Thursday 1 August 2013

අප පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා - මාතර අපි

මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසන බල
මණ්ඩලය පිහිටුවීමේ නියෝජිත සමුළුව අමතමින් මංගල සමරවීර මහතා විසින් කළ දේශනය.

මෙම නියෝජිත සමුළුව එජාප නායක රනිල් වි‍ක්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
පැවැති අතර, එජාප මහලේකම් තිස්ස අත්තනායක, කොළඹ දිස්තික් නායක රවී කරුණානායක,
එජාප යොවුන් සංවිධානයේ නායක රුවන් විජේවර්ධන, බදුල්ල දිස්තික් මන්තී හරීන්
ප්‍රනාන්දු, මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක, එජාප
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද ඊට සහභාගි වී
සිටියේය.

රැස්වීම ඇමතූ මංගල සමරවීර මන්ත්‍රිවරයා මෙසේ සදහන් කළේය.

මීට සති දෙකකට පමණ ඉහත එක්තරා ඉරිදා පුවත්පතක මාධ්‍යවේදියෙකු මා සමග පැවැති
සම්මුඛ සාකච්ඡාවකදී, මම රාජපක්‍ෂ රෙජිමයට ඉතාමත්ම ද්වේෂසහගතව පහර දෙන බවට
රජයේම ප‍්‍රබලයන් චෝදනා කරන බව කියා සිටියා.

ජනතාවගේ දේපළ මංකොල්ල කන, ජනතාවගේ මුදලින් පෝෂණය වන, ජනතාව බොරු රඟපෑම්වලින්
රවට්ටන, රාජපක්‍ෂ පාලනය ගැන සැබෑ ලෙසින්ම මට ද්වේෂයක් ඇති බව මම පිළිගත් අතර,
මම කියා සිටියේ මේ අපරාධ ඉදිරියේ කිසියම් කෙනෙකුට රාජපක්‍ෂ පාලනය ගැන ද්වේෂයක්
නැතිනම්, ඒ ගැන මම පුදුමයට පත්වන බවයි.

මේ වන විට යුද්ධය අවසන් වී වසර 04 කට වැඩි කාලයක් ගෙවී ඇතත්, මේ රටේ ජනතාව
කබලෙන් ලිපට වැටුන ආකාරයටම එදාටත් වඩා ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙමින් සිටිනවා.

වසර 26 ක් තිස්සේ ඇදී ආ කුරිරු යුද්ධය අවසන් වූ විට අපි සියලූ දෙනාම පක්‍ෂ
භේදයෙන් තොරව ඒ ගැන සතුටු වුණා. දැන්වත් අපගේ ආර්ථිකය දියුණු කර ගනිමින්, අපේ
දූදරුවන්ට ඔවුන්ගේ හැකියාවන් අනුව රැකියාවන් ලබාදෙමින්, නිදහස්, ගුණගරුක
සමාජයක ජීවත්වීමේ තිබුණු ප‍්‍රාර්ථනාව මේ වන විට වැල්ලේ ලියන අකුරු මෙන් මැකී
ගොස් තියෙනවා.

අද උතුරේ පමණක් නොවේ, මුළු රට පුරාම හොරකම, මැරකම, ජඩකම රජ කරනවා.

අද කොටි ත‍්‍රස්තවාදය වෙනුවට රාජ්‍යත‍්‍රස්තවාදයෙන් මුළු රටම වෙලාගෙන තියෙනවා.

දිනෙන් දින ආර්ථිකය කඩා වැටෙමින් තිබුණත්, රාජපක්‍ෂ පවුලේ අම්මලා - තාත්තලා,
බාප්පලා - පුතාලා හොඳට පෝෂණය වෙනවා.

යුද්ධය නැති වුණත් අද මේ රටේ තියෙන්නේ දූෂණයි, භීෂණයි, රාජපක්‍ෂ පෝෂණයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අපේ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීතුමා තවත් හොඳ
ගැහිල්ලක් එළිදරව් කළා.

