Saturday 16 January 2021

රන්ජන් වෙනුවෙන් චන්ද්‍රිකා පෙරමුණට


 මා හිතවත් රන්ජන්,

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

“වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදීව තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

මීට,

හිතවත්,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Monday 11 January 2021

රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී පරස්පර කථා කිම නවත්වන්න - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා


 2021.01.07

මෛත්‍රීපාල සිරිසේන මහතා

සභාපති,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

301, ටී.බී. ජයා මාවත,

කොළඹ 10.


සභාපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මා ඉවත්කර හෝ ඉවත්වී නොමැති බව දැන්වීම.

පසුගිය සතියේ ඔබ විසින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පවත්වා ඇති සාකච්ඡාව හා බැදේ.

උක්ත සාකච්ඡාවේදී ඔබ විසින් සිදුකර ඇති, හිටපු රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයන් දැක මම පුදුමයට පත් වීමි.

එහිදී ඔබ විසින් පවසා ඇති බොහෝ කරුණු පිළිබඳ බොහෝ දේ කීමට ඇතත්, ඒවා පසෙක තබා, ඔබ මා පිළිබඳව පවසා ඇති බොරු පිළිබඳව අපේ ආදරණීය පාක්‍ෂිකයින් සහ රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් බව සිතමි.

1) “ ඇය තවදුරටත් පක්‍ෂයේ නැහැ” යැයි ඔබ පවසයි. එසේ වීමට නම් එක්කෝ මා පක්‍ෂයෙන් ඉල්ලා අස්වී තිබිය යුතුය. නො එසේ නම් පක්‍ෂය විසින් මා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදු වී නැත. එහෙයින් ඔබේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වේ.

පක්‍ෂය ආරම්භයේ සිට වැඩිම කාලයක් එක දිගට පක්‍ෂ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබ පක්‍ෂ ව්‍යවස්ථාව පිළිබඳව නොදැන සිටින බව රටට පෙන්වීම කණගාටුවට කරුණකි.

මේ වන විටත් මා නිල බලයෙන්ම පක්‍ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ පහත සඳහන් කෙරෙන වගන්තිවලින් ඉතා හොඳින් පැහැදිලි වන බව ඔබට දන්වමි.

(අ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ (VIII) උපවගන්තිය මෙසේය.

 “ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය දරණ යම් සාමාජිකයකු පක්‍ෂයේ සභාපති තනතුර හෝ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හෝ අගමැති තනතුර දරන ලද්දේ නම් හෝ දරනු ලබන්නේ නම් හෝ ඔහු / ඇය විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය.”

(ආ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ (01) I අනුවගන්තිය මෙසේය.

“ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශවයක් වන සන්ධාගත වූ දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුරකාලය අවසන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයකු වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරුන් හෝ නිල බලයෙන්ම අනුශාසක ධුරයට හෝ ධුරයන්ට පත්වේ.”

2) 2019 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී මා පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට එක්වූ බවක් ඔබ පවසයි. මා සහභාගී වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් විසින්, 2019 නොවැම්බර් 05 වන දින සුගදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමුළුවකට මිස, සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ වෙනත් ජනාධිපතිවරණ අපේක්‍ෂයෙකුගේ හෝ රැස්වීමකට නොවේ.

එහීදී මා අවධාරණය කළේ වෙනත් කිසිදු අපේක්‍ෂකයෙකුට සහය දෙනු වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර, ඒ වන විට දුර්වලව තිබූ පක්‍ෂය, ඒ මැතිවරණ ව්‍යාපාරය හරහා නැවත ශක්තිමත්ව ගොඩ නැගීමේ වැදගත්කමයි.

ඔබලා හොර රහසේ පොහොට්ටුව සමග අත්සන් තැබූ ගිවිසුමෙන් පක්‍ෂයට වන හානිය පිළිබඳ පාක්‍ෂිකයා දැනුවත් කරමින්, එම ගිවිසුම අනුව මහා මැතිවරණයේදී එක් දිස්ත්‍රික්කයකට එක් අපේක්‍ෂයෙකු බැගින් වත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නාමයෝජනා නොලැබෙන බවත්, අප පක්‍ෂය බරපතල ලෙස විනාශ වන බවත් වැඩිදුරටත් පැහැදිලි කළෙමි.

ඒ හැර එම සමුළුවේ දී කිසිදු අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කළේ නැත. 

අද වන විට පක්‍ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පොහොට්ටු පක්‍ෂයෙන් නිසි තැනක් නොලැබෙන බවට නඟන මැසිවිලි දෙස බලන විට, එදා මා කළ අනතුරු ඇඟවීම සත්‍ය බව සක් සුදක් සේ පැහැදිලි නොවේද?

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්‍ෂිකයන්ගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට බැගෑපත් වෙමින්, ඔබ  අවස්ථා පහකදී සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ගොස්, එතෙක් ආමන්ත්‍රණය කර පරිදිම රනිල් වික්‍රමසිංහ මහතාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අවසර ඉල්ලා, බලය ලබා ගත් පසු ඔහුට අසභ්‍ය ලෙස බනින්නට පටන් ගත් ආකාරයට කටයුතු කරන තත්වයට මා කිසි දිනෙක ඇද වැටී නැත. 

