Monday, 12 August 2013

බස් ගාස්තු 10%න් වැඩි කරනවා - අවම ගාස්තුවත් 10 වෙයි

ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට බස් ගාස්තු සියයට 10න් වැඩි කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඒ අනූව එදින සිට අවම ගාස්තුවද රුපියල් 9 සිට 10 දක්වා වැඩි කරන බව හෙතෙම කීවේය.

බස් ගාස්තු අවස්ථා 305ක් ඇති බවත් අවම ගාස්තුව වන රුපියල් 9ය 10ක් ලෙසද වැඩිම ගාස්තුව වන රුපියල් 662ක 728ක් බවට ද ඒ අනූව පත්වන බව ඔහු සඳහන් කළේය.

බස් ගාස්තු වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

එහෙත් එම සෑම අවස්ථාවකදීම කොමිෂන් සභාව ඇහුම්කන් නොදුන් බව හෙතෙම පෙන්වාදුන්නේය.

කෙසේ වුවද බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තම සංගමය විසින් පසුගිය 08 වැනිදා අවසන් වරට ජාතික ගමනා ගමන කොමිසමට එය ලිඛිතව දැනුම් දුන් බවද විජේරත්න මහතා කීවේය.

එහෙත් ඊට ද ප්‍රතිචාරයක් නොලැබුණු බවත් යෝජිත ගාස්තු වැඩි කිරීම ගැන පුවත්පත්වල දැන්වීම් මගින් ප්‍රචාරය කරන බවත් ඔහු පැවසීය.

මේ අතර සුඛෝපභෝගි, අර්ධ සුඛෝපභෝගි යනුවෙන් ලොව කොහේවත් බස් වර්ග දෙකක් නැති බවත් ඒවායේ අරමුණ මගී ජනතාවගෙන් මුදල් ගසා කෑම බවද හෙතෙම කීවේය.

ඊට එරෙහිව ජනතාවට නඩු මගට බැසිය හැකි බවද ඒ සඳහා තම සංගමය සහය දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් යෝජිත බස් ගාස්තු ඉහළ නැංවීම ගැන ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ස්ථාවරය දැනුම් දෙන බවයි.

No comments:

Post a Comment