විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් විසින් තම පවුල්වල සාමාජිකයන් වෙත එවන ලද භාණ්ඩ ඇසුරුම් පෙට්ටි (බහාලුම්) අතුරුදන් වීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබේ.විදෙස් රටවල සිටින ශ්‍රමිකයන් විසින් ඔවුන්ගේ පවුල්වල අයට එවන ලද බහාලුම් මෙලෙස අතුරුදන් වී ඇති අතර මෙවැනි පැමිණිලි 20 කට අධික ප්‍රමාණයක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබි ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.
මෙම බහාලුම් අතුරුදන්වීම ඒවා මෙරටට ගෙන්වන ලද ඇතැම් කාගෝ ආයතන තුළදී ම සිදුවී ඇති බවත් ඇතැම් අතුරුදන් වීම් සඳහා එම ආයතනවල සේවකයන් පවා සම්බන්ධ වී ඇති බවත් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.මෙම ජාවාරමේදී වැඩියෙන්ම අසාධාරණයට ලක් වී ඇත්තේ ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් බව පොලිසිය සඳහන් කරයි. එක් පුද්ගලයකුගේ බහාලුම් 03 ක් අතුරුදන් වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් ඉදිරි දිනවලදී මෙම ආයතනවල පුද්ගලයන් කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා පරීක්ෂණ සිදු කරන බවත් බොහෝ විට එහි ආරම්භය අද (12) දිනයේ සිදුවිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘රිවිර’ ට පැවසීය.මෙම මහා පරිමාණ ජාවාරම තුළ සිටින සංවිධානාත්මක පිරිස හඳුනාගෙන ඇති නිසා ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය සඳහන් කළේය.මෙහි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට මහතා යටතේ සිදු කරනු ලබයි.
ගයාන් ගාල්ලගේ
No comments:
Post a Comment