Wednesday, 12 November 2014

චන්ද්‍රිකා මෙත්‍රීපාල සිරිසේන විපක්ෂයට ඇදා ගනී

රට බේරා ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට සූදානම් ප්‍රධාන පෙළේ ඇමැති වරුන් කිහිප පොලක් හමුවීමට බැසිල් රාජපක්ෂ පුද්ගලිකවම ගොස් ඇති අතර ඇමැතිවරුන් බැසිල්ගේ මුහුණට ඍජුවටම පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.
“අපි මෙතෙක් කල් කියපු දේවල් රාජපක්ෂලා විසින් පිළිනොගත් බැවින් දැන් අපිට දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුව තිබෙන බව“ එකී ඇමැතිවරුන් බැසිල් රාජපක්ෂට ඍජුවම පිළිතුරු දී තිබේ.
මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ගුණ වයමින් වත්මන් රාජපක්ෂ පාලනය දැඩි දෝෂ දර්ෂණයට ලක් කෙළේය. මෙය ශ්‍රීලනිප මහලේකම් වරයා සටන ආරම්භ කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති. එම වීඩියෝව මෙහි පහත දැක්වේ.

පොදු අපේක්ෂිකා සුනේත්‍රා බණ්ඩාරනායක

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු ‍අපේක්ෂකවරියක් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වැඩිමහල් සොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාවක් පසුගියදා කොළඹ සිනමන් ගාර්ඩ්න් හෝටලයේ පීච් වැලී නම් ස්ථානයේදී ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු අතර පැවැති සාකච්ඡාවකදී සිදුව ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් අද දින වාර්තා කරයි.
         ඒ අනුව මෙම සාකච්ඡාවේදී ඇය මේ සදහා වඩාත්ම සුදුසුකම් ඇති තැනැත්තියක් ලෙස හදුන්වා දී ඇති අතර ඒ සදහා වන සුදුසුකම් ලෙස සාකච්ඡාවේ නිරත වූවන් දක්වා ඇත්තේ කාන්තාවකගේ ඉදිරිපත් වීම ලංකා සමාජය විසින් ඉහලින් සැලකීමත් සුනේත්‍රාගේ පවුල් පසුබිම ලාංකීය ජනතාව ඉහලින් සැලකිය හැකි බව මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතාවගේ මනාපය ගැනීමට ඇයට සුවිශේෂී සුදුසුකමක්ද ඇති බව සැලකිල්ලට ලක්කිරීමත් සමඟය. පීඩිත ජනකොටස්වල අයිතින් වෙනුවෙන් කාලයක් පුරා විවිධ සමාජ සංවිධාන සමඟ වැඩකළ සුනේත්‍රා සම්බන්ධයෙන් සිවිල් සමාජය තුලද ඉහළ ප්‍රසාදයක් ඇති බව එම පිරිස් අතර කතා බහට ලක්ව තිබේ. එමෙන්ම සියළු පක්ෂ කොටස්වල මෙන්ම නව මුහුණක් නිසා  ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීමද පහසුවනු ඇති බවද එම පිරිසේ අදහස වී ඇත.

එසේම දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ සුනේත්‍රා බණ්ඩාරනායක යම්කිසි හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය මහින්ද රාජපක්ෂට වෙනත් කිසිවෙකුටත් වඩා ප්‍රබල අභියෝගයක් විය හැකි බවත්ය.

එසේම මේ පිරිස අතරෙහි වූ තවත් චරිතයක් පිළිබඳව යෝජනාවක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳවන මෛත්‍රී වික්‍රමසිංහ ගැනද සාකච්ඡාවට ගෙන තිබේ. සුනෙත්‍රා හා සමාන සමාජ සබඳතා සහිත කාන්තාවක වන මෛත්‍රී වික්‍රමසිංහද පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව සහිත බව මෙම පිරිසේ මතය වී තිබේ.

විශේෂයෙන්ම මේ වන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් දිනා ගැනීමේ ජනාධිපතිවරණය සටනට වඩා විස්වාසදායක අපේක්ෂිකාවන් දෙදෙනකු ලෙස සුනේත්‍රා හා මෛත්‍රී මෙම පිරිසේ පිළිගැනීමට ලක්ව තිබෙන අතර එසේම පොදු අපේක්ෂකයා ‍තෝරා ගැනිම සම්බන්ධයෙන් පක්ෂ හා කණ්ඩායම් අතර ඇති විවාදයන් ‍රැසක් මෙමඟින් අවමකර ගත හැකිවීම වඩා වැදගත් වනු ඇතැයි ද එම කණ්ඩායම සාකච්ඡා කර ඇත.

Monday, 10 November 2014

වෙබ් අඩවි වාරණය තරයේ හෙලා දකිමු

රාජ්‍ය හා ජනතා විරෝධී පාලනය හෙළිදරව් කරමින් වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි theindependent.lk වෙබ් අඩවිය යළිත් වතාවක් අවහිර කිරීමට රාජපක්ෂ රෙජීමයෙ බත්ගොට්ටන් විසින් පියවර ගෙන තිබේ.