කොළඹ, පිටකොටුවේ ටෙක්නිකල් හන්දියේ ඩොලර් මිලියන 350 ක් (කෝටි 4,550) වටිනා
අක්කර 29 ක ඉඩමක්, රුපියල් 30 ක වටිනාකමක් ඇති කොටස් තුනකින් සමන්විත හොර
සමාගමකට පවරලා.

බුලත්විට කඩයකටවත් වඩා අඩු වත්කමක් ඇති මේ සමාගම පිටිපස්සේ සිටින්නේ වෙන
කවුරුවත් නොවෙයි, ජනාධිපති මන්දිරයේ කළු සල්ලි සුදු කරන ප‍්‍රධාන ලේකම් අප
මාතර දිස්ති‍්‍රක්කයෙන්ම මතු වූ ගාමිණී සෙනරත් මහතාගේ සහෝදරයා වන ලෝලිත
අබේසිංහ නමැත්තායි.

ඒ වගේම කොටුවේ, ට‍්‍රාන්ස් වර්ක් ඉඩම ඉන්දියාවේ කි‍්‍රෂ් සමාගමට දීපු හැටි
දැන් හෙළිදරව් වෙමින් තියෙනවා.

ඒ ඉඩම පැවරීම සඳහා රුපියල් කෝටි 40 ක මුදලක් තමා විසින්ම රජපවුලට සම්බන්ධ අයට
ලබාදුන් බවට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා.

මේ ගැන සාක්‍ෂි තියන බවත් කියනවා. දැන් මේ මුදල බෙදා ගන්න බැරුව බාප්පලා
පුතාලා රණ්ඩු වෙනවලූ.

ඉඩම් මේනියාවක් තියෙන රාජපක්‍ෂ පවුලේ තාත්තලා, බාප්පලා, පුතාලා උතුරෙත්,
දකුණෙත්, නැගෙනහිරත්, බටහිරත් තියෙන වටිනා ඉඩම් සියල්ලම තමන්ට හිතවත් ඉත්තන්ගෙ
නමින් මිලදී ගනිමින්, ඔවුන්ගේ හොර සල්ලි සුදු කරනවා.

මුළු රටම සූදු තිත්පොලක් කරමින්, දිගින් දිගටම මොවුන්ගේ කළු සල්ලි සුදු කරවිම
සඳහා අද මුළු ලංකාවම කැසිනෝ මධ්‍යස්ථානයක් බවට පත් කරලා.

අනිත් පැත්තෙන් මේ අයගේ ගෝලයන්ටත් හොරකම් කරන්න, මැරකම් කරන්න බලපත‍්‍ර
ලබාදීලා.

ගමේ ඉන්න ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයත්, ගමේ හදන කොන්කී‍්‍රට් පාරෙනුත් ගසා
කනවා.

එපමණක් නොවෙයි, අද දේශපාලනව මැරකම වසංගතයක් බවට පත්වෙලා.

රාජ්‍ය උෂ්ණයෙන් පෙළෙන පළාත් සභා මන්තී‍්‍රවරු අහිංසක ගුරුවරියන් දණ ගස්සනවා.

තාත්තගේ බලයෙන් මත් වූ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ගේ දරුවන්
විදුහල්පතිවරුන්ට පහර දෙනවා.

පසුගිය මාසයේ රාජපාක්‍ෂික ගෝලබාලයෙක් දැරණියගල ප‍්‍රදේශයේ වතු
සුපිරින්ඩන්කරුවෙක් ඉතා කෲර ලෙස මරා දැමුවා.

ඊයෙත් සීදුව පැත්තේ දේශපාලන හෙංචයියෙක් පොලිසිය ඇතුළෙදිම ජේලර් මහත්තයෙකුට
පහරදීලා.

පත්තරේ පෙරලලා බැලූවොත් හැමදාම ආණ්ඩු පක්‍ෂයේ ගෝලබාලයන් මිනී මරණ හැටි, හොරකම්
කරන හැටි, පොලිසියට පහරදෙන හැටි අපිට අහන්න ලැබෙනවා.

