Monday 30 May 2022

ලංකාවට උපදෙස් දෙන්න මිලියන 5.6 ගෙවීමක්

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික
අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන ආකාරයට එම ආයතනය විසින් පසුගිය වසර හතක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) එහි ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව හත් වතාවක් පහළට හෙළා ඇති බවයි. මෙහි ඇති විශේෂත්වය නම් එලෙස පහත වැටුණු අවස්ථාවලින් 5ක්ම 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු කර තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් සියල්ලම ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම බරපතල ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව හැර මෙරට පිහිටට සිටින එකම පාර්ශවය බවට පත්ව ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලයි. IMF සමග අවසාන වශයෙන් පසුගිය මැයි 12 වැනිදා නව මුදල් ඇමතිවරයා ලෙස පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා මේසයට වාඩි වූ අතර ඊට පසු දින එහි ප්‍රගති වාර්තාව කරමින් ඒ මහතා බ්ලුම්බර්ග් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේ කරන ලද්දේ එළඹෙන ජූනි මාසය මැද වන විට IMF වෙතින් ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඊට හේතුව එදිනම ඉන්දියාවේ NDTV ආයතනයට අදහස් දක්වමින් IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝරිජියෝවා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිලිබදව පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු පමණක් ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ IMF සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන අවස්ථාවේදී ද බලාපොරොත්තු වූයේ පවතින ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ඉතාම කෙටි කාලයක් ඇතුළත IMF විසින් ඩොලර් මිලියන 1000කට ආසන්න ‘වේගවත් ණය පහසුකමක්’ (RCF) මෙරටට ලබාගත හැකි වනු ඇති බවයි. එහෙත් IMF කොන්දේසි විසින් ආරම්භයේ දී ම එම අපේක්ෂාව බිද දමනු ලැබුවා. ඇත්තෙන්ම ඊට බලපා ඇති ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම විදේශීය පාර්ශවය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනුමැතිය ලබා නොදීමයි. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් 12%කට වඩා වැඩි කොටසකට හිමිකම් කියන්නේ චීනයයි. මෙහිදී සිය ණය ගෙවීම් කල් දමමින් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය අනිවාර්යයෙන් එකග විය යුතු බවයි. මෙලෙස චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙස මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍යවරයාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළ නමුත් හෙතෙම ඊට එකගතාවයක් දක්වනු ලැබුවේ නැහැ. කෙසේවෙතත් ශ්‍ර්‍රී ලංකාව අපේක්ෂා කරන තරම් ඉක්මණින් IMF වෙතින් සහය නොලැබෙන බව නොරහසක්. මේ වන විට IMF ණය වැඩසටහනට අවශ්‍ය වැදගත්ම කොන්දේසිය සපිරීමේ කාර්‍යභාරයද ශ්‍රී ලංකාව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ සිය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය බලයලත් විදේශීය ආයතන දෙකක් තෝරා ගැනීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්ව තිබූ අයදුම්පත් 51 අතුරින් අන්තර්ජාතික මූල්‍ය උපදේශක සේවාව වෙනුවෙන් ප්‍රංශයේ M/s Lazard ආයතනයද, නීති උපදේශක සේවාව සඳහා M/s Cliford Chance LLP ආයතනයද තෝරා ගෙන තිබෙනවා. අදාළ කාර්‍යභාරය වෙනුවෙන් මෙම උපදේශන සමාගම් වෙනුවෙන් ගෙවීමට නියමිත ගාස්තුව ඩොලර් මිලියන 5.6ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සමාගම් විසින් සිදු කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු සමාගම්, පුද්ගලයන් සහ රටවල් ණය වෙනුවෙන්, අඩු පොලී අනුපාත සාකච්ඡාව කිරීම වැනි ඔවුන්ගේ පවතින ණය පැහැර හැරීමේ අවදානම වළක්වා ගැනීම සදහා භාවිතා කරන ක්‍රියාවලියයි. Clifford Chance යනු ඒ වෙනුවෙන් ලොව සිටින ඉහළම පෙළේ නීති උපදේශකයකු වන අතර එය ලොව ප්‍රධාන උපදේශන සමාගම් 100 අතර 10 වැනි ස්ථානයේ පසුවන්නකි. ලොව විශාලතම ස්වාධීන ආයෝජන බැංකුව වන Lazard ආයතනය මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ රටවල් 25ක් පුරා නගර 40කට වඩා ගණන් එක ක්‍රියාත්මක ශතක එක හමාරකට වඩා වැඩි අත්දැකීම් සහිත මූල්‍ය උපදේශකයෙකි. ඒ අනුව බැලූ බැල්මටම ශ්‍රී ලංකාව තමන් විසින් ගෙවීමට සූදානම් වන විශාල පිරිවැයට සරිලන උපදේශන සමාගම් දෙකක් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් තෝරාගෙන ඇති අතර දැන් කළ යුතුව ඇත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය කෙරෙන සියලුම පහසුකම් අදාල ආයතන වෙත ලබා දෙමින් ක්‍රියාවලිය මනාව සම්බන්ධීකරණය කිරීමයි.

No comments:

Post a Comment