Monday 21 December 2020

තයිලන්ත හිමිගේ මරණයේ

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් කෙරෙන මෙරට පොලිස් පරීක්‍ෂණ තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් විසින් නිරීක්‍ෂණය කරනු ලබන බව වාර්තාවේ. 

ජිනවංශ හිමියන් නෙදර්ලන්ත ජාතිකයකු වුවත් ඒ සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසිය කරන පරීක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නෙදර්ලන්ත රජය තායිලන්ත පොලිසියට යොමු කර ඇතැයි විමර්ශන භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට කීවේය. 

ඒ නිසා මෙරට කරන ලද පරීක්‍ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට පොලිස් කණ්ඩායම් අතර සාකච්ඡා පවා පැවැත්වෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය. 

තායිලන්ත පොලිසිය ජිනවංශ හිමියන්ගේ මරණය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය කරන විමර්ශන නිරීක්‍ෂණය (MONITOR) කිරීම භාරදී ඇත්තේ ආසියාතික  රටවල සිදුවන මෙවන් බොහොමයක් අබිරහස් මරණවල නිරීක්‍ෂණ කටයුතු තායිලන්ත පොලිසිය විසින් සිදුකරනු ලබන නිසාය.


මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, තායිලන්ත පොලිස් නිලධාරීන් අප සිදු කරන පරීක්‍ෂණ ‘මොනිටර්’ කරනවා මිස විමර්ශනවලට කිසිදු ඇඟිලි ගැසීමක් හෝ බලපෑමක් සිදු නොකරන බවය. 


කෙසේ වෙතත් ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ද නැතහොත් දිවි නසා ගැනීමක් ද යන්නත් මුල් කරගෙන ශ්‍රී  ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම විමර්ශන කරන බවත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙකු සැකපිට හෝ අත්අඩංගුවට ගෙන නැති බවත් එම නිලධාරියා සඳහන් කළේය. දැනට  බොහොමයක් හෝඩුවාවන් පොලිසිය සතුව ඇති අතර ඒ සෑම හෝඩුවාවක් පසුපසම මෙම පොලිස් කණ්ඩායම් හඹා යන බවත් හෙතෙම කීවේය.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් හතරක් මේ පිළිබඳව විමර්ශන කරති.

No comments:

Post a Comment