මීට ඉහත පසුගිය මැයි මාසයේදී ඉන්ඩෙපෙන්ඩන්ට් වෙබ් අඩවියට පිවිසීම රාජපක්ෂ රෙජීමය විසින් අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට බලපෑම් එල්ල කර බාධා කිරීම් සිදු කළේය. පසුගිය මැයි 29 වන දින මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ මුත් අද දක්වා ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට එම කොමිසම කටයුතු කළේ නැත.

එහෙත් වෙබ් අඩවි වාරණය පිළිබඳව එකසත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් සකච්ඡාවට ගැනුනු අතර එම හේතුව නිසා ඉන්ඩෙපෙන්ඩෙට් ඇතුළු වෙබ් අඩවි කිහිපයක වාරණය කඩින් කඩ ඉවත් කිරීමට කටයුතු කෙරිනි.
එහෙත් දිගින් දිගටම කරනු ලබන මෙවනි මාධ්‍ය වරණයන් තරයේ අප හෙළ දකිමු.රටක් දියුනුව හා සදාචාරය ආරක්ෂා කර ගැනීමට මාධ්‍ය විශාල කර්ය භාරයක් කරන බව සමාජ විශ්ලේෂකයින්ගේ මතය වේ.  

විපක්ෂයට එකතු වන හම්බන්තොට සන්ධාන ප්‍රබලයා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරනු ලබන හම්බන්තොට දකුනුන් පළාත් සභා මන්ත්‍රී වරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සුදානමක් අතෙයි වාර්තා වේ.ඔහු විපක්ෂයට එකතු වන්නේ පළත් ඇමතිකමක් නොලැබුණු නිසාවෙනුත් ආණ්ඩුවේ  දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකුගේ අදම්තෙට්ටකම් නිසා යැයි පැවසේ.මෙතුමා පළාත් සභාවේ සිටින ජෙෂ්ට්ටම මන්ත්‍රීවරයකුද වේ.

මහා බ්‍රිතාන්‍යයෙන් පැනවූ ලිංගික තහනම


චීන සහ රුසියානු රූමත් තරුණියන් සමග ලිංගික ක්‍රියාවන්හි නොයෙදෙන ලෙසට එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා. මෙම අවවාදය දී ඇත්තේ චීනයේ සහ රුසියාවේ සිටින එක්සත් රාජධානියේ රාජතාන්ත්‍රික නිලධාරීන්ටයි. ඊට හේතුව රුසියාව සහ චීනය තම ඔත්තුකරුවන් ලෙස රූමත් තරුණියන් යොදවා ඇතැයි පවසමින්

Tuesday, 4 November 2014

මංගල සමරවීර හෙට (05)දින විදේශ ගත වෙයි

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ජනාධිපති අපේක්ෂකතත්වයේ ගැටලුව විසදීම සදහා හෙට දින (5) විදේශ ගත වීමට සුදානම් බව වාර්තා වේ.එහිදී හිටපු ජන්ධ්පතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුණ ගැසී මෙම ගැටලුවට විසදුමක්  සොයන බවද වාර්තා වේ 

මීරියබැද්දේ අනෙක් කොටසත් නාය යන ලකුණු


කොස්ලන්දේ මීරියබැද්දේ  වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක්  පහළට ගලා ඒම නිසා  කැනීම් මින් මද වේලාවකට පෙර අත්හිටැවිණි.
1500කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝද  ඔවුනට සහාය දෙන තවත් පිරිසක්ද අද (4) හත්වැනි දිනටත් මෙහෙයුම් අරඹා පැය කිහිපයකට පසු මේ තත්ත්වය උදා විය.මෙහෙයුම් කරන ත්‍රිවිධ හමුදාවට ,පොලීසියට හා සහන සේවකයින්ය ශබ්ධ විකාශන මඟින් දැනුම් දුන්නේ  වහාම එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.ඊට හේතු වූ අනෙක් සාධකය වුයේ මෙම මතු වූ දිය පහරත් සමග මීරියබැද්ද කන්දේ අනෙක් කොටස නාය යෑමට ලක් වෙතෙයි අනුමාන කල හෙයිනි  

Monday, 3 November 2014

මොකද්ද මේ එක්සත් ජාතික පක්ෂය

ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියන කියන කෙනෙකුට කීමට හා ලිවීමට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන කියන කෙනෙකුට ලියන්න කියන්න ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ පොදු මතයයි.

1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් මෙරට නායකයින් 1912 දී ආරම්භ කල අමද්‍යප ව්‍යාපාරය සමගයි. 

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්.ආර් සේනානායක, ඩී.එස් සේනානායක, සර් ඩී.බී ජයතිලක ආදී ලාංකීය ජන නායකයින් අමද්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කලහ. රටපුරා සුදු ජාතීන් විසින් මෙරට ජනතාවට පුරුදු පුහුණු කල මත්පානයේ විපාක ජනතාව දැනුවත් කල මෙම නායකයින් නිවහල් නිදහස් ජාතියක වටිනාකමද එහිදී ජනතාවට පෙන්වාදුන්හ. ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් රැසක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ රජය විසින් සිරභාරයට ගැනීමත් සමගම ඔවුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරගැනීමේ සටන ඇරඹීම සඳහා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මෙම නායකයින්ට ඇතිවිය.

ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය ලෙස බිහිවන නව ජාතික ව්‍යාපාරයට සියළු ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයින් රැසක් එක්විය. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පියාවන ඊ.ඩබ් ජයවර්ධන මහතා විසින් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබාදෙන අතර ඊට සර් පොන්නම්බලම් රාමනාදන්, සර් මොහොමඩ් මාකන් මාකර්, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ් පෙරේරා වැනි නායකයින් රැසක්ද තම දායකත්වය ලබාදුන්හ. 

නිදහස ඉල්ලා මෙම ව්‍යාපාරය විසින් ගෙනගිය සටන හේතුවෙන් ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ මත 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු ලංකා ජාතික සංගමයේ ගමන්මගට බාධාද එල්ලවිය. ඒ ලංකා ජාතික සංගමයට අමතරව සමසමාජ පක්ෂය, සූරියමල් ව්‍යාපාරය වැනි තවත් දේශපාලන සංවිධාන බිහිවීම තුළිනි. 

කෙසේ වුවත් ඒ වන විට ලංකා ජාතික සංගමය නියෝජනය කල තරුණ නායකයින් රැසකට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය දැනුනු අතර ඊට ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ඇල්බට් එෆ් පීරිස් යන නායකයින් නව ජීවයක්ද ලබාදුන්හ. 

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී  පැවති පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්.නඩේෂන් මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කරනු ලදුව එක්සත් ජාතික පක්ෂය යන නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹ්නි. ඊට සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යෝනක, මැලේ, බර්ගර් හා යුරෝපීය ජාතීන් නියෝජනය කරන සංගම්ද එක්වීම තුළ එම නව දේශපාලන පක්ෂය සමාජය තුළ පුළුල්ව විහිද ගියේය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ගමන්මග අරඹමින් ලංකා පාර්ලිමේන්තුවෙන් වෙනුවෙන් 1947 දී පැවති පළමු මැතිවරණයේදී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට සමත්විය. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යක් බිහිකිරීමට සමත්වූ මෙම රජය 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාදීමට උරදී කටයුතු කළේය.

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් ඒ අනුව ලක් ඉතිහාසයට එක්විය. ඉන් අනතුරුව පක්ෂය විසින් රටට දැයට අතිමහත් වැඩකොටසක් ඉටුකරමින් ඉදිරියට ගමන්කරන අතර 1952 වසරේ මාර්තු මස 22 වන දින ගාලූ මුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් බිම ඇදවැටීමත් සමග එම ගමන්මගට පළමු බාධාව එල්ලවිය. එම අනතුරින් එතුමා අභාවප්‍රාප්තවීමත් සමගම පක්ෂයේ නායකත්වය සඳහා ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම සර් ජෝන් කොතලාවල මහත්වරුන් අතර උණුසුම් සටනක් ඇතිවූ අතර අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයට හා අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙමින් එය නිමාවිය. 

සිංහල මහා සභාව සමග එක්සත් ජාතික පක්ෂයට එක්වන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් 1952 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වගොස් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය පළමු පිරිස ලෙස ඔවුන් ඉතිහාසයට එක්විය.

කෙසේ වුවත් 1953 වසරේදී වාමාංෂික නායකයින් විසින් නායකත්වය දෙන ලද හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා පක්ෂ නායකත්වයෙන් හා අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්විය. ඒත් සමගම පක්ෂ නායකත්වයට පත්වන සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් 1956 දක්වා රජය පවත්වාගෙන යාමට සමත්විය. 

සියළු ජාතීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය ආරම්භවුවද ඉන් බිඳීගිය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් යන මතයෙහි පිහිටා කටයුතු කිරීම හේතුවෙන් එතෙක් ගොඩනගාගෙන ආ ලාංකීය ජාතීයේ විශාල ඉරිතැලීමක් ඇතිවිය. කෙසේ වුවත් 1956 දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ එම මතය බහුුතර සිංහල ජතාවගේ හැඟීම්වලට ආශ්වාදජනක මාතෘකාවක් වූ නිසාවෙනි. 

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ අරමුණින් එවක පක්ෂය තුළ සිටි සියළු බලමුළු එක්තැන්කොටගෙන 1958 දී මහනුවර බලා දැවැන්ත පාගමනක් ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් ගමන් ඇරඹුවද ඉඹුල්ගොඩදී ඊට එල්ලවන රාජ්‍ය මර්ධනය හරහා එය නවතා දැමීමට සිදුවිය. 

1960 වසරේ සිට 1965 වසර දක්වා මෙරට දේශපාලනයේ විවිධ සිදුවීම් රැසක් සිදුවූ අතර යළිත් 1965 දී ආණ්ඩු බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් යටතේ 1970 වසර දක්වා පාලන බලය හොබවන එම රජය නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට වැඩදායී පියවරයන් රැසක් ආරම්භ කිරීමටද මූලිකත්වය ගත්තේය.

නමුත් 1970 වසරේ පැවති මහා මැතිවරණයේදී යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය නමැති තනි දේශපාලන පක්ෂය පරාජය කරමින් සන්ධාන සමගි පෙරමුණ නව රජයක් පිහිටුවන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ හිමිවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවද අඩුවිය. එහි විපක්ෂනායක ධූරය හොබවමින් පක්ෂයට නායකත්වය ලබාදෙන ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1973 දී පක්ෂ නායකත්වයට පත්වන්නේ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයත් සමගයි. 

