Monday, 1 July 2013

උගන්ඩාවේ රජතුමාට ඩොලර් කෝටියක් දුන්නේ මැදමුලන පොල් වත්තේ ආදායමින්ද

කුසගින්න හේතුවෙන් ජනතාවගේ බඩ පොත්ත පිට පොත්තේ ඇලී තිබියදී ජනතාවට කන්න නොදී උගන්ඩාවේ රජතුමාට ඇමෙරිකානු ඩොලර් කෝටියක ආධාර ලබා දීමට ඒකාධිපති රෙජිමය කි‍්‍රයා කරන්නේ මේ සල්ලි මැදමුලන පොල් වත්තේ ආදායම ලෙස සිතා ගෙන දැයිද තිස්ස අත්තනායක මහතා ප්‍රශ්ණ කර සිටි.
මාතර දෙවිනුවර එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ලේකම්වරයා සදහන් කළේ ලොක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වී රටේ ජලාශ පිරී ඉතිරී ගොස් තිබියදී පවා විදුලිය ගාස්තු අඩු නොකිරීමෙන් පැහැදිලි වන්නේ එම ගාස්තු වැඩි කළේ විදේශ සවාරි ගසා සුර සැප ගැනීමට ජනාධිපතිවරයා නාස්ති කරන මහජන මුදල් කන්දරාව පියවා ගැනීම සඳහා වන බවයි.
"අවුරුදු විසි පහක දීර්ඝ නින්දකින් අවදි වූවා සේ ඒකාධිපති රෙජිමය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන හදිසියේම කතා කරමින් ජනතාවගේ ඇස්වලට වැලි ගසා රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප‍්‍රශ්න මඟ හැරීමේ ජනතා විරෝධී කුමන්ත‍්‍රණයක යෙදී සිටිනවා.
දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1987 දී 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ඉදිරිපත් කළේ රට දෙකඩ වීම වහාම වළක්වා එකස්ත් කරමින් දේශපාලන බලය බෙදා හැර ජාතීන් අතර සමගිය, සහජීවනය, විශ්වාසය සහ අවබෝධය ඇති කරවීම සඳහායි.
එම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරමින් එම අධිකරණයේ මතය විමසූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඊට පසුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස එම ව්‍යවස්ථා යේජනාවලිය සම්මත කළා.
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලැබූ පළාත් සභාවලට තරග නොකරන බව කියමින් ඊට එරෙහිව එදා රට ගිනි තැබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ රටට - ජනතාවට විශාල පාඩුවක් සිදු කිරීමෙන් පසුව පළාත් සභාවලට රංගා ගෙන එම බලතල සහ වරප‍්‍රසාද භුක්ති විඳිමින් කාලයක් මුළුල්ලේ නිහඬවම සිටියා.
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන නිසා එම ව්‍යවස්ථානු ප‍්‍රකාර ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක නොකරනවා කියන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව කිව යුතුයි.
ජනතාව මුහුණ දී සිටින සැබෑ මූලික සහ දැවෙන ප‍්‍රශ්නය වන්නේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කළ යුතුද, නැද්ද යන්න නොව දරාගත නොහැකි ජීවන අර්බුදයයි. එම නිසා ජනතාවට ජනතාවට අවශ්‍ය වන්නේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම නොව උපරිම සහන, සාමය, නිදහස, නීතිය, රැකවරණය සහ සමානාත්මතාවය ඇතුළු අයිතීනුයි.
ඕනෑම පුද්ගලයෙකු, ආයතනයක්, සංවිධානයක්, දේශපාලන පක්‍ෂයක්, බලවේගයක්, පළාත් පාලන ආයතනයක් හෝ පළාත් සභාවක් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කි‍්‍රයා කරනවා නම් ව්‍යවස්ථානු ප‍්‍රකාරව ඊට එරෙහිව කි‍්‍රයා කිරීමට ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට පූර්ණ බලය තිබෙනවා.
