උතුරු
පළාත් සභාව සඳහා තේරීපත්ව සිටින ප්‍රධාන අමාත්‍යවරයාට අවශ්‍ය නම් තම
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ සාමවිනිසුරුවරයකු හමුවේ වුවද
දිවුරුම්දී තම රාජකාරී කටයුතු ඇරඹීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි ජාතික
භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
එහෙත් ඔහු ඒ සඳහා කියවා දිවුරුම් දී
අත්සන් කළ යුතු වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් සපයනු ලබන නියමිත
දිවුරුම් ප්‍රකාශ පත්‍රයෙහි පමණි.
එම ප්‍රකාශ පත්‍රයේ සඳහන් පරිදි රටේ ඒකීයත්වයට හානියක් සිදු නොවන අයුරින් තම සේවා කටයුතු පවත්වා ගෙන යන බවට ඔහුට දිවුරුම් දීමට සිදුවන බවද වාසුදේව නානායක්කාර මහතා ‘ලක්බිම’පුවත්පතට පවසා ඇත.
උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට තේරීපත්ව සිටින සී.වී. විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හෝ උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී තම රාජකාරී කටයුතු ඇරඹීමට අකමැත්තක් දක්වන්නේ නම් ඔහු දිවුරුම් දිය යුත්තේ කවුරුන් ඉදිරිපිටදැයි කරන ලද විමසීමකදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කර තිබේ.
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා එලෙස තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ වෙනත් සාම විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දී රාජකාරී ඇරඹීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල වන අතර සෙසු ඇමැතිවරුන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඔහු හමුවේ දිවුරුම් දීමට හැකි යැයි කී වාසුදේව නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ එය කිසිසේත්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද නොවන බවය.
එවන් තත්ත්වයක් යටතේ දිවුරුම් දී රාජකාරී කටයුතු අරඹන පළාත් සභාවක් සඳහා නියමිත ප්‍රතිපාදන ලබා නොදී සිටීමට මධ්‍යම ආණ්ඩුවට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවද හෙතෙම පවසයි.
කෙසේවුවද බටහිර රටවල තානාපතිවරුන්, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ උතුරේ ජනතාව ඉදිරියේ යාපනය කයිතඩිහි පවත්වන උත්කර්ෂවත් උත්සවයකදී උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමට සැලසුම් කර ඇතැයි මේවනවිට වාර්තා වේ.
No comments:
Post a Comment