති ආකාරයත්, පිරිහී ඇති ආකාරයත් දැන් ඇස් පනාපිටම පෙනෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ අණසකට පත්වීමෙන් පසු ලබාදුන් සමහර නිර්දේශ රටේ විශාල ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. හිටපු අග්‍රවිනිශ්චයකාරවරිය නෙරපූ අන්දම අන්තර් ජාතිකව රටට විශාල අපකීර්තියක් ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ලබන 25 වැනි දා මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ක්‍රියාවලිය ගැන විමසීමට පමණක් නොව, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමටත් නවනීදන් පිල්ලෙයි මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අප ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙමින් ඒකාධිපතිවාදයක් කරා ළඟා වෙමින් රට මේ ආකාරයට අරාජික තත්ත්වයට පත් කිරීමට හොඳටම ඇති බවයි. අඩුම තරමින් මේ පළාත් සභා මැතිවරණය හෝ නිදහස්ව හා සාධාරණව පවත්වා තමන් යළිත් ප්‍රජාතන්ත්‍රවාදය කරා ප්‍රවේශ වී සිටින බව මේ රටේ ජනතාවටත්, ජගත් ප්‍රජාවටත් තහවුරු කිරීමේ වගකීම දැන් ආණ්ඩුවට තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරටේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන පසුබිමක රට තුළ ඇති දේශපාලන ප්‍රවණතාවන් ඉතා තීරණාත්මක බවත් කියන්නට කැමතියි. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට සිය හෘද සාක්‍ෂිය අනුව තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනයක් හා තමන් කැමැති දේශපාලන නියෝජිතයින් පත් කර ගැනීමේ අයිතිය තහවුරු කර දෙන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පවත්වා ජනමතය තමන් සමග සිටින බව ලෝකයාට පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් එය මුලාවක් බවත්, බලධාරීන්ට මතක් කර දීමට සිදුවනවා යැයි ද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා
පසුගිය අගෝස්තු පළමු වැනි දා වැලිවේරිය රතුපස්වල දී සිදු වූ ඝාතන අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැකියි. ඝාතන සිදු කළත් ජනතාව නැගඣ ප්‍රශ්නයට මේ වනතුරුත් විසඳුමක් ලැබී නැහැ. ජනතා විරෝධයට හේතුව ආණ්ඩුව ජනතා හඬට අවධානය යොමු නොකිරීමයි.
රතුපස්වල දී සිදු වූ ඝාතන සම්බන්ධව පරීක්‍ෂණයක් පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් ඒ පිළිබඳව කිසිඳු විශ්වාසයක් නැහැ. මීට පෙර සිදු වූ එවැනි ඝාතන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවලට ද සිදු වූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දී ඇති බව රජයේ මාධ්‍ය විසින් ප්‍රකාශ කළත් ජනතාවට ජලය නැහැ. ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීමට එම ජනතාවගෙන් රුපියල් 25,000 – 30,000 ක් ඉල්ලීමටත් ආණ්ඩුව ක්‍රියා කරනවා. ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුව රතුපස්වල සිද්ධියෙන් ද මුදල් හම්බ කිරීමට කටයුතු කරන ආකාරයයි. මූලික ගෙවීමක් නොමැතිව ඔවුන්ට ජලය ලබාදිය යුතු බව අපි අවධාරණය කරනවා.
මේ දිනවල ආණ්ඩුවේ මූලික කාරණාව ජාත්‍යන්තර ප්‍රජාවගේ සිත් දිනා ගැනීමයි. ඒ සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවත් මිලදී ගැනීමට උත්සාහ කරනවා. රෝල්ස් රොයිස්, බී.එම්.ඩබ්ලිව්. සහ බෙන්ස් වාහන ගෙන්වීම සඳහා අති විශාල මුදලක් වියදම් කිරීමට ආණ්ඩුව සූදානම් වනවා. නමුත් ඒවා නඩත්තු කිරීමට සිදු වන්නේ මේ රටේ ජනතාවටයි. පොහොර සහනාධාරය, ගොවි විශ්‍රාම වැටුප නොගෙවා ජාත්‍යන්තරයට සුන්දර ලෝකයක් මවා පාන්න ආණ්ඩුව උත්සාහ කරනවා. එහෙත් ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාව මිලදී ගැනීමට හැකියාවක් නැහැ. ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.
එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද කරු ජයසූරිය මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය : ඔබ අද එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය සාකච්ඡා පවත්වන ස්ථානයට පැමිණ මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධව දරන්නේ කුමන අදහසක් ද?
පිළිතුර : මීට පෙරත් මම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තිබෙනවා. සියලූම මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දෙන ලෙස මා ඉල්ලීමක් කළා. ඒ අනුව පක්‍ෂයේ තීරණයක් මත මට එම අවස්ථාව ලැබී තිබෙනවා. පක්‍ෂය වෙනුවෙන් පැවරුණු වගකීම මම කවදත් ඉටු කරනවා. පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක් සංවිධාන කටයුතු වෙනුවෙන් මා මේ දිනවල ක්‍රියා කරනවා.
ප්‍රශ්නය : කොටුව, දුම්රියපොළ අසල පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව ජනාධිපතිවරයාට බාර දෙන ලෙස ඉදිරිපත් කරන ලද සන්දේශයට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර : පැය 24 කින් ඊට පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කළත්, මේ වන විටත් ඊට පිළිතුරක් ලැබී නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විමසීමට අප බලාපොරොත්තු වනවා.

No comments:

Post a Comment