එසේ තිබියදී ඉඩම් සහ පොලිස් බලතල තිබුණා යැයි කියා රට බෙදීමට පළාත් සභාවට පුළුවන් දැයි අප ප‍්‍රශ්න කරනවා. පළාත් සභාවට එසේ රටක් බෙදීමට හැකි නම් මේ ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඇති ඵලය කුමක්ද? එමගින් පැහැදිලි වන්නේ මේ ජනාධිපතිවරයා, ආණ්ඩුව අතිශය දුර්වල බව නොවේද? ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ කොන්ද පණ තිබේ නම් පළාත් සභාවක් රටක් දෙකඩ කර විනාශ කරන්නේ කෙසේද?
උතුරු - නැගෙනහිර මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් එදා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් කි‍්‍රයා කළ අවස්ථාවේදී දිවංගත ජනාධීපති රණසිංහ පේ‍්‍රමදාස මහතා කළේ වහාම එම පළාත් සභාව විසුරුවා හරිමින් එම කි‍්‍රයාවලිය නතර කිරීමයි.
ව්‍යවස්ථානුකූලව එවැනි හැකියාවක්, බලයක් සහ ශක්තියක් ජනාධිපතිවරයාටත්, මධ්‍යම ආණ්ඩුවටත් තිබියදී ඒ සියල්ල රටෙන්, ජනතාවගෙන් සඟවා පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබා දීමේ අවදානමක් ගැන කතා කරමින් ජනතාව රවටා ජනතාවගේ අවධානය බිඳ ආණ්ඩුව ජීවන අර්බුද තොන්ඩුවෙන් ජනතාවගේ ගෙල තව තවත් සිර කරමින් සිටිනවා.
ජනතාව අතරට යා නොහැකි ආණ්ඩුව දේශපේ‍්‍රමීන් සහ ජාති ආලයෙන් ජනතාව නිර්වින්දනය කර සිය වහලූන් බවට පත් කර ගැනීමේ කුමන්ත‍්‍රණයක යෙදී සිටින අතර, එක්සත් ජාතික පක්‍ෂයේ අප කිසිසේත් ඊට ඉඩ තබන්නේ නැහැ.
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනවශ්‍ය නම් 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක රැයකින් ඉදිරිපත් කළා සේම එක පෑන් පහරකින් එම ව්‍යවස්ථා සංශෝධනය ද අහෝසි කළ හැකිව තිබියදී ආණ්ඩුව ඒ වෙනුවෙන් කි‍්‍රයා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ කල් මරා ප‍්‍රශ්නය යට ගැසීම සඳහායි.
මේ ආණ්ඩුව යටතේ පත් කෙරෙන පාරල්ලිමේන්තු තේරීම් කාරක සභාවන්හි කි‍්‍රයා කලාපය, ප‍්‍රමිතිය සහ තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කරුණු විභාග කර තීන්දු තීරණ ගැනීමට පත් කළ තේරීම් කාරක සභාව දුන් කැකිල්ලේ තීන්දුවෙන් මුළු ලෝකයටම හෙළි වුණා.
අප කියා සිටින්නේ රටේ උද්ගත වී තිබෙන සියලූ ප‍්‍රශ්න විසඳා නීතියේ ආධිපත්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස සහ සාමය තහවුරු කරමින් යහපාලනයක් ඇති කිරීමට කළ යුත්තේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරිම නොව, 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරමින් ස්වාධීන කොමිෂන් සභා සකී‍්‍රය කළ යුතු බවයි.
ස්වාධීන පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ සහ මැතිවරණ යන කොමිෂන් සභා සකී‍්‍රයව පවතින්නේ නම් රට දෙකඩ කිරීමට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති අතර, පොලිස් නිලධාරීන්ට ඝාතන, මංකොල්ලකෑම් සහ පැහැර ගැනීම් සිදු කරමින් අවනීතිය රජ කරවීමට ද හැකියාවක් ඇත්තේ නැහැ.
ස්වාධීන පොලිස් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා අකී‍්‍රය කිරීමේ ප‍්‍රතිඵල නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු කර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලින් මනාව පැහැදිලි වනවා.
මේ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාට ක‍්‍රමානුකූලව තනතුරු ලබා දෙමින් ඔහුගේ මේ සියලූ නීති විරෝධී වැඩ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර වක‍්‍ර අනුමැතිය ලබා දුන්නේ කවුරුන්ද කියා කවුරුත් හොඳින් දන්නවා.
සිය හෙංචයියන් බුරුතු ගණන් ශ‍්‍රී ලංකන් එයාර් ගුවන් යානාවල පටවා ගෙන ලොව වටා සමාරි ගසා සුර සැප විඳිමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරන අති විශාල මුදල් නාස්තිය වෙනුවෙන් බඩු මිලෙන් සහ විදුලිය ගාස්තුවලින් ගෙවීමට ජනතාවට සිදු වෙලා.
ජනාධිපතිවරයා සුර සැප ගැනීමට යන විදේශ සවාරි වෙනුවෙන් නාස්ති කෙරෙන මහජන මුදල් කන්දරාවද, ආණ්ඩුවේ දූෂණ වංචා සහ අක‍්‍රමිකතා ද පියවා ගැනීම සඳහා දිනපතාම එළිවන විට ගහන නවීන පන්නයේ අරුම පුදුම අලූත් බදු හේතුවෙන් භාණ්ඩ සහ සේවා මිල ගණන් විශාල ලෙස වැඩි වී ජනතාව උග‍්‍ර ජීවන අර්බුදයකට මැදිව අන්ත අසරණ වෙලා.
එදා රට පාලනය කළ දිවංගත ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස සහ ඞී.බී. විජේතුංග යන මහත්වරුන්ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එදා විදේශ සංචාරවල යෙදුණේ ඒ රටවලින් ලැබුනු නිල ආරාධනා මත වන අතර, එම සංචාරවල දී එම නායකයින් විවිධ දේශපාලන, ආර්ථික, වෙළෙඳ, සමාජ සහ සංස්කෘතික ද්වි පාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් කරමින් රටට - ජනතාවට අති විශාල ප‍්‍රතිලාභ රැසක් ලබා දුන්නා.
එම විදේශ සම්බන්ධතා, ගනුදෙනු, ගිවිසුම් සහ සංචාර හේතුවෙන් විදේශ ආයෝජන, ණය සහ ප‍්‍රදාන ද, ගෞරවය, විශ්වාසය සහ පිළිගැනීම ද අපට ලැබී, රට දියුණු වී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුණා.
කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සංචාරය කරන්නේ අප කවුරුවත් ජීවිතයට අසා නොමැති ස්වාසිලන්තය, උගන්ඩාව, ටැන්සානියාව ආදී අපි‍්‍රකානු මහද්වීපයේ ඈත කෙළවරේ පිහිටි ගෝති‍්‍රක රටවලට සහ බොහෝ අය සිය මධුසමය ගත කිරීමට යන සෙනගල් වැනි රාජ්‍යවලයි.
ස්වාසිලන්තය වැනි ඉතාම ගෝති‍්‍රක රටකින් අපට ලබා ගත් හැක්කේ ඒ රටේ බහුලවම තිබෙන ඒඞ්ස් ඇතුළු සමාජ රෝග පමණක් බව කිව යුතුයි. ලෝකයේ ඒඞ්ස් ඇතුළු සමාජ රෝග වැඩිපුරම තිබෙන රට වන්නේ මේ ස්වාසිලන්තය වන අතර, එරට රජතුමාට නීතිය අනුව සෑම අවුරුද්දකටම අලූත් මනාලියක් කැන්දාගෙන ආ හැකියි.
කුස ගින්න හේතුවෙන් රටේ ජනතාවගේ බඩ පොත්ත පිට පොත්තට ඇලී තිබියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනතාවට කන්ද නොදී උගන්ඩාවේ ජනාධිපතිතුමාට ඇමෙරිකානු ඩොලර් කෝටියක් ලබා දෙන්නේ මැදමුලන පොල් වත්තෙන් ලැබුණු ආදායමෙන් දැයි අප ප‍්‍රශ්න කරනවා."

No comments:

Post a Comment