Saturday 2 January 2021

දුමින්ද සිල්වා නිදහස් කරන දවස

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට (ආර්. දුමින්ද සිල්වා) යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපති කොමිසමක් විසින් ජනාධිපතිවරයාට නිර්දේශකර ඇත. 

 එසේ නිර්දේශකර ඇත්තේ, දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.  දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබු බව ද එම කොමිෂන් සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.  

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු මෙම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි මස 09 වනදාය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පවරා තිබිණ. ඒ අනුව දීර්ග විමර්ශනයකින් අනතුරුව ඊට අදාල අවසන් වාර්තාව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණ.

එම කොමිසම වෙත දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසින් ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සම්බන්ධයෙන් ද කොමිසම විසින් තීන්දු හා තීරණ කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිර්දේශකර ඇත. දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍යා බව කොමිෂන් සභාව නිර්දේශකර ඇත.  එසේම, පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදි වලට සහ දුෂණය කිරීමේ වරද හා පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ වරදට පොලිස් විනය නීති යටතේ චෝදනා පත්‍රයක් ගොනුකර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවිය යුතු බවට ද කොමිසම නිර්දේශකර තිබේ. 

No comments:

Post a Comment