Monday, 12 August 2013

ආණ්ඩුවේ සෙප්පඩ විජ්ඡා එපා. අපිට උත්තර‍ දෙන්න - නාමල් කරුණාරත්න

 
"ගොවියන් පාරට බස්සවන්නේ නැතිව ආණ්ඩුවේ සෙප්පට විජ්ඡා නවත්වලා අපි ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන්න" යැයි අද (12) පෙරවරුවේ කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
එහිදී ඔවුන් ආණ්ඩුවට යෝජනා මාළාවක්ද ඉදිරිපත් කළ අතර එම අදහස් දැක්වීම පහත පළවේ.
"මේ වනවිට පසුගිය වර්ෂය තුළ ආදායම් වියදම් ඇගයීම් සහ 2014ට අදාලව අයවැය සැකසීම තුළ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවලා තිබෙනවා. ගොවිජනතාවට බලපාන ගැටලු පදනම් කරගත් යෝජනා හයක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කළා. එයින් අපි යෝජනා කර සිටියේ කෘෂිකර්මාන්තයට සෘජුවම මුදල් වැයකරන්න කියලයි. සැප්තැම්බර් 30වනදා තෙක් අපි ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා. නැතිනම් මේ රටේ සියලුම ගොවිජනතාව සහභාගි කරගනිමින් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග සඳහා එළඹීමට මේ වනවිටත් කටයුතු සංවිධානය කර තිබෙනවා. එනිසා අපි ආණ්ඩුවට කියන්නේ ගොවියන් පාරට බස්සවන්නේ නැතිව අපි ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන ලෙසයි.
පළවෙනි යෝජනාව - ශූන්‍ය කරන ලද ගොවි විශ‍්‍රාම වැටුප් අරමුදල නැවත ස්ථාපිත කොට විශ‍්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙනම ශීර්ෂයක් යටතේ වෙන් කිරීම.
මේ රටේ 959,000ක් පමණ වන ගොවියන් විශාල පිරිසක් ගොවි විශ‍්‍රාම වැටුප සඳහා මේ වනවිට දායක වී තිබෙනවා. ඔවුන් 6,000 සිට 12,000 දක්වා විවිධ ප‍්‍රමාණයෙන් මුදල් ගෙවලයි ගොවි විශ‍්‍රාම වැටුප සඳහා දායක වෙලා තිබෙන්නේ. ඉන් 120,000ක පමණ ගොවි පිරිසක් මේ වනවිට ගොවි විශ‍්‍රාම වැටුප ලැබීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ආණ්ඩුව 2011 නොවැම්බර් සිට ගොවි විශ‍්‍රාම වැටුප ගෙවලා නැහැ. ගොවි විශ‍්‍රාම වැටුප් අරමුදල ශූන්‍ය තත්වයට පත්වෙලා. ඒ මුදල්වලට වෙච්ච දෙයක් පිළිබඳ කවුරුත් දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට අපි කළ පැමිණිල්ල පසුගිය 05 වැනිදා විභාග කළා. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් කර ඇරියා. අපේ ගොවි අම්මා තාත්තා අවුරුදු 60න් පස්සේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න ගොවි විශ‍්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් හිටියා. තමන්ගේ කණ කර, ඉඩම් උගස් තියලා ලේ, කඳුළු මුදල් බවට පත් කරලා තමයි මේ මුදලට දායක වුණේ. දැන් ඒ මුදල ශූන්‍ය වෙලා. ඒ නිසා අපි යෝජනා කරන්නේ 2014 අයවැයෙන් හිග මුදල් සමඟ ගොවි විශ‍්‍රාම වැටුප් ගෙවීම සඳහා මුදල් වෙන් කරන්න කියලයි.
දෙවැනි යෝජනාව - බහුජාතික සමාගම් විසින් සපයනු ලබන තත්වයෙන් බාල බීජ වෙනුවට උසස් බීජ ලබාදීම සඳහා රජයේ බීජ පර්යේෂණ ආයතන සඳහා මෙවර අයවැයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන සෘජුව ලබාදීම.
බහුජාතික සමාගම් විසින් තත්වයෙන් බාල බීජ ලබාදීම නිසා ගොවි ජනතාව මහත් අපහසුතාවයකට පත්වෙලා සිටිනවා. පහුගිය කාලේ සෝයා වගාකළ ගොවියා නිසි අස්වැන්නක් නැතිව මහත් අපහසුතාවයට පත් වුණා. බී ලූනු, බීට්, වගා කළ ගොවියාත් ඒ ඉරණමටම මුහුණ දුන්නා. ආණ්ඩුව බීජ ගොවිපොළවල් බහුජාතික සමාගම්වලට විකුණලා. බීජ කර්මාන්තය බිඳවැටිලා. ඒ නිසා 2014 අයවැයේදී රජයේ බීජ පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීමටත් ඒ මගින් උසස් තත්වයේ බීජ ගොවීන්ට ලබාදීමටත් පහසුකම් ලබාදිය යුතුයි. ඒ සඳහා වෙනත් ශීර්ෂ යටතේ නොව සෘජුවම මුදල් වෙන්කළ යුතුයි.
