Sunday, 11 August 2013

පළාත් සභා ඡන්දය --- ශ්‍රීලනිප අපේක්ෂකයන්ට එරෙහිව පැමිණිලි රැසක්


උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරන සිය අපේක්ෂකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් සම්බන්ධයෙන් බැවින් එය පක්ෂයේ මෙන්ම රජයේ ගෞරවයට හානියක් බව එහි ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයින්ට දැඩි අවවාද කරමින් එහි මහ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ ලිපි යවා තිබිණි. එමෙන්ම මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලය නිකුත් කළ ආචාරධර්ම පද්ධතිය ද මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම අපේක්ෂකයින්ට යවා තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයින් නීතියෙන් වැරදිකරුවකු වුවහොත් දෙන දඬුවම්වලට අමතරව වසර 05 ක කාලයක් යම් පළාත් සභාවකට පත්වීමට හෝ එම ධුරයේ අසුන් ගැනීමට හෝ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බව පළාත් සභා මැතිවරණ ආඥා පනතේ 91 වගන්තියෙහි සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල මෙම නීති රීති පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥයින්ගෙන් කරුණු පැහැදිලි කරගනිමින් සිටින බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
 කමණි හෙට්ටිආරච්චි

No comments:

Post a Comment