Saturday, 24 July 2021

කවුද මේ ජෝසප් ස්ටාලින්

 ජෝසප් ගැන නොදන්නා අයට.......

මම ගුරුවරයෙකු ලෙස පත්වීම භාරගත්තේ 1993දීය.  ඒ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවකට මායිම් ගම්මානයක් වන සියඹලාගස්වැව අශෝක විදුහලයි. පළමු දවසේ රුපියල් දහයක් දී විලච්චිය බසයෙන් බැස තන්තිරිමලේ හන්දියෙන් තොරතුරු විමසන විට කෙනෙකු කීවේ මේ විදුහල තවත් කැලෑව ඇතුළත කොටි ත්‍රස්තයන් ඇති මායිම් ගම්මානයේ ආසන්නයේ ඇති බවයි. එතනදී මට අපූරු මිනිසකු හමුවිය ඔහු ස්ටාලින්ය. ඔහු ගුරුවරයකු බව මම නොදනිමි .මා සමග සුහදව කථා කළේය. තන්තිරිමලය දෙසට යාමට වාහන නැත.ට්‍රේලරයක් නැති ට්‍රැක්ටරයක් ආවේය. ජෝසා මට "වරෙන් මේකෙ නැගපන් "කීවේය. මඩ් ගාඩ් එක අල්ලාගෙන අපි දෙන්නා කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගොස් "දැන් බැහැපන්" ජෝසා කීවේ වන්නිහැලඹ  විදුහල ටයි .ඊළඟට "උබ කාලද" ඉන්නේ කියා මාගෙන් ඇසුවේය .ඔහු තම දිවා ආහාරය මට ලබා දී මේක කාපං කීවේ ය.ත්‍රස්ත බියෙන් වෙළුණ නොදන්නා පළාතක ඔහු මට දෙවිකෙනෙක් වීය .මේ පෙරවදන මා ප්‍රකාශ කළේ මේ දිනවල නොදරුවන් පිරිසක් ඔහු ගැන කතා කරන නිසාය .ජෝසා මා සමග වෘත්තීය සමිතියෙ නායකයෙකුට වඩා වසර 27 කට වැඩි මිත්‍රත්වයක් ඇත. ඔහු අමුතු මිනිසෙකි. නිතරම කළේ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමයි .හවසට මම විදුහල ලගින් යන විට ජෝසාගේ කටහඩ මහ ඉහළින් ඇසේ.ඒ හඬ ගමේ අහිංසක දරුවන්ට අකුරු ඉගැන්වීමයි.  ඔහු හවසට දරුවන්ගේ ගෙවල් වලට ගියා. දුෂ්කරතා ඇති දරුවන්ට අවශ්‍ය දේ තමන්ගේ වියදමින් අරන් දුන්නා .ජෝසාගේ කටහඩ ඇහෙන විට දරුවන් පැල්පත් නිවාස වල සිට ඔහුට ඇසෙන ලෙස පෙළ පොත මහ හයියෙන් කියවන්න ගන්නවා .ඔහුට උස් පහත් භේදයක් නැත හැම ගුරුවරයකුට උදව් කලා මුදල් නැති බව දැන ගත්තොත් ඔහුගේ කාඩ් එකයි අංකය යි දෙනවා ගිහින් ඒකෙ තියන සල්ලි ටික ගනින් කියනවා. දවසක් සවස හතට පමණ ජෝසා මට පණිවුඩයක් එවා තිබුනා ඒ භීෂණ සමයයි රාත්‍රියේ තන්තිරිමලය විදුහලේ ගුරුවරුන් ට ඉන්ට අපහසු ප්‍රශ්නයක් ගැන කතා කිරීමටයි.බිල්ලෑව ප්‍රදේශයෙන් මාගේ චැලි බයිසිකල් ඔහු සමග යන විට රාත්‍රී 10 පමණ වුණා .හමුදාවෙන් අප දෙදෙනා නතර කළා අපි කිව්වා තන්තිරිමලේ විමඤ්ඤාන විදුහලට යන්න ඕනෑ කියාය. හමුදාවෙන් කීවා මෙතනින් එහාට ගියොත් දෙන්නගේ ජීවිතයේ පිළිබඳව වගකීම භාර ගැනීමට නොහැකියි කියාය. ජෝසා ගේ පිළිතුර වූයේ කමක් නැහැ අපිට යන්ඩ ඕනෑ කියා ය. ජෝසා අන් අයගේ ප්‍රශ්න දෙස බැලුවේ  ජිවිතේ දෙවැනි කොටය.තවත් දවසක මා වන්නිහැලඹෑව විදුහලට  යනවිට විදුහලේ ප්‍රධාන ශාලාවෙහි නිවාඩු දිනයෙක ළමා ඩෙස් අතුරා ජෝසා නිදාගෙන පොතක් කියවනවා මා දුටුවා. මා විදුහලට ගොඩ වී ඇයි මේ එළියෙ නිදාගෙන කියා අසන විට ඔහු මට කීවේ "මචං අලුතෙන් ගුරුවරියන් දෙදෙනෙක් ආවා .උන්ට ඉන්න තැනක් නෑ ඒ නිසා මාගේ කාමරය උන්ට දීලා මම මේ එළියට ආවා" කියාය .මේ උතුම් පුද්ගලයා මට දුන්න පිළිතුර වුයේ එයයි .මට ඔහු ගැන පොතක් ලිවිය හැකිය.ඒ ඔහු සද්භාවයෙන් කළ උතුම් ක්‍රියා ගැන ය. ඔහුට මුදල් අවශ්‍ය නැත .ඔහුට යාන වාහන අවශ්‍ය නැත. ලොකු මන්දිර අවශ්‍ය නැත. ඔහුට ඕනෑ වූ යේ අසාධාරණයන්ට වංචාවට උත්තර දීම පමණි. මේ සටහන පළ කළේ මේ දිනවල ජෝසාගේ ඉතිහාසය ගැන කතා කියන නො දරුවන්ගේ දැනගැනීම සඳහාය .

        -මම අජිත් හේරත් මහනුවරින්


No comments:

Post a Comment