විශේෂයෙන්ම 1971 අප්‍රේල් මාසයේ ඇතිවන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලේදී වගකිව යුතු විපක්ෂයක් ලෙස රජයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂය 70 - 77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සිදුකල ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාරට බැසීමටද අමතක නොකළේය. ජනතාව වහළුන් සේ සලකමින් තමන් ලබාගන්නා ආහාර වේල, අඳින පළඳින ඇඳුම්වලට පවා සීමා පනවමින් පෝලිම් යුගයක් ගෙනගිය සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත දේශපාලන ප්‍රහාරයන් දියත්කරමින් පක්ෂය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නේ 1977 වසරේදීය.

1977 වසරේ පැවති මහා මැතිවරණයේදී 5/6 ක බලයක් ලබා විශිෂ්ඨ ජයක් හිමිකරගන්නා එක්සත් ජාතික පක්ෂය නිදහස් ශ්‍රී ලංකාව නවීන ලෝකයට අවශ්‍ය ආකාරයෙන් හැඩගැස්වීමට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ක්‍රමවේදයක්ද රටට දායාද කරනු ලැබීය. ඒ අනුව නව ව්‍යවස්ථාව මගින් රටේ නායකයා ලෙස විධායක ජනාධිපතිවරයෙකු නම්කොට තිබූ අතර ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙසට ඉතිහාස පොත් අතරට එක්විය. මේ වන විට එක්සත් ජාතික පක්ෂයද දැවැන්තම දේශපාලන ව්‍යාපාරය ලෙස සවිමත් වන අතර නමුත් 1988 89 යුගයේ යළිත් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමත් සමගම ඉන් වැඩියෙන්ම බැටකෑ දේශපාලන ව්‍යාපාරයද ලෙසද එක්සත් ජාතික පක්ෂය පත්විය.

එවැනි බාධා මධ්‍යයේ 1989 ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට මුහුණදෙන එක්සත් ජාතික පක්ෂය ඉන් ජයග්‍රහණය කරන්නේ පක්ෂය තුළ ඇති සංවිධානාත්මක ශක්තිය මොනවට පිළිබිඹු කරමිනි. ඒ අනුව මෙරට පමණක් නොව ලොවම පිළිගන්නා දේශපාලන නායකයකුවූ ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සිය දේශපාලන දිවියෙන් සමුගැනීමත් සමගම 1989 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නා රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂය තුළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ඉදිරියට යාහැකි බවට පෙන්නුම් කරමින් පක්ෂ නායකත්වය කරා ගමන් කරමින් රටේ නායකත්වයට පත්වන රණසිංහප්‍රේමදාස ජනාධිපතිතුමා රට තුළත් පක්ෂය තුළත් වෙනස්කම් ගණනාවක් සිදුකළේය. 

කෙසේ වුවත් මීට පෙර පක්ෂය තුළ ඇතිවූ මතගැටුම්වලට එහා යමින් අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට ගෙන එන දේශපාලන බලලෝභී සටන ඇරඹෙන්නේ එම යුගයේදී වීම විශේෂත්වයකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂයේම නායකයින් දෙපළක් වූ ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක විසින් දියත් කරනු ලබන දෝෂාභියෝග ව්‍යාපාරය හරහා එතෙක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ විශාලම ඉරිතැලීම සටහන්විය. 

ලක්ෂ 10 ක පමණ සාමාජික පිරිසක් සමග ලලිත් ගාමිණී නායක දෙපළ පක්ෂයෙන් ඉවත්ව වෙනමම දේශපාලන ව්‍යාපාරයක් අරඹන අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තනි නොකරමින්  ඩී.බී විජේතුංග, රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් පක්ෂය ආරක්ෂා කරගන්නේ මෙරට සමාජයේ පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මැනැවින් වටහාගත් නිසාවෙනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබූ එම අපලය නිමා නොවූ නිසාවෙන්මදෝ 1993 මැයි මස 1 වන දින ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මියයන්නේ රටට ජනතාවට මෙන්ම පක්ෂයටද පිරිමැසිය නොහැකි පාඩුවක් හිමිකරලමිනි. 

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වියෝවත් සමගම අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතා පක්ෂ නායකත්වයට පත්වන අතර ඔහු යටතේ කැඩීවෙන්වී ගිය පක්ෂය යළිත් එකමුතු කරමින් ගාමිණී දිසානායක හා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමන්ගේ පුතණුවන්වූ අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනීමද සිදුවිය.

නමුත් 1994 වසරේදී පැවති මහාමැතිවරණයෙන් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබූ පක්ෂය සන්ධාන ගත පොදුජන එක්සත් පෙරමුණ හමුවේ පරාජය වන්නේ එක් මන්ත්‍රී අසුනකින් වීමද විශේෂත්වයකි. ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස විපක්ෂනායක ගාමිණී දිසානායක මහතා තරඟවදින නමුත් ඡන්ද සටනේ අවසන් දින කිහිපයේදී ඔහු ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එල්.ටී.ටී.ඊ යේ කුරිරු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

මෙවැනි කඩාවැටීම් රැසක් හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටි පාක්ෂිකයින්ට නවමු බලාපොරොත්තුවක් උරුම කරදෙමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකධූරයට පත්වන අතර ඔහු 1995 වසරේ සිට යළිත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානවලට ලක්කරමින් රටේ දැවැන්තම තනි දේශපාලන බලවේගය බවට පත්කරලීමට සමත්විය. 