අද පොලිසියේ අවංකවම නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරීන්ට මරණීය තර්ජන පවා එල්ල
වෙනවා.

මොණරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සම්බන්ධ හොර හරක් ලොරියක් අල්ලපු
පොලිස් නිලධාරීන්ට මේ රාජපාක්‍ෂික මැරයන් බිම දාගෙන ලේ හැලෙන තුරු පහර දුන්නා.

අවසානයේදී එම මැරයින්ට එරෙහිව නීතිය කියාත්මක කළ මොණරාගල දිස්තික්කයේ ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී ලතීෆ් කියන මහත්තයා වැරදිකාරයා කළා. ඒ මැරයින්ගෙන් සමාව ගන්න
කියලා ආරක්ෂක අමාත්‍යංශයේ ලොක්කා පොලිස් අධිකාරීවරයාට කියලා තියෙනවා.

ඒ අවස්ථාවේදී පොලිස් සේවයේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ලතීෆ් වෙනුවෙන් මාධ්‍ය
නිවේදනයක් නිකුත් කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි තනතුරෙන්
අයින් කරලා රත්නපුරට මාරු කළා.

මොහු විසින් රත්නපුරයේදී තවත් රාජපාක්‍ෂික නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නීති
විරෝධී කැසිනෝ ශාලාව වැටලූ වරදට ඔහුට මරණ තර්ජනය එල්ල වුණා.

එම තර්ජන නිකුත් වූ දුරකතන අංකය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වූ බව ඔහු
හොයා ගත්තා.

ඉන් පසුව තවත් ප‍්‍රබල රාජපාක්‍ෂිකයෙකු වන චන්ඩි මල්ලිගේ පුතා, ඇඹිලිපිටිය
ප‍්‍රාදේශීය සභාවේ සභාපති පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය
කි‍්‍රයාත්මක කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් අධිකාරී පියශාන්ත මහතා
කටයුතු කළා.

එසේ නීතිය කි‍්‍රයාත්මක කිරීම ගැන කෝපයට පත් ආරක්‍ෂක ලේකම්වරයා, ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩිට තර්ජනය කර වැරදි කළ මැර සභාපතිගෙන් සමාව
ගන්නා ලෙස නියෝග කළා.

මේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළ මෙම පොලිස් නිලධාරියාට අද රටේ ජීවත් වෙන්න බැරි
තත්ත්වයක් ඇති වෙලා ඔහු විදේශ රටක දේශපාලන රැකවරණය ලබා ගන්නට සිද්ධ වෙලා.

මේ රාජපාක්‍ෂි ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ ජනාධිපතිවරයා තමන්ගේ මන්තී‍්‍රවරු
ගෙන්වලා, ඒ අයට බැනලා සුපුරුදු පරිදි රඟපානවා.

මේ අයට ආචාරධර්ම පද්ධතියක් හදනවයි කියලත් කියනවා.

නමුත් මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කියනවා, අනුන් හදන්න ඉස්සෙල්ලා තමන්
හැදිලා ඉන්නැයි කියලා.

ඉතිහාස පොත්වල කියනවා, එදා ජූලියස් සීසර් තම ආර්යාවට එරෙහි දූෂණ චෝදනා
ඉදිරිපත් වූ විට ඇය දික්කසාද කරමින්, ‘සීසර් පමණක් නොව, සීසර්ගේ ආර්යාවත්
ජනතාවගේ සැකෙන් තොරව ආදර්ශමත්ව ජිවත් විය යුතු‘යි පවසා තිබෙන බව.

අන්න එහෙම නම්, අපේ සීසර් තුමාටත් මම කියනවා, අනුන්ට බණ කියන්න ඉස්සෙල්ලා,
තමනුත්, තමන්ගේ ආර්යාවත්, තමන්ගේ දරුවනුත්, තමුන්ගේ සහෝදරයනුත් හදා ගන්න කියලා.

