Sunday 20 October 2013

"කරුණාකර මට කුඩු රුවන් කියන්න එපා..මටත් දරුවෙක් ඉන්නවා"

ruwa2

කොළඹ දෙමටගොඩදී ඉකුත් දා සිදුවූ තරුණ ඝාතනය සම්බන්ධයෙන් දෙමටගොඩ රුවන් නමැත්තකු වෙත පොලිසියේ ඇඟිලි දිගු විය. ඒ නිසාම මෙකී දෙමටගොඩ රුවන් නමැත්තා පසුපස අපිද හඹා ගියෙමු. ඔහු කවුද? කරන්නේ මොනවාද? දෙමටගොඩ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්‌ ඇස තමන් වෙත යොමු වෙද්දී ඔහු කියන්නේ කුමක්‌ද? එකී ගැටලුවලට රුවන්ගේම කටින් පිළිතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව අපි ඉකුත් සතියේ එහු පසු පස හඹා ගියෙමු.
ruwan1

දැඩිව ගත් උත්සාහයකින් පසු අපේ ඒ අරමුණ සඵල විය. මෙම සිද්ධිය හමුවේ දැනට බන්ධනාගාරගතව සිටින රුවන්ව එසේ බන්ධනාගාරගත කිරීමට එක්‌ දිනකට පෙර දුරකථනය ඔස්‌සේ ඔහු අල්ලා ගැනීමට අපට හැකි වූවේය.

ඉතින් අපි ඔහු දැඩි ලෙස ප්‍රශ්න කළෙමු. අපේ ඒ ප්‍රශ්න කිරීම හමුවේ පොලිසිය කියන දෙමටගොඩ රුවන් මුව විවර කළේය. ඒ මෙසේය.

"දෙමටගොඩ රුවන්... සම්පූර්ණ නම මොකක්‌ද?

රුවන් චමිල ප්‍රසන්න.

විවාහකද? දරුවෝ ඉන්නවද?

ඔව්. මම විවාහකයි. එක පුතෙක්‌ ඉන්නවා. එයා දැන් තරුණයෙක්‌.

ඒ කියන්නේ තරුණ කොල්ලෙක්‌ගේ තාත්තා කෙනෙක්‌?

ඔව්. මගේ පුතා කඩවසම් තරුණයෙක්‌.

ඒ තරුණ දරුවගේ තාත්තා පාතාලයෙක්‌ වුණේ කවදා ඉඳන්ද?

කවදාවත් මම පාතාලයට සමබන්ධ වුණෙත් නැහැ. පාතාලය කියන එක දැකලත් නැහැ. පාතාලය එක්‌ක මම ආශ්‍රය කරලත් නැහැ. තාත්තා කෙනෙක්‌ විදිහට පාතාලය එක්‌ක ඉඳලා මගේ අහිංසක දරුවා නොමගට යවන්න, දරුවා නැති කර ගන්න මට වුවමනාවකුත් නැහැ.

එහෙනම් ඔය මිනිස්‌සු කියන්නේ.. ඔයා පාතාලයෙක්‌ කියන චෝදනාව සමාජය ඉදිරියේ තියෙනවනේ..?

මිනිස්‌සුන්ට මොනවද කියන්න බැරි. ඒත් මම කවදාවත් පාතාලයට සම්බන්ධ වුණේ නැහැ. මම පාතාලයෙක්‌ කියලා පොලිසියේ කිසිම තැනක පැමිණිල්ලක්‌වත් නැහැ. මට ඕනේ බිරිඳයි දරුවයි එක්‌ක හොඳින් ජීවත් වෙන්න. ලස්‌සනට ඉන්න. මිනිස්‌සු කියන දේවල්වලට මම මොනවා කරන්නද?

ඒ කියන්නේ කවදාවත් කිසිම දේකට සම්බන්ධ වෙලත් නැහැ. ආයුධයක්‌ එහෙම දැකලත් නැහැ කියලද..?

ඇත්තේනම නැහැ. මගේ මේ වයසට කවදාවත් ආයුධයක්‌ පාවිච්චි කරල නැහැ. මම හැමදාම ගමේ මිනිස්‌සු එක්‌ක හිටියා. රුවන් ආයුදේ අතේ තියන් ඉන්න පාතාලයෙක්‌ වුණා නම් ඒ විදිහට මිනිස්‌සු අතරේ ඉන්නත් බැහැනේ. එහෙනම් ඉතින් මමත් කාගෙන් හරි කාල ගොඩක්‌ කල්.

එතකොට ඇයි මිනිස්‌සු චෝදනා කරන්නේ.. මොකක්‌ද හේතුව..?

ඒක මම දන්නේ නැහැ. මම අද වෙනකොට ව්‍යාපාරයක්‌ කරගෙන ගමේ මිනිස්‌සුන්ටත් උදව් කරගෙන ජීවත් වෙන කෙනෙක්‌.

මොකක්‌ද ඒ ව්‍යාපාරේ. කුඩු විකුණන එකද?

ඒක තමයි මම මගේ ජීවිතේ හොඳටම දුක්‌ වෙන චෝදනාව. මම මේ රටේ ඉපදුණු කෙනෙක්‌. ඒත් අද හැමෝම කුඩු කාරයෙක්‌ කියලා මාව හංවඩු ගහනවා. නමුත් මම කවදාවත් කුඩු විකුණලා නැහැ. අඩුම තරමේ කුඩු පැකට්‌ එකකට පොලිසියකට අහුවෙලාවත් නැහැ. රටේ කිසිම පොලිසියක චෝදනාවක්‌ ලියෑවිලත් නැහැ. මම කුඩු බීලත් නැහැ.