මේ අතර 1999 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරිපත්වන අතර එහිදී ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ප්‍රබල සටනක් ලබාදෙමින් ජයග්‍රහණයේ එළිපත්ත අසලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ජනාධිපතිවරිය වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එම ජයග්‍රහණය ආපසු හැරවී යන්නේ රටේ අහේතුවටම බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ නමුත් පාක්ෂිකයා ඉච්ඡා භංගත්වයට පත්වීමට ඉඩනොදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ සටන මහනුවරින් අරඹා ජනබල මෙහෙයුම ලෙස පාගමනින් කොළඹට එන්නේ පක්ෂයට නව ජීවයක් ලබාදෙමිනි. එම ජනබල මෙහෙයුම දෙවන රැළියේදී කොළඹ නගරයට රටේ සිව්දෙසින් ලක්ෂ 10 කට වඩා වැඩි ජනතාවක් රැස්කරන අවස්ථාවේ ඊට එල්ලවන ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රහාරයන්ට ලක්වී තරුණ පාක්ෂිකයින් දෙදෙනෙකු දිවිපුදන්නේ  පක්ෂයත් රටත් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක වුවමනාම ලොවට කියාපාමිනි. සන්ධාන රජය කෙරෙහි කලකිරී සිටි ප්‍රබල දේශපාලන නායකයින් රැසක්ද සිය ආණ්ඩු විරෝධී බලවේගය සමග එක්කරගැනීමට සමත්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නේ රටේ සියළුදෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි. 

රටට සාමය උදාකිරීම හා ජනතාවට සුභ දිවියක් උදාකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ රජය විසින් දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් අරඹා තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානයේ ඇතැම් නායකයින්ගේ මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයින්ගේ අදූරදර්ශී බසට වශීවන ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එක්සත් ජාතික පක්ෂ රජය විසුරුවා හරින්නේ දේශපාලන සම්ප්‍රදායන්ද කෙළෙසමිනි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරඟවැදී යළිත් විපක්ෂයට පත්වන එක්සත් ජාතික පක්ෂය මීළඟට සූදානම් වූයේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණ සටන සඳහායි. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තරඟ වැදුණු අතර ඡන්ද සටනේ මුලසිටම ජයග්‍රාහකයා ලෙස ඉදිරියෙන්ම පසුවූයේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. නමුත් එතුමන් බලයට පත්වුවහොත් තමන්ට අත්වන පරාජය හා තමන්ගේ කොන්දේසිවලට එකඟ නොවන පුද්ගලයෙකු බවට එල්.ටී.ටී.ය ඔහු හඳුනාගෙන සිටි බැවින් දෙමළ ජනතාවගේ ඡන්දය වාරණයට ලක්කරමින් යළිත් වතාවක් සියළු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බොඳ කරළිය.

2005 වසරේ සිට විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට ඇදෙමින් පවතින එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙරට දැවැන්තම දේශපාලන ව්‍යාපාරය බවට තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටී. ඒ පක්ෂය තුළ සිටින බලලෝභී පුද්ගලයින් විවිධ අවස්ථාවන්වලදී විවිධ කුමන්ත්‍රණ සිදුකලද ඒ කිසිදේකටත් නොසැලෙන පක්ෂය තම ජීවිතයේ පළමුතැනලා සැලකූ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්සත් ජාතික පක්ෂයට සිටින හෙයිනි.

ජේ.වී.පි කාරයා යනු කවරෙක්ද?