අද දේශපාලනඥයන්ට ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්‍ෂයේ අපද
පැහැදිලිව කියා සිටියත්, අපගේ හදිසි අවශ්‍යතාවය වී ඇත්තේ රාජපක්‍ෂ පවුලට
ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමයි.

පරාජය දරා ගන්න බැරි වූ බාල පුත‍්‍රයා, පොලිස් - නාවික හමුදා රගර් තරගයේදී එහි
විනිසුරුට පහර දුන් හැටි අපට මතකයි.

ඊයේ පෙරේදා කොළඹදී මර්වින් සිල්වාගේ පුතාට ආරක්‍ෂ වාහනවලින් පැමිණ පහර දුන්නේ
කවුද කියන එකත් රහසක් නෙමේ.

මර්වින්ගේ දරුවන් හදන්නට පෙර, තමන්ගේ දරුවන් හදා ගන්නැයි කියලා මම කියනවා.

එපමණක් නොව, බලෙන් මත් වුණ මේ රජය යන යන තැන රාජපක්‍ෂ නම ගහ ගන්නවා.

නැව් නොයෙන වරායවල්වලට, ගුවන් යානා නොයෙන ගුවන් තොටුපලවලට පමණක් නොව, පුළුවන්
හැම තැනකම තමන්ගේ නම ගහන්න හීනමානයක් තියෙනවා. තාම රාජපක්‍ෂ නම දාලා නැත්තේ
පොදු වැසිකිලියකට පමණයි.

ඒ විතරක් නෙමෙයි, මේ අය තමන්ගේ අහිංසක පාක්‍ෂිකයන්ගෙනුත් ගසා කනවා.

නැව් නොයෙන වරායවල්වලට, ගුවන් යානා නොයෙන ගුවන් තොටුපලවලට පමණක් නොව, පුළුවන්
හැම තැනකම තමන්ගේ නම ගහ ගන්න අවශ්‍ය හීනමානයක් තියෙනවා.

එදා ඞී.එස්. සේනානායක අගමැතිතුමා විසින් රාහුල විද්‍යාලයට ලබාදුන් ගුණතිලක
ශාලාව වෙනුවට නව ශාලාවක් ලබාදෙන්නට නම් මහින්ද රාජපක්‍ෂගේ මෑණියන්ගේ නම එයට
තැබිය යුතුයි කියලා කොන්දේසි දානවා.

ඒ විතරක් නෙවෙයි, ඊයේ මට හමුවුණ මත්තල ගුවන් තොටුපොළේ රැකියාවක් කරන තරුණයෙක්
කිව්වා, තමන්ට ලැබෙන 18,000 ක් වැනි සොච්චම් මුදලෙන් 3,000 ක්ම සෑම මාසෙකම
නාමල් රාජපක්‍ෂගේ මොකක්දෝ පදනමකට කපා ගන්නවයි කියලා.

අද මේ ආණ්ඩුව කොයි තරම් බංකොළොත්ද කියතොත්, තම නොහැකියාව වසන් කර ගැනීම
සඳහාත්, ජනතාවගේ බඩගින්නෙන් අවධානය වෙන දිශාවකට හැරවීම සඳහාත් ජාතිවාදී
ගිනිදැල් නැවතත් අවුලමින් සිටිනවා.

ගෝඨාභයගේ මාර සේනාවන් අද අප රටේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගෙන සිටිනවා.

අප රටේ දෙවන පන්තියේ පුරවැසියන් නොමැති බව මම පැහැදිලිවම කියා සිටිනවා.

එදා එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරමින් ඞී.එස්. සේනානායක අගමැතිතුමා කියපු
ආකාරයට, මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ අපි සියලූ දෙනා ශී‍්‍ර ලාංකිකයන් හැටියට
එක්සේසත් වුවොත් පමණකි.

අද එක්සත් ජාතික පාක්‍ෂිකයන් පමණක් නොව, මේ රජයට පසුගිය මැතිවරණවලදී ඡන්දෙ
දීපු අයත් සාප කරනවා.