තුන්වෙනි යෝජනාව - වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 31.25ක් බව රජය පිළිගෙන ඇති නිසාවෙන් සහතික මිල රුපියල් 40ක් ලෙස නීතිගත කොට එම මිල නිෂ්පාදන පිරිවැයට සාපේක්‍ෂව කාලානුරූප කිරීම.
මේ වනවිට සහතික වී මිල වන්නේ නාඩු සඳහා රුපියල් 32ක්ද සම්බා සඳහා 35ක්ද වශයෙනි. ඒ නිසා ගොවියාට නිෂ්පාදන වියදමවත් ලැබෙන්නේ නැහැ. අතරමැදියා විසින් ගොවියාගෙන් සොච්චම් මිලට වීටික ගන්නවා. ඒ වගේම අතරමැදියා තෙත බර තිබියදී වීටික ගබඩා කරනවා. එයින් සිදුවන්නේ මාස 06ක් වැනි කාලයත් තුළදී වීවල තත්වය බාල වීම නිසා සත්ව ආහාර සඳහා ලබාදීමටයි. එයින් වී ගොවියා අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ වී කිලෝවක අවම සහතික මිල රුපියල් 40ක් කරන ලෙසත් වී මිලදී ගැනීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් කරන ලෙසත්ය. ඒ වගේම වී ගබඩාවල තෙත හිඳින යන්ත‍්‍ර ස්ථාපිත කළ යුතුයි.
හතරවැනි යෝජනාව - එළවලු හා පළතුරු අතිරික්ත නිෂ්පාදන රැස්කර තැබීමේ ශීතාගාර පහසුකම් ස්ථාපිත කිරීම සඳහා මුදල් වෙන් කිරීම.
ඔබට මතක ඇති පහුගිය දිනක දඹුල්ලේ එළවලු කිලෝ 40,000ක් ඉවත දැම්මා. මේ ප‍්‍රමාණය 50,000, 100,000 දක්වා ඉහළ යන අවස්ථා තියෙනවා. ගොවීන් පාරවල් දිගේ එළවලු විසි කරනවා. කැකිරි, තක්කාලි, රාබු වැනි එළවලුවලට නිසි මිලක් නැහැ. අස්වනු නෙලීමට සහ ප‍්‍රවාහනයට යන වියදම වැඩියි. නිෂ්පාදනවලට නිසි මිලක් නොමැතිව එළවලු සහ පළතුරු ගොවියන් අපහසුතාවයට පත්වී තිබෙනවා. ඒ නිසා අතිරික්ත නිෂ්පාදන ගබඩා කර තැබීමට ශීතාගාර පහසුකම් ස්ථාපිත කළ යුතුයි. අපේ රටේ එළවලු නිෂ්පාදනයෙන් 40%ක් පමණ විවිධ හේතු නිසා ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ නිසා ගබඩා පහසුකම් ඇතිකිරීමෙන් ගොවියාට සාධාරණ මිලක් ලබාදීමටත් ඔහු තෘප්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා ආර්ථික මධ්‍යස්ථානවල ගබඩා පහසුකම් ස්ථාපිත කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන්කළ යුතුයි. ආණ්ඩුව දැයට කිරුළට මහා ධනස්කන්ධයක් නාස්ති කරනවා. පළාත් සභාවල සිට ප‍්‍රාදේශීය සභාවල සභාපතිලා දක්වා මුදල් නාස්තිකරමින් රට සවාරි යනවා. ඒ නිසා ආණ්ඩුවට මුදල් නැහැ කියලා මගහරින්න පුළුවන්කමක් නැහැ.
පස්වැනි යෝජනාව - වන අලි තර්ජනයෙන් ගොවීන් මුදාගැනීම සඳහා අලි විදුලි වැට ඉදිකිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම.
අපේ ගොවීන් වන අලි ප‍්‍රශ්නය නිසා ඉතා භයානක අත්දැකීම්වලට මුහුණ දෙනවා. ගොවියා සහ අලියා අතර ගැටුම උග‍්‍රවෙලා තියෙනවා. පොහොර මිල වැඩිවීම නිසා, නිසි තත්වයේ බීජ නොමැති නිසා, බැට කන ගොවියා රාතී‍්‍ර කාලයේ වන අලින්ගෙන් ගොවිතැන බේරා ගැනීමට සටන් කරන්න සිදුවෙලා. රාතී‍්‍ර කාලයේ වාඩි අටවාගෙන නිදි වරන්න සිදුවෙලා. මේ වනවිටත් ගොවීන් විශාල ප‍්‍රමාණයක් වන අලි ප‍්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වෙලා. නිවී සැනසිල්ලේ ගොවිතැන් කටයුතුවල යෙදෙන්න නොහැකි වෙලා තිබෙනවා. වන ජීවී අමාත්‍යවරයා පහුගිය ජූනි වන විට සියලුම අලි වැටවල් සාදා නිම කරන බවට පොරොන්දු වුණත් මේ වනතෙක් එය සිදුවෙලා නැහැ. වන අලි ප‍්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම වන අලි වැටවල් ස්ථාපිත කිරීම සඳහා මෙවර අයවැයෙන් සෘජුවම මුදල් ප‍්‍රතිපාදන වෙන්කළ යුතුයි.