3) මා පක්‍ෂයේ ස්ථාවරයට එරෙහි වූ බවක්ද ඔබ පවසා තිබේ. ශ්‍රී.ල.නි.පක්‍ෂයේ හරය සහ ආත්මය ද විනාශ කරමින්, දූෂිත හා මිනිමරු පාලනයක් මේ රටේ තහවුරු කළ රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට ඔබ ඉදිරිපත් වූ අවස්ථාවේ, හොරෙක්, මීනිමරුවෙක් යැයි ඔබ ම ප්‍රසිද්ධියේ චෝදනා කළ පුද්ගලයාව, ඊට වසර තුනකට පසු 2018 ඔක්තෝබරයේ දී නීතිවිරෝධි සහ අත්තනොමතික ලෙස හොර රහසේම රටේ අගමැති පදවියට පත් කිරීමට ඔබ ක්‍රියා කළේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව, පක්‍ෂයේ ස්ථාවරයට එකඟව දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. 

තම පෞද්ගලික බල තණ්හාව නිසාම සිදුකළ එම ක්‍රියාවෙන් ඔබ අපේ ආදරණීය පක්‍ෂය කනත්තටම රැගෙන ගියේය. අද අපේ පක්‍ෂය මේ තරම් පිරිහීමට පත්ව ඇත්තේ ඔබගේ රාජ්‍යතාන්ත්‍රික නොවන එවන් තීරණ නිසා බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රටවැසියෝම දනිති.

 ඔබගේ ඒ අත්තනෝමතික ක්‍රියාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන්ම එය කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. යන්තමින් හෝ ශීලාචාරකම තිබුණේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව සමගම ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

එසේ වූයේ නම් අහිංසකයින් සිය ගණනකට ජීවිත අහිමි කළ පාස්කු ප්‍රහාරයද සිදු නොවනු ඇති බව අපගේ හැඟීමයි. මක්නිසාද, ඔබ වැනි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නැති අයෙකු හැර වෙනත්  කෙනෙකු ඒ වන විට ජනාධිපති පදවියේ සිටියේ නම් බුද්ධි අංශ මඟින් ලැබී තිබූ තොරතුරු  අනුව මේ මහා ජාතික ඛේදවාචකය වළක්වාලීමට හැකිවනු ඇත.

 මේ වන විට ඔබ පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී, රාජ්‍ය නායකත්වයේ රැඳුණු ඔබ, පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඔබගේ දීන ස්වභාවය මැනවින් හෙළි වේ. 

පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 II (අ) යටතේ ඔබ නිල බලයෙන් පක්‍ෂ සභපති ධුරයට පත්ව ඇත. එකී නිල බලය අහෝසි වූ විට ක්‍රියාත්මක විය යුතු ව්‍යවස්ථාවේ II (ඈ) වගන්තිය උල්ලංඝනය කරමින් ඔබ අද බලයේ රැදී සිටියි. 12 II (ඈ) වගන්තිය ඔබට අමතක වී ඇත්නම් පහත උපුටා දක්වමි.

“ ඉහත කී 12 II (ඈ) වගන්තිය යටතේ නිල බලයෙන් සභාපති ධුරයට පත්නොවූ අවස්ථාවකදී   විධායක සභාව විසින් පක්‍ෂයේ සභාපතිවරයා තෝරා පත්කර ගත යුතුය.”

තත්වය මෙසේ තිබියදී ඔබ මා පක්‍ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන බවට නන් දෙඩවීම ශ්‍රී.ල.නි.ප. නායකයෙකුට තරම් වේද? මා එසේ කර ඇත්නම් පක්‍ෂ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු විනා, තැන් තැන්වල නන් දෙඩවීම වැදගත් පක්‍ෂයක නායකයෙකුට තරම් නොවේ.


 අනාරාධිතව වුවද පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහාභාගීවීමට නීත්‍යානුකූලව හැකිවුවත්, මා එම රැස්වීම්වලට සහභාගී නොවූයේ පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරමින් ඔබ දුර්වල කරන ලද පක්‍ෂය තවතවත් දුර්වල කිරීමට ඇති අකමැත්ත නිසා පමණි. 

මට කැබිනට් මණ්ඩල රැස්වීම් වලදීම ඉතා පහත් අන්දමින් අපහාස කළ එස්.බී දිසානායක, බන්දුල ගුණවර්ධන, රවි කරුණානායක වැන්නවුන්  සිටි එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් රැස්වීම්වල සතිපතා දිරියෙන් සහ ශක්තිමත්ව මුලසුන දරමින්, යළිත් වතාවක් අප පක්‍ෂය බලයට ගෙන ඒමට තනිවම මහා සටනක් දියත් කළ නිසා පමණක්, ඔබ සියලු දෙනාට යළිත් වරක් බලය ලබාගෙන විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකි වූ බව ඔබට අමතක වුවත් අප පාක්‍ෂිකයන් අමතක කර නැත. 

