Friday 30 May 2014

වෙබ් අඩවි තහනමට එජාප, ජෙනරාල්, ජේ.වී.පි, ටි.එන.ඒ ,හා වමේ පක්ෂ එක්වේ.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ වෙබ් අඩවියට එම ග්‍රාහකයන්ට පිවිසීම, මෙරට ක්‍රියාත්මක දේශපාලන හා වෙළද අධිකාරියේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අවහිර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම් සභාව වෙත අද (29) පෙත්සමත් භාර දෙන ලදී.
වෙබ් අඩවියෙහි ප්‍රධාන සංස්කාරක වන සුභාෂ් ජයවර්ධනගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ මෙම පෙත්සමින් පවසා සිටියේ තම සංස්කාරකත්වය යටතේ පවතින www.theindependent.lk වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට ලංකාවේ අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර ඇති බවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මෙරට පුරවැසියන් වෙත ලබා දී තිබෙන හාෂණයේ හා ප්‍රකාශනයේ මූලික මිනිස් අයිතිවාසිකම, තමන්ට කැමැති ‍රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම මෙරට පුර වැසියාට තොරතුරු දැන ගැනීම සඳහා බාධාකිරීම සිදුව ඇති බවත් එහි සඳහන් කර තිබේ. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ජනතාවගේ මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා අදාළ අවහිර කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
පැමිණිල්ල භාරදීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය, එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහභාගී වූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද, එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් එහි නායක සිරිතුංග ජයසූරිය ද සහභාගී වී සිටියහ. ඊට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකුද මෙම අවස්ථාවට සහභාගීවිය.

සම්පූර්ණ පැමිණිල්ල



පැමිණිලිකරු

නම - සුභාෂ් වීරතුංග ජයවර්ධන - ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක

ලිපිනය - අංක 820, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ



විත්තිතරුවන් -

01.
නම - ලලිත් වීරතුංග
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

02.
නම - අනූෂ පැල්පිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධක්ෂ ජනරාල්

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

03.
නම - කෙහෙළිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

ලිපිනය - නො: 163, කිරුලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

04.
නම - චරිත හේරත්
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්

ලිපිනය - නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

05.
නම - නිමල් වෙල්ගම
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

06.
නම - ලලිත් ද සිල්වා
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

07.
නම - කපිල චන්ද්‍රෙස්න
මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක

ලිපිනය - නො: 108, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

08.
නම - ආචාර්ය හාන්ස් විජේසූරිය
ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ

ලිපිනය - නො: 475, යූනියන් පෙදෙස, කොළඹ 02.

09.
නම - වේල් සලමන්
එටිසෙලාර්ට් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 109, ගාලු පාර, කොළඹ.

10.
නම - තිරුකුමාර් නඩේසන්
හචිසන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 234, ගාලු පාර, කොළඹ 04.

11.
නම - සුරේන් ගුණවර්ධන
භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - 10 හා 11, බස්නාහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

පැමිණිල්ල

සුභාෂ් වීරතුංග ජයවර්ධන (ජා.හැ.අංක 731500150 V) වන මා ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කරන ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ'' (www.theindependent.lk) වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට මෙරට අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන සියළු ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර තිබේ.

සිංහල දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම නිතිපතා යාවත්කාලීන කරන අප වෙබ් අඩවිය 'ඉන්ඩෙපෙන්ඩෙන්ට් මීඩියා නෙට් වර්ක්ස් පෞද්ගලික සමාගම' විසින් පවත්වාගෙන යනු ලබන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වේ.
මෙලෙස කිසිදු දැනුම් දිමකින් හෝ කරුණු විමසීමකින් තොරව අප වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබීම නිසා අපගේ ග්‍රාහකයන් මෙන්ම අප ආයතනයේ සේවය කරනු ලබන ජනමාධ්‍යවේදින්ද දැඩි අපහසුවකට පත්ව ඇත.
අප වෙබ් අඩවිය ප්‍රවෘත්ති හා කාලීන සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන අතර අප විසින් ඒ සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සහිතව බුද්ධිමය සංවාදයට සුදුසු යැයි කල්පනා කරන තොරතුරු මුදා හරින ලදී.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය ප‍්‍රකාරව මේ රටේ පුරවැසියන්ට හිමිකර දී ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ හා ප‍්‍රකාශනයේ නිදහස අනෙකුත් නිතිමය අණ පනත් වලට යටත්ව නීතියේ සීමාවන් තුළ අපි බුක්ති වින්දෝ වෙමු.
එහෙත් අපගේ වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම නිසා අපගේ මෙම අයිතිවාසිකම් මෙන්ම මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම සඳහා තිබෙන අයිතියද උල්ලංඝනය වී තිබෙන බව අපි කල්පනා කරමු.
එමෙන්ම මෙලෙස කිසිදු පෙර දැනුම් දීමකින් තොරව වෙබ් අඩවියට පිවිසීම වලක්වාලීම සම්බන්ධයෙන් අපට හැ‍ඟෙන්නේ ජනමාධ්‍යවේදීන් වන අපගේ අදහස් දැරීමේ හා එය ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද තර්ජනයක් බවය.
මෙම සන්නිවේදන සමාගම් සියල්ල අපගේ වෙබ් අඩවිය ඇතුලු තවත් පුවත් වෙබ් අඩවි අටක් මේ වන විට වාරණය කිරීමට, එකවිට පියවර ගැනීමට හේතුව ලෙස යම් දේශපාලන අධිකාරියක හෝ රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑමක් හෝ නියෝගයක් අනුව සිදුව ඇතැයි අපට බරපතල සැකයක් ඇත.
ඒ අනුව ශ්‍රි ලංකාව තුළ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එල්ලවී තිබුණු මර්දනයන්ගේ අතීත අත්දැකීම් සලකා බැලුවිට මේ වත්මන් තත්වය අපගේ ජීවිත කෙරෙහි අනතුරුදායක ලෙස බලපැවැත්වීමට පවා ඉඩ කඩක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දෙමු.
මෙම තත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරනුයේ ජනමාධ්‍යවේදීන් වන අපගේත් මේ රට පුරවැසියාගෙත් මූලික මානව හිමිකම් අයිතිය ‍රැක ගැනීම වෙනුවෙනි.
මේ වන විට ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස වගකීම් උසුලන මා 1993 වසරේ සිට ජනමාධ්‍ය වේදියකු ලෙස පුවත්පත් ආයතන කිහිපයක සේවය කර ඇති අතර ජනමාධ්‍ය වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූවෙකි.
2012 වසරේ මැයි මාසයේ සිට 'ශ්‍රී ලංකා එක්ස් නිව්ස්' වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරක වරයා වශයෙන් කටයුතු කළ අතර එම වසරේ ජුනි 29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එම වෙබ් අඩවි කාර්යාලය වටලා මා සමඟ එම වෙබ් අඩවියේ දෙමළ භාෂා සංස්කාරක සිද්ධික් කාරියප්පර් මහතාවද අත් අඩංගුවට ගන්නා ලදී.
එම අවස්ථාවේදී එම කර්යාල පරිශ්‍රයේ පිහිටා තිබු 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ කාර්යාල සහය සේවිකාව ඇතුලු මාධ්‍යවේදීන් 6 දෙනෙකුද අත් අඩංගුවට ගන්නා ලදී

කාර්යාලයේ තිබූ පරිගණක 09ක් හා ලිපිගොනු කිහිපයක්ද අත් අඩංගුවට ගන්නා ලදී.

කාර්යාල කාර්ය සහායිකාව එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 08 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග‍‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක් කළේ යැයි පවසමිනි.

කෙසේවුවද දණ්ඩ නීති සංග‍‍්‍රහයේ 118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒ වන විට අහෝසි කර තිබිනි.

එලෙස අත්අඩංගුවට ගැණුනු 'ශී‍්‍ර ලංකා මිරර්' හා 'ශී‍්‍ර ලංකා එක්ස් නිවුස්' මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප මාධ්‍යවේදීන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවදුරටත් එල්ලවූ බලපෑම් හමුවේ එම වෙබ් අඩවිය පවත්වගෙන යෑම අත් හි‍ටුවීමට සිදුවිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.
ඉන් පසුව 2013 වසරේ ජනවාරී මාස 9 වන දින ආරම්භ කළ ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වරයා ලෙස සේවයට බැදුන්නෙමි.

වෙබ් අඩවි ලියා පදිංචිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කර තිබූ දැන්වීම අනුව ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියද ලියාපදිංචි කිරීම සඳහා අදාල ඉල්ලුම් පත්‍රය එම වසරේ මාර්තු මාසයේදී අප විසින්ද එම අමාත්‍යාංශයට භාර දෙන ලදී.
ඉන් පසුව අමාත්‍යංශ්‍ය වෙබ් අඩවි ලියා පදිංචිය සලකා බැලීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීය. අප වෙබ් අඩවිය පරික්ෂා කර බැලු අමත්‍යංශ අතිරේක ලේකම් වරයා ප්‍රමුඛ නිලධාරීන් වෙබ් අඩවිය ලියාපදිංචියට සුදුසු බවත් අදාල මුදල් ගෙවීම සඳහා දිනයක් දන්වන බවත් වාචිකව දැනුම් දුන් නමුත් මේ වන තුරු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

ශ්‍රී ලංකාව තුල බලපවත්වන නීති රෙගුලාසී හා පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට අනුකූලව අප ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට අප නිරන්තරයෙන් උත්සුක වූ අතර අප සාමාජිකත්වය දරන වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ පිලිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියට එකඟව මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමටද අප කටයුතු කළෙමු.
අප වෙබ් අඩවියෙහි අන් අයෙක් නොඉවසන යමක්, අසත්‍යක්, අසාධාරණ ප්‍රකාශයක් වැරදි කරුණක් වාර්තා කළේ නම් ඊට පිළිතුරු බැඳීමේ අයිතිය එම අගතියට පත්වූවන් වෙත ලබා දුන් අතර ඒ අනුව අපි කටයුතු කළ අවස්ථාද ඕනෑ තරම් තිබේ.

එහෙත් එම අවස්ථාවන් මඟ හැර කිසිවකු හෝ අප වෙබ් අඩවියට එරෙහිව කළ අකටයුත්තක් ලෙස මෙම වාරණය සිදුව තිබෙන බව නැවත පවසන අතර. මෙමගින් අපගේ මෙන්ම මේ රටේ බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදලින් රජය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඇති සාධාරණ අයිතිය ද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිස්ම මැදිහත්ව සාධාරණ නිගමනයක ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.



මීට විශ්වාසී



සුභාෂ් ජයවර්ධන

ප්‍රධාන සංස්කාරක
ද ඉන්ඩෙපෙන්ඩෙන්ට්

No comments:

Post a Comment