හයවැනි යෝජනාව - පොහොර මත පදනම් වූ ගොවි රක්‍ෂණය ඉවත් කර පොදුවේ කැමති ගොවියාට සම්බන්ධ විය හැකි රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීම, අඩු කිරීමකින් තොරව ආසනික් ඇතුලු වස විෂ රහිත ප‍්‍රමිතියෙන් යුත් පොහොර රුපියල් 350/=ට ලබාදීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම.
මේ වනවිට පොහොර සහනාධාරය කප්පාදු කරලා තිබෙනවා. රක්‍ෂණයක් කියලා සෙප්පඩ විජ්ජාවක් කරලා පොහොර මිටියක මිල රුපියල් 150/=කින් වැඩිකරලා තිබෙනවා. පොහොර ප‍්‍රමාණය 30%කින් අඩුකරලා තිබෙනවා. මුදල් ගෙවූ ගොවීන්ට නියමිත ප‍්‍රමාණයට පොහොර ලැබුනේ නැහැ. වෙළඳපොලෙත් නැහැ. එනිසා අපි ආණ්ඩුවට බල කරන්නේ අවශ්‍ය පොහොර ප‍්‍රමාණයත් වස විස නැති ප‍්‍රමිතියෙන් ඉහළ පොහොරත් ලබාදෙන්න කියලා. එමෙන්ම ප්‍රොඩාකාරී පොහොර රක්‍ෂණය ඉවත් කර ගොවියාට කැමති නම් සම්බන්ධ වීමට හැකි විජ්ජාවෙන් තොර ගොවි රක්‍ෂණයක් හඳුන්වා දෙන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.
ආණ්ඩුව පත්තරවල දැන්වීම් දාලා 2014 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අපි දැන් ගොවි ජනතාවට වැදගත් වන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේවා ඉතාම සාධාරණ ගොවීන්ට බලපාන ගැටලු සඳහා විසඳුම් බලාපොරාත්තුවෙන් ඉදිරිපත් කළ යෝජනා. සියලුම ගොවි සංවිධානවල නායකයින්ගේ යෝජනා අදහස් අනුව තමයි මෙම යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපේ මේ කි‍්‍රයාවලිය මෙතැනින් නවත්වන්නේ නැහැ. ගොවි බිම්වලට යනවා. මුදල් අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් බලාපොරාත්තුවෙන් ඉන්නවා. නමුත් කණගාටුවට කරුණ පහුගිය කාලයේ අපේ ලියුම් ලැබුණා කියලාවත් මුදල් අමාත්‍යාංශයෙන් උත්තරයක් ලැබුණේ නැහැ. ගොවියාගේ කර මතින් බලයට ආපු කුරහන් සාටකය කරේ දාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිතිවරයාගෙන් ඉල්ලනවා මේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරන්න කියලා.
පහුගිය කාලයේ අපි සියලුම ගොවි සංගම් කැඳවලා රැස්වීම් පැවැත්වුවා. සාකච්ඡා කළා. සියලුම් ගොවි සංවිධාන ඒකාබද්ධ කළා. අනුරාධපුර, පොළොන්නරුව ඇතුලු ගොවි ප‍්‍රදේශවල සියලුම ගොවි නායකයින් එකතු කර සාකච්ඡා පැවැත්වීමට බලාපොරාත්තු වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ සැප්තැම්බර් 30 වන තෙක් මෙම යෝජනා මාලාව පිළිබඳව ප‍්‍රතිචාර දැක්වීමට කල් ලබාදෙන බවයි. එසේ නොමැතිනම් සියලුම ගොවි සංවිධාන සමඟ එක්වී සමස්ත ගොවි ප‍්‍රජාවගේ සහයෝගය ඇතිව ආණ්ඩුවට බලපෑම් කරලා උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග වෙත එළඹෙනවා."
මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප ලේකම් ටී.බී. සරත්, විධායක සභිකයින්වන සුසන්ත කුමාර නවරත්න, සුනිල් රත්නායක සහ ජයසේන දිසානායක ගොවි මහත්වරුන් සහභාගී වූහ.

No comments:

Post a Comment