මා ශ්‍රී.ල.නි.ප යට එරෙහිව කටයුතු කරනවා යැයි පවසන ඔබට පහත කරුණු අමතක වී නැතැයි විශ්වාස කරමි. පක්‍ෂ ඉතිහාසයේ හතර වතාවක් අන්ත පරාජයට පත්ව තිබූ ශ්‍රී.ල.නි.ප ය ගොඩ ගැනීමට මා ඉටු කළ මෙහෙය මෙසේය :-



1. 1977 දිණකර පුවත්පත ආරම්භ කර, අන්ත පරාජයට පත්ව තිබූ පක්ෂය ශක්තිමත් කිරීම.



2. 1981 ටකරං සමුළුව හරහා මැතිනිය පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා, පක්‍ෂය දිය 

          කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම.


3. වසර 17 කට පසු මා අතිශය කැපවීම් කර, 1994 දී පක්‍ෂයට රාජ්‍ය බලය ලබා දීම.


4. 2015 දී පක්‍ෂයේ වටිනා ප්‍රතිපත්ති රැක ගැනීම වෙනුවෙන් පක්‍ෂ මහා ලේකම්වරයා     

  ජනාධිපති කරවා, පක්‍ෂය යලි නඟා සිටුවීමේ කාර්යය ඔහුට භාර කිරීම.


එසේ කළ මට, ඔබ සහ ඔබ අතවැසි ලේකම්වරයා කුමන කෙනෙහිලිකම් කළත් පක්‍ෂ අනුශාසකවරිය ලෙස අවශ්‍ය නම් ඒවාට සහාභාගීවිය හැකි බවද සිහිපත් කරමි.

මේ වන විට ඔබ, පක්‍ෂයට ආදරය කරන සැබෑ පාක්‍ෂිකයින් පක්‍ෂයෙන් ඈත් කරමින් විවිධ වරදාන හෝ වරප්‍රසාද වලට නව සංවිධායකවරුන් පත් කරමින් පක්‍ෂය, වල පල්ලටම ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව බොහෝ පාක්‍ෂිකයෝ මා සමග පවසති.

ඔබේ වැඩපිළිවෙළ ගැන, ඔබේ ප්‍රතිපත්ති ගැන, ඔබේ ක්‍රියාකාරකම් ගැන කීමට බොහෝ දේ ඇතත්, ඒවා පසුවට තබමි. අහිංසක පාක්‍ෂිකයින් රවටමින් දිනෙන් දින පක්‍ෂය විනාශ කිරීම වහාම නතර කර පක්‍ෂයට සහ පාක්‍ෂිකයනට සැබෑ ලෙස ආදරය කරන අලුත් කණ්ඩායමකට පක්‍ෂය ඉදිරියට ගෙනයාමට ඉඩ ලබාදෙමින් වහාම පක්‍ෂයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් අප ආදරණීය පාක්‍ෂිකයින්ගේ නාමයෙන් ඉල්ලමි.

ස්තුතියි,

මෙයට

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,

අනුශාසිකා, 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

ශ්‍රී ලංකාවේ සිව් වන විධායක ජනාධිපතිනි.

Saturday 2 January 2021

දුමින්ද සිල්වා නිදහස් කරන දවස

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට (ආර්. දුමින්ද සිල්වා) යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපති කොමිසමක් විසින් ජනාධිපතිවරයාට නිර්දේශකර ඇත. 

 එසේ නිර්දේශකර ඇත්තේ, දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.  දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබු බව ද එම කොමිෂන් සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.  

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු මෙම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි මස 09 වනදාය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පවරා තිබිණ. ඒ අනුව දීර්ග විමර්ශනයකින් අනතුරුව ඊට අදාල අවසන් වාර්තාව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණ.

එම කොමිසම වෙත දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසින් ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සම්බන්ධයෙන් ද කොමිසම විසින් තීන්දු හා තීරණ කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිර්දේශකර ඇත. දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍යා බව කොමිෂන් සභාව නිර්දේශකර ඇත.  එසේම, පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදි වලට සහ දුෂණය කිරීමේ වරද හා පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ වරදට පොලිස් විනය නීති යටතේ චෝදනා පත්‍රයක් ගොනුකර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවිය යුතු බවට ද කොමිසම නිර්දේශකර තිබේ. 

Friday 1 January 2021

චන්ද්‍රිකා බණ්ඩාරනායක හා කුමාර වෙල්ගම ජනවාරි 1 ගත් වැදගත් තින්දුව

 


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා  2021 ජනවාරි 1 දින හොරගොල්ල වලව්වෙහි විශේෂ සාකච්ඡාවක් පැවැත් වු බවට වාර්තා වෙයි.එහිදි බණ්ඩාරනායක සමරුවට උපහාරයක් පවත්වා ,ඉදිරියේ පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය සැබැවක් ද නැතිනම් රංගනයක් ද වගත් ,විපක්ෂය පලාත් සභා මැතිවරණය සදහා සුදානම පිළිබඳවත්, රටේ පවතින කෝවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා අප විසින් ගත යුතු ක්‍රියා මාර්ග මොනවද ලෙසත් සාකච්චා කර ඇති බවට වාර්තා වේ.