වර්ෂ 1965 මැයි මස 14 වන දා ගාල්ල, අක්මීමන දී රෝහණ විජේවිර මහතා ප්‍රමුඛ හත්දෙනෙකු කළ තීරණාත්මක සාකච්ඡාව මෙරට විප්ලවාදී ව්‍යාපාරයක ආරම්භය වේ.ඒ අනුව එහි නිර්මාතෘවරයා බවට රෝහණ විජේවීර පත්විය.
1943 ජූලි 14 වන දා මාතර දී උපත ලැබූ රෝහණ විජේවිර  1960 දී සිය උසස් අධ්‍යාපන සදහා ඇතුලත් වූයේ සෝවියට් දේශයේ ලුමුම්බා මිත්‍රත්ව සරසවියටයි.
එහි වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී නිවාඩු හිමිවී  1964 වසරේදී මෙරටට පැමිණියත් වීසා නොදීම මත යළි සෝවියට් දේශයට යාමට නොහැකි වූ විජේවීර මෙරට නිර්ධන පන්තියේ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියාකිරීමට තීන්දු කළ බව ජනතාවිමුක්ති පෙරමුණු ඉතිහාසයේ සඳහන් ය.
ඒ අනුව විජේවීරගේ නායකත්වය යටතේ 1971 වසරේ ආණ්ඩු විරෝධි අරගලයට සම්බන්ධ වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ පසුබෑමටකට ලක්විය.
යළි එම පෙරමුණ ක්‍රියාකාරී මාවතට පිවිසුණේ 1976 වසරේ අග භාගයේ සිට ය.
1977 මහමැතිවරණයෙන් පසුව එතෙක් සිරගතව සිටි රෝහණ විජේවීරට ද නිදහස හිමිවිය.
ඒ අනුව 1982 ලියාපදිංචි දේශපාලන පක්ෂයක  ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණ සටනට අවතීර්ණ වීමට සූදානම්ව සිටියේය.
එහෙත් ජනාධිපතිවරණය වෙනුවට පැවති ජනමත විචාරණය හේතුවෙන් ඔහු එය පරාජය කිරීම උදෙසා සටනට අවතිර්ණ විය.
රෝහණ විජේවීරගේ එදා කළ කතාවක කොටසක්
අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ මේ රටේ 40 ලක්ෂයක් වු කම්කරු පක්ෂයෙන් ඉලන්නේ අවධියෙන් ඉන්න ඇයි.ජනතාවගේ අයිතිය උදුරාගන්න ඔය කාටවත් අයිතියක් නැහැ.
1983 වසරේදී පක්ෂය යළි තහනම් කෙරිණ.
පසුව 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග දේශප්‍රේමී අරගලයට ජනතා විමුක්ති පෙරමුණ යළිත් නායකත්වය දුන්නේය.
වසර ගණනාවක් සැඟව ජීවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 12 වැනිදා ය.
ජනතා විමුක්ති පෙරමුණු වාර්තාවන්ට අනුව එහි ඉදිරිපෙල නායකයෙකු වූ  සෝමවංශ අමරසිංහ මහතා 1990 වසරේදී රටින් පිටව තිබේ.
සිය නායකයාගේ මරණයෙන් පසුව විදේශයක සිට පක්ෂය මෙහෙය වූ ඔහු යළි මෙරටට පැමිණියේ 1994 වර්ෂයේදී ය.
1948 වසරේ කලුතර විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලැබූ සෝමවංශ අමරසිංහ මහතා පයාගල ඈතගම ප්‍රදේශයේ පදිංචිව සිටියෙකි.
ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ 1969 වසරේදී ය.
වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වගකීම් ඉසිලු සෝමවංශ අමරසිංහ මහතා පක්ෂය මෙහෙයවීමේ වගකීම නව නායකයෙකුට භාර කරමින් ඊයේ ධුරයෙන් සමුගත්තේය.
නායකත්වය පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තු බිඳවැටීමට පෙර සෝමවංශ අමරසිංහ මහතා එම තනතුරට සමු දෙමින් එය අනුර කුමාර දිසානායකට පැවරීම  පාක්ෂිකයාගේ පැසසුමට ලක්වේ.
සෝමවංශ අමරසිංහ මහතා (02/02/2014)
ඉතිං පහුගිය කාලේ ගත්තොතින් ඔබ සිරස නලිකාවේ හොඳටම දන්නවා මේ විරුද්ධ පක්ෂයේ විරුද්ධ පක්ෂයේ භූමිකාව විරුද්ධ පක්ෂයේ නායක භූමිකාව අද ඉටු කෙරෙන්නේ අනුර දිසානායක සහෝදරයාගේ අතින්.අපි හිතන්නේ මේ පක්ෂයේ නායකත්වයට ඉතාම සුදුසු පුද්ගලයා තමයි මේ. අපි ආවේ මරණය කොතනද ඒ හමුවෙන මො‍හොතේ දී මරණය භාර ගන්න ආපු මිනිස්සු.ඉතිං මේ පක්ෂයේ  කිසිම සාමාජිකයෙක් පක්ෂෙට ඇතුළු වුණේ නායකත්වය බලාපොරෙත්තුවෙන් නෙවෙයි.නායකත්වය ඉල්ලගෙන නෙවෙයි.වැඩ ඉල්ලගෙන.පවරන වැඩ කරන්න. 
1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා තඹුත්තේගමදී උපන් අනුර කුමාර දිසානායක මහතා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තේය.
දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණයට සම්බන්ධ වූයේ 1987 වසරේදී ය.
ඔහු 1988 වසරේදී පුර්ණකාලීන දේශපාලනයට පිවිස 95 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකධුරයට පත්විය.
එම වර්ෂයේදීම ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාවට තේරී පත් වු අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත්වුණේ 1998 දී ය.
2000 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 වසරේ දී කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යධුරයද හෙබවිය.
2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරයට පත් ඔහු එතැන් පටන් මන්ත්‍රීවරයෙකු ලෙසින් සිය සේවය ජනතාවට ඉටු කළේය.
පක්ෂය ආරම්භ වී අඩසියවසක් සපිරීමට ආසන්නව ඇති කාලයේ  අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයට පත්වන්නේ එහි තුන්වැනිව නායකයා ලෙසිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා (02/02/2014)
මේ රටට අලුත් දේශපාලන ගමනක් අලුත් ආරම්භයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ 07 වන මහා සමුලුවේදී විශේෂ අලුත් වීම් ගණනාවක් විශේෂ යෝජනා ගණනාවක් සම්මත කර ගෙන තිබෙනවා.අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව එම වැඩපිලිවෙලත් එක්ක එම ගමනත් එක්ක ඒකාබද්ධ වේවි කියලා.
ඔහුගේ නායකත්ව යටතේ පක්ෂය මෙහෙයවීම සදහා ඊයේ සමුළුවේදී වැදගත් යෝජනා 05 ක් අනුමත කර ගැනිණ.
අපේ දැක්ම නම්වූ එහි ජනතාවාදී පාලනය, උසස් මානව සම්පතනවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් සැකසීම යන යෝජනා ඊට අන්තර්ගත ය.