යන යන තැන ආණ්ඩු පාක්‍ෂිකයන්, පාර්ලිමේන්තුවේ වේවා” මහපාරේ වේවා අපෙන් අසන්නේ,
කවදද මුන් එළවන්නේ කියලා.

වචන දාලා රඟපෑවට, වචන දාල රට හදන්න බැරි බව මහින්ද රාජපක්‍ෂ දැන් ඔප්පු කරලා
තියෙනවා.

මේ බයිස්කෝප් ජනාධිපතිවරයාට රට හදන්නත් බෑ, ආර්ථිකය ගොඩ ගන්නත් බෑ, කුස්සියෙ
යුද්දේ දිනන්නත් බෑ.

අද මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ, කැමරාවට පමණක් දරුවන් ඉඹිමින් ඔවුන්ගේ
කිරිපිටි මිලෙනුත් ගසා කන නායකයෙක් නොවෙයි. අපේ දූදරුවන්ට හොඳ අනාගතයක් ලබාදිය
හැකි අවංක, පරිනත, බුද්ධිමත් නායකයෙක්.

අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ, රටේ සම්පත්වලින් තමන් පෝෂණය වන නායකයෙක්
නොව, රට පෝෂණය කරන්න පුළුවන් නායකයෙක්.

අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ, යහපාලනය රට තුළ ඇති කරමින්, නීතියේ ආධිපත්‍ය
නැවතත් ස්ථාපිත කරමින්, යහපත් ගුණගරුක සමාජයක් ඇති කරන්න පුලූවන් නායකයෙක්.

අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ, ජාත්‍යන්තර ප‍්‍රජාව අප රට පිටුපස නැවතත්
පෙළ ගස්වන්න පුළුවන් නායකයෙක්.

එවැනි නායකයෙක් ඉන්නවා නම් ඉන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අපටයි කියන දේ කොන්ද
කෙලින් තියාගෙන හඬ නඟා කියන්න පුළුවන් වෙන්න ඕනෙ.

අන්න ඒ නිසා තමයි අපි 2013 වසර ආරම්භ වූ දිනයේ සිටම ගමක් ගමක් ගානේ ගිහිල්ලා
අපේ පක්‍ෂයේ ශාඛා සමිති පිහිටුවලා, අප පක්‍ෂ යාන්ත‍්‍රණය අද ශක්තිමත් කරලා
තියෙන්නේ.

මේ දූෂිත පාලනය පළවා හැරීමේ අභියෝගය භාර ගන්න අද සිට මාතර අපිත් සූදානම්.


‘‘ඔව්.........අපි සූදානම්’’ යන තේමාව යටතේ අපි අපගේ නියෝජිත සමුළුව
පවත්වමින්, ඊළඟ දකුණු පළාත් සභා මැතිවරණයේදී පමණක් නොව, 2014 වසරේදී දුන්නත්,
නොදුන්නත් අපි ලබා ගන්නා වූ ජනාධිපතිවරණයේදී ජය ගන්නට දැන් අපි සූදානම්.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් මුළු රටටම ඔබින නව ව්‍යවස්ථාවක් ලබාදීමට
දැන් අපි සූදානම්.

කඩාගෙන වැටුන ආර්ථිකය ශක්තිමත් කර, දූෂණයෙන් තොර යහපාලනයක් නැවතත් අප රට තුළ
ස්ථාපිත කරන්න දැන් අපි සූදානම්.

කැලෑ නීතිය වෙනුවට, නීතියේ ආධිපත්‍ය රජකරවන සමාජයක් බිහි කිරීමට දැන් අපි
සූදානම්.

ජාත්‍යන්තර හුදකලාව වෙනුවට, ජාත්‍යන්තර සහයෝගතාවය අප රටට ලැබෙන නව යුගයක් උදා
කිරීමට අපි සූදානම්.

අප පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා බවට
පත් කරමින්, එක්සත් ජාතික පක්‍ෂ රජයක් අප රට තුළ බිහි කිරීමට මාතර අපි සූදානම්
බව අවධාරණයෙන් යුතුව පකාශ කර සිටිනවා.

No comments:

Post a Comment