Thursday 3 October 2013

දකුණේ දේශපාලකයන් ඥතීන් දේශපාලනයට ගෙන එන්න හදනවා.- ආචාර්ය ගුණදාස අමරසේකර


දකුණේ දේශපාලනඥයින් තමන්ගේ නෑදැයින් සගයින් දේශපාලනයට ගෙන ඒමට දඟලද්දී දෙමළ දේශපාලනඥයින් ඊළමකට අවැසි වට පිටාව සකසා ගනිමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.

දකුණේ උදවිය බාල් නටද්දී මුස්‌ලිම් කොංග්‍රසයත් දෙමළ බෙදුම්වාදය සමග දීගෙක යන තැනට ක්‍රම ක්‍රමයෙන් තල්ලු වෙමින් සිටින බවත් හෙතෙම පැවැසීය.

ජාතික සන්ධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඊයේ (3 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ 7 විඡේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා-

දෙමළ ජාතිවාදය හා අධිරාජ්‍යවාදී බලවේග රට බෙදා වෙන් කිරීමේ දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. දෙමළ ජාතික සංවිධානය උතුරේ ලබාගත් ජනවරම බෙදුම්වාදය වෙනුවෙන් ලබාගත් ජනවරමක්‌ වී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය ස්‌වයං පාලනයක්‌ ඉල්ලනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 177 වැනි වගන්තියට අනුව එය එසේ කළ නොහැකියි. ලබන වසරේ මාර්තු මාසය වන විට රට තුළ ඊළමක්‌ ගොඩනැඟීම කුමන්ත්‍රණකාරීන්ගේ අරමුණයි.

අධිරාජ්‍යවාදීන් මානව හිමිකම් මුල් කර ගනිමින් උතුරේ ටී.එන්.ඒ. සංවිධානය ලබාගත් ජනවරම යොදා ගනිමින්ද ඒ සඳහා කටයුතු කරනවා.

රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ තිබියදී රටේ නායකත්වය විසින් සුරංගනා කතා කියමින් ජනතාව රැවටිය යුතු නැහැ.

රජය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පරාජය කළත් ඒ මතින් පැමිණෙන දේශපාලන ත්‍රස්‌තවාදය තේරුම් ගත්තේ නැහැ. නිදහස්‌ සටනේ දෙවැනි අදියර වහ වහා පටන් නොගතහොත් ඉදිරියේදී විශාල ගැටුමකට යැමට සිදුවේවි.

අපගේ දකුණේ දේශපාලනඥයින් තමන්ගේ අයියලා, මල්ලිලා, නංගිලා, දුවා පුතා දේශපාලනයට ගෙනෙන්න වලි කනකොට උතුරේ දෙමළ දේශපාලනඥයින් ඔවුන්ගේ වෙනම පාලනයකට අවශ්‍ය වටපිටාව සකස්‌ කර ගනිමින් සිටිනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටට හිතවත් නායකයෙක්‌ වුණාට ඔහු සමග සිටින ඇතැම් මැති ඇමැතිවරුන් එසේ නැහැ. බලයට කෑදර නොවී සැවොම රට වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි.

දේශපාලකයන් බලය වෙනුවෙන් ක්‍රියා කළොත් අප රටටත් සුඩානය, නැගෙනහිර ටිමෝරයට සිදුවුණු දේ සිදුවේවි. එවන් තත්ත්වයක්‌ ඇති වීමට කිසිවකු උඩගෙඩි දෙන්න එපා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා- බෙදුම්වාදී න්‍යාය පත්‍රය, යුද අපරාධ න්‍යාය පත්‍රය, පාලනය වෙනස්‌ කිරීමේ න්‍යාය පත්‍රය යන න්‍යාය පත්‍ර තුනක්‌ මේ වන විට අප රටට එරෙහිව ක්‍රියාත්මක වනවා. මෙහි ගැඹුර ආණ්‌ඩුව තවමත් තේරුම්ගෙන නැහැ. මෙම න්‍යාය පත්‍ර තුන එකට සම්බන්ධ වන අවස්‌ථාව වැඩි ඈතක නැහැ.

අප රට ක්‍රියාත්මක කර තිබෙන චීනයෙන් ලබාගෙන ඉන්දියාවට දෙන ප්‍රතිපත්තිය නිසා අප රටට එම රටවල් දෙකම නැගිටීමේ අනතුර දැඩිව මතුව තිබෙනවා. අප චීනයෙන් උදව් ගෙන අපගේ මර්මස්‌ථාන ඉන්දියාවට දීම වැරදි කටයුත්තක්‌. අප චීනය සමග හොඳින් කටයුතු කළ යුතුයි.

No comments:

Post a Comment