""රනිල් වික්‍රමසිංහ"" චරිතයේ චිත්‍රපටය මෙන්න

ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ධුරය දරා සදාචාරාත්මක වෘත්තීය දේශපාලනයේ තමන්ට හිමි සුදුසුම තැන නියෝජනය කරන වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දිවිය වයස දශක 4කට අධිකය.
පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි.
අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව යටත් විජිතවාදින්ගෙන් මුදවා ගත් එක්සත් ජාතික පක්ෂයේ උගත්, බුද්ධිමත් සහ පරාර්ථකාමී දේශපාලන න්‍යායාන් අකුරට පිළිපදිමින් රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි තීරණ ගන්නට උපන් හපනෙකු වූ වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලඥයෙකු වශයෙන් ප්‍රචලිත වන්නේ ද ඔහුට විදේශයන්ගේ ඇති නිසැක පිළිගැනීම හරහාය.
1977 දී පාර්ලිමේන්තුවට පත්වන ලාබාලතම මන්ත්‍රීවරයෙකු වශයෙන් කැළණිය - බියගම අසුනෙන් ජයගත් ඔහු ලාබාලතම කැබිනට් ඇමතිවරයා වශයෙන් වගකීම් භාර ගැනීමට මුල පුරන්නේ රටට අවැසි මහත්මා දේශපාලඥයෙකුගේ දෛවෝපගත නිමිත්තක් පෙන්නුම් කරමිනි.

ශ්‍රී ලංකාවේ පහළ වූ නැණවත්ම දේශපාලන තීරකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වන වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන, කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයට උසස්වීමක් ලබන්නේ එවකට ඔහු තුළින් විද්‍යමාන වූ කාලීන සැලසුම් නව ක්‍රමවේද සහ දුරදක්නා නුවණින්යුක්තව ක්‍රියාත්මක කළ පිරිපුන් ව්‍යාපෘතින්හී ප්‍රථිපල ගැන දිවැසින් දුටුවාක් මෙනි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිතුමන්ගෙන් පසු ආර්. ප්‍රේමදාස රජයේ ඉහළම ඇමති තනතුරු හොබවමින්  මහත්මා දේශපාලනයේ උපරිමය පිළිබිඹු කරමින් තමාට ඉහලින්ඇති නායකත්වයට ගරු කිරීම සහ ඔහු රැක ගැනීම ජීවන ධර්මතාවක් සේ සැලකූ වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට එරෙහිව තම පක්ෂය තුළින්ම පැණ නැගුණු දෝෂාභියෝග අවස්ථාවේදී එතුමන් රැක ගැනීම සදහා කළ කැප කිරීම කාගේත් ගෞරවාදරයට ලක්වූ බැව් නොරහසකි.
එහෙත් අසීමිත පැසසුම්, නම්බු නාම පිලිබද නොසැලකූ ඔහුට අභිමන් මෙන්ම අවමන් ද එකසේ විද දරා ගත හැකි වී ඇත්තේ ඍජුව සහ අව්‍යාජව කරන දේ හරියාකාරව ඉෂ්ට කොට නිමා කිරීම පරම අදිටන සේ නිරතුරුවම සලකන නිසාවෙනි.
ඉවසීම ඉතා සුවිශේෂිතම ගුණයක් මෙන්ම එය තීක්ෂණ අවියක් සේ තබාගෙන කටයුතු කරන වික්‍රමසිංහයන්ගේ පැහැදිලි වාග් විලාශය ද සෙස්සන්ගේ කතා බහට ලක් වන තවත් වැදගත් කරුණකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම එකසේ හැසිර විය හැකිබව  පවත්වන දෙසුමක අපූර්වත්වයෙන් සහ දැනුවත් බව හරහා ඔහු ලෝකයට කියා පාන්නේ පරමාදර්ශී දේශපාලන නායකත්වයක යහපැවැත්මයි.