ඒත් අද මට චෝදනා එල්ල කරනවා කුඩු රුවන්.. කුඩු රුවන් කියලා. මට දරුවෙක්‌ ඉන්නවා. ඒ දරුවා දැන් තරුණයි. එයා ඉගෙන ගන්නවා. මට කුඩු රුවන් කියලා චෝදනා කරන හැමෝගෙන්ම මම අහන්නේ එහෙම කියන අයට පුළුවන්ද මගේ දරුවගේ අනාගතේට වගකියන්න. මගේ පුතා මගෙන් අහනවා තාත්තේ ඇයි තාත්තට එහෙම කියන්නේ කියලා. තමන්ගේ තාත්තා කුඩු කාරයෙක්‌ කියලා කියනකොට තරුණ දරුවෙක්‌ කොහොමද ඒක දරා ගන්නේ? ඒ දරුවා කොහොමද සමාජයට මුහුණ දෙන්නේ.

අඩුම තරමේ මම කුඩු විකුණුවා කියලා පොලිසියකට අහුවෙලා චෝදනාවක්‌ එල්ල වෙලා තියෙනවා නම් එහෙම කිව්වට කමක්‌ නැහැ. මේ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු කණගාටුවක්‌.

ඒ වුණාට මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෙක්‌ කියලා පොලිසිය Rජුවම චෝදනා කරනවානේ. ඒක වැරදිද?

මම දන්නේ නැහැ. මට හිතෙනවා මොකක්‌හරි තරහවකට මට එහෙම කරනවද කියලත්. මේ රටේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය හරි ප්‍රබල එකක්‌. ඒකට අමතරව බුද්ධි අංශ වගේම විවිධ ආරක්‍ෂක අංශ කණ්‌ඩායම් මත්කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

ඉතින් මම කුඩු ජාවාරම් කරනවා නම් අඩුම තරමේ මම කුඩු අරගත්ත කෙනෙක්‌ හරි මගෙන් කුඩු ගත්ත කෙනෙක්‌ එයාලට අහුවෙන්න ඕනේ. මේ රටේ කුඩු විකුණලා බේරිලා ඉන්න බැහැ. ඒත් එහෙම දෙයක්‌ වෙලා නැහැ. මම කාගෙන්හරි කුඩු අරගෙන තියෙනවා නම් කාටහරි දීලා තියෙනවා නම් එයාලා එහෙම චෝදනා කළාට කමක්‌ නැහැ. එත් මට කුඩු සම්බන්ධව කිසිම නඩුවක්‌වත් නැහැ. මම පොඩිකලේ ඉඳලම ජීවත් වෙන්න ව්‍යාපාර කළා.

මොනවද ඒ ව්‍යාපාර?

මම දෙමටගොඩ හන්දියේ දෙහි අමු මිරිස්‌ විකුණන්න ගත්තේ පාසල් යන කාලේ. ඊට පස්‌සේ පොල් ගෙනල්ලා වික්‌කා. ලොකු වෙනකොට ත්‍රීවීල් අරගෙන හදලා විකුණන ව්‍යාපාරයක්‌ කළා. එහෙම හම්බ කරපු සල්ලි පස්‌සේ පොලියට දුන්නා. ඒ විදිහට තමයි මම බිංදුවේ තිබුණ මගේ ජීවිතේ ගොඩනගා ගත්තේ. ඒවා සාධාරණව හම්බ කරපු සල්ලි.

දැන් මම පොලියට දෙන එකත් නවත්තලා රෙස්‌ටුරන්ට්‌ එකක්‌ කරගෙනයි ආදායමක්‌ ලබන්නේ. අද මගේ ළඟ සේවකයෝ පනහක්‌ විතර වැඩ කරනවා. ඉතින් මට කුඩු රුවන් කියලා කියනකොට ඒ අය හිතනවා එයාලා වැඩකරන්නේ කුඩු කාරයෙක්‌ ළඟද කියාලා. ඇත්තමට මේක ලොකු ප්‍රශ්නයක්‌. සමහර වෙලාවට මම මගේ බිරිඳයි දරුවයි එක්‌ක අඬලා තියෙනවා මේ ප්‍රශ්නේ නිසා.

ඒ වුණාට දවසක්‌ පොලිස්‌ නාකොටික්‌ එක උඩප්පුව පැත්තේ කුඩු වැටලීමක්‌ කරනකොට එතන ඉඳලා පැනලා ගියා නේද?

ඒක අමූලික බොරුවක්‌. මම එහෙම පැනලා ගියේ නැහැ. මම එතන හිටියෙත් නැහැ.

එහෙනම් ඇයි පොලිසිය අත්අඩංගුවට ගත්තේ. ගෙදරට ඇවිල්ලද අරගෙන ගියේ?

ඒක වුණේ මෙහෙමයි. මම එදා මීගමුවේ කිඹුලාපිටියට ගියා රතිඤ්ඤා වගයක්‌ ගන්න. ඒ ගිහින් එනකොට ගුවන් තොටුපළ හන්දියේදී මගේ වෑන් එක නවත්තලා පොලිසිය මාව අත්අඩංගුව ගත්තා. ඒ උඩප්පුවේ ඉඳන් පැනලා ආවා කියලා. මම අදටත් දන්නේ නැහැ පොලිසිය ඇයි එහෙම කළේ කියලා. එත් මම අවංකවම මේ කියන්නේ ඇත්ත. එදා මාව කටුනායක ඉඳන් අරගෙන ගිය පොලිසිය උඩප්පුවේ ඉඳන් ගංජා ගෙනාවා කියