Tuesday 23 July 2013

විදේශීය ක්‍රීඩකයන් 54 දෙනකු මෙවර කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා

සත් සාමාජික රග්බි පිටියේ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ඇමෙරිකාවේ කාලින් අයිල්ස් ඇතුළු විදේශීය ක්‍රීඩකයන් 54 දෙනකු මෙවර කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා එක්ව සිටිති.
මෙවර තරගාවලිය නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් අතරට විශේෂ ක්‍රීඩකයකු ලෙස එක්වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රගර් පි‍ලේ පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික බෙන් ගෝලිංස් ක්‍රීඩකයකු ලෙස තරගාවලියට එක්වීම කැපී පෙනෙන සිදුවීමකි. ලොව සත් සාමාජික තරග ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කළ බෙන් ගෝලිංස්, ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිලට එක්ව සිටී.
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා මෙවර නවසීලන්ත ක්‍රීඩකයන් 17ක්ද, ෆීජි රාජ්‍යයෙන් ක්‍රීඩකයන් 14ක් ද, කෙන්යාවෙන් හා සැමෝවා රාජ්‍යයෙන් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ද කෙන්යාවෙන් ක්‍රීඩකයන් 5 දෙනකුද, ඇමෙරිකාවෙන් ක්‍රීඩකයන් 4 ක් ද, ටොන්ගා රාජ්‍යයෙන් ක්‍රීඩකයන් 3 ක් ද, බ්‍රිතාන්‍යයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද එක්ව සිටී. ස්පාඤ්ඤයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයකු බැගින් ද විදේශීය ක්‍රීඩකයන් 54 දෙනාට එක්ව සිටී.
පසුගිය වරට වඩා මෙවර විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය වැඩිවීම කැපී පෙනෙන සිදුවීමකි. රුසියාවේ මොස්කව්හි නිමවූ සත් සාමාජික රග්බි ලෝක ශූරතාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් කෙන්යානු පි‍ලේ ප්‍රබල ක්‍රීඩකයන් 5 දෙනකු සජිත් සාරංගගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට එක්ව සිටින අතර ලොව වේගවත්ම සත් සාමාජික රග්බි ක්‍රීඩකයාවූ ඇමෙරිකාවේ කාලින් අයිල්ස්, රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සබරගමු ස්ටැලියන්ස් පිල නියෝජනය කරයි. වේගවත් සත් සාමාජික ක්‍රීඩකයන් අතර ලොව සුප්‍රසිද්ධ කෙන්යානු ක්‍රීඩක කොලින්ස් ඉන්ජේරා එක්ව සිටින්නේ ද ජැෆ්නා චැලෙන්ජස් පිලටය.
ඌව වයිපර්ස් පිලට පසුගිය වර ක්‍රීඩා කළ නවසීලන්ත සත් සාමාජික පි‍ලේ හිටපු නායක ඩී. ජේ. ෆෝබස් මෙවර ද ඌව වයිපර්ස් පිලට එක්ව සිටී
ස්පාඤ්ඤ සත් සාමාජික රග්බි පි‍ලේ නායක ඉග්නාසියෝ මාටින් ෆීජි රාජ්‍යය නියෝජනය කරන ලොව වේගවත්ම උත්සාහක දිනුම් වාර්තා කරන ක්‍රීඩකයකු වූ අලිපේට් රයිට්නි මෙන්ම එම කණ්ඩායමේ සැම්සෝනි විරිවිරි මෙවර තරගාවලියට එක්වීම කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලි අතර ඉදිරියට පැමිණීමකි. ෆීජි කණ්ඩායමේ හිටපු නායක ස්ටෙෆානෝ කැකෝනිවලු මෙවර තරගාවලියට එක්වන්නේ යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් වෙස්ටර්න් වොරියර්ස් පිලටය. කෙන්යානු පි‍ලේ වේගවත්ම ක්‍රීඩක කොලින්ස් ඉන්ජේරා එක්ව සිටින්නේ ජැෆ්නා චැලෙන්ජර්ස් පිලටය.
කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ මෙවර තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ ලෝක  මට්ටමේ ජාත්‍යන්තර පුහුණුකරුවන් පස් දෙනෙකුද මෙවර කණ්ඩායම් පහකට තම සේවය ලබා දීමට එක්වීම ය.
නවසීලන්තයේ ඒඩ්‍රියන් සැමුවෙල් නොදර්න් ග්ලැඩියේටර්ස් පිලට ද විලියම් රිචඩ්ස් නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පිලට ද, පුහුණුකරුවන් ලෙස එක්වෙයි. ශ්‍රී ලංකා ජාතික රග්බි පුහුණුකරු, බ්‍රිතාන්‍ය ජාතික ජිල් ග්‍රිනිත් ඊස්ටර්න් ඊගල්ස් පිලට ද, ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නැවත වරක් මයිකල් ෆ්‍රයිඩේ ද පුහුණුකරුවන් සේ එක්වෙයි. නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් පිලට ෆීජි ජාතික ලිසා තනිවුලා පුහුණකරුගේ භූමිකාව භාරව සිටී.
මෙවර තරගාවලියේ පළමු අදියර දේශීය තරගාවලියක් ලෙසින් නුවරඑළිය හා නාවලපිටියේ පැවැත්වූ අතර, විදේශීය ක්‍රීඩකයන් සහභාගිවන ජාත්‍යන්තර තරගාවලිය වූ දෙවන අදියරේ පළමු තරගාවලිය 27 හා 28 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද අවසන් තරගාවලිය අගෝස්තු 3 හා 4 කොළඹ දී ද පැවැත්වෙයි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වදින අතර, සෑම කණ්ඩායමකටම විදේශීය ක්‍රීඩකයන් ඇතුළත්ව සිටී. අවු. 21 පහළ ක්‍රීඩකයකු සෑම කණ්ඩායමකට එක් කිරීම අනිවාර්ය කර ඇති අතර, දේශීය ජාතික තලයේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ අරමුණින් කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් සංවිධානය කරනු ලබයි.
රොෂාන් අහංගම

No comments:

Post a Comment