දේශයක් වැනසූ යුද්ධයක් නිසාම අද්විතීය නායකයින් සියල්ලක්ම පාහේ අහිමිව ගිය එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨත්වයේ සුදුසුකම් මත නායකත්වයට එළඹ පළි ගැනීමේ අදහස පසෙකලා ලේ ගැලීම්, සංග්‍රාමගාමී පිළිවෙත් මග හැර සාකච්ඡාවෙන් සහ අවිහිංසාවෙන් සතුරා මැඩ පැවැත්වීමේ අභිලාෂය ඉෂ්ට කර ගත්තේ මේ රටෙහි 17 වැනි අගමැති පදවිය භාර ගැනීමෙන් අනතුරුවයි.
අනාගතය උදෙසා තරුණ ජීවිත රැසක් රැක ගැනීමට සාධක තැනූ එම සාම ගිවිසුමේ යටි අරුථ ලෙස බැලු විට ශූර දේශපාලකයෙකුගේ තියුණු නුවණ පිළිබද කාලීන කාරනා රැසක්ම අවබෝධ කර ගත හැකි වෙයි.
එනම් සතුරු බලවේගය තුළින්ම එකිනෙකාට එරෙහි කැරැල්ලක අනතුර උතුරෙන්ම මතුවිමට සැලැස්වමයි. සතුරු ත්‍රස්තවාදය පිල් ඛෙදීම්වලට ලක්කර එකිනෙකාතුලින් අනන්‍යෝන්‍ය අවබෝධය බිද දැමීමේ ප්‍රතිඵලය සදාකාලික යුද්ධය නිම කිරීමට වක්‍රව බලපෑ ප්‍රධාන කරුණක් බව කවුරුත්යටිහිතෙන් අමතක නොකරන්නේ එහෙයිනි. එමෙන්ම ඉන් ඔහු ගරු බුහුමන් පැසසුම් අපේක්ෂා නොකළ අතර අවශ්‍ය වුයේ කෙසේ හෝ රටේ සාමයේ ස්ථිරත්වය ස්ථාපිත කිරීමය, එය එඅයුරින්මසිදු වු බැවී අපි අත්දැකීමෙන්ම දනිමු.
එහෙත් රටට ඔහුගේ නායකත්වය ඇවැසිවු යුගයක ජනපති සටනකදී අකෘතඳ ලෙස පරාජයට ලක්කළ මුත් අද එහි අදෘශ්‍යමාන ඵලවිපාක ජනතාවට විදවන්නට වී ඇති මුත් ඊට එරෙහිව මුවින් නොබැන සිටින්නට ජනතාවට  සිදුවන බැව් ඔහු පැවසුවේ "සිදුවූ වැරැද්දේ බරපතලකම වැටහෙන්නේ මතු දවසේදීයි"  යන අනතුර ඇඟවිමෙනි. අද කාලය දෙස බලා ඔහු   ඒ කළ ප්‍රකාශයන්හි  තත්ත්වය අපට අද හේතු අහේතු ලෙස ගෙන සසදා බැලිය හැක.

එසේම නැවතත් විපක්ෂ නායකත්වය දෙසට තල්ලූ වී ගියත් රටේ ප්‍රධාන පුරවැසියන් සිව්දෙනා අතර සිටිමින් එහි වගකීම සෙස්සන්ට කියා දෙමින් කාලය විසින් නිවැරදි දේ සහ යහපත් උත්සාහයන් කිරුළු පළදින තෙක් ඔහු ඉවසා බලා සිටින්නේ හොද දේ කවදා හෝ ඉස්මතු වන බව අවධාරණයෙන් දන්නා හෙයිනි.
ජන්ම බෞද්ධයෙකු ලෙස දහම් සිද්ධාන්න ගැන අපමන විශ්වාසය තබමින් තම පක්ෂයේ වුවද දුෂණ, වංචා, ගසා කෑම්, අවඤාසහගත ලෙස කතා කිරීම් වැනි දේට ඉඩක් නොතබන ඔහු කරණම්  දේශපාලනයේ යෙදෙන්නන්ට ඉතා නීරස දසුනක් වන්නේ නිතැතිනි.
ලෝකයේ ආර්ථීක අර්බුද හමුවේ ලෝකයාට මුසා දෙසා ඉන් මානසික අල්ලස් දී ජනතාව බා ගැනීමේ න්‍යාය සහමුලින්ම බැහැර කරන වික්‍රමසිංහයන් පක්ෂ නායකත්වයේ හිදීමට අවැසි උපරිම ගුණාංග සපුරා ඇත්තේ ප්‍රායෝගිකව ජනතාව විසින් ඉදිරියෙන් තැබු නායකයෙකු විලසිනි.
පක්ෂ විපක්ෂ දේශපාලනයේදී වෘත්තීය වාද විවාදවලදී එකිනෙකාට එරෙහිව වුවද ඉන් පිටත ඔහු විනයානුකූල සිවිල් නායකයෙකු ලෙස හැසිරෙන අයුරු කාගේත් අවධානයට පාත්‍ර විය යුතු කරුණකි.
දේශපාලනයේදී සතුරන් වන්නේ වැඩ නොකොට වැඩිපුර දොඩවන්නන් බව ඉඳුරා විශ්වාස කරන වික්‍රමසිංහයන් ජනතා මිතුරන් වන්නේ ජනතාවට වංක නොවී හෘද සාක්ෂියට එකගව උපරිමයෙන්ම ඉහළින්ම කටයුත කරන තැනැත්තා බව ද අවධාරණය කරයි. ඔහුගේ පිරිපුන් ජීවන ඉතිහාසය එය අපට මනාව පසක් කරවයි. ඔහු ඉතිහාසයක් ඇති පළපුරුදු ජනනායකයෙකු වන්නේ එනිසා බැව් අප නිසැකවම පිළිගන්නේ ඔහු නිලතල  බලතණ්හාව හෝ තාන්නමාන්න උදෙසා සිය ආත්මය  කිසිදා පාවානොදෙන්නෙක බව රටේ ඡන්දදායකයින් ඒකාන්තයෙන්ම දන්නා හෙයිනි.
උපුටා ගැනීම :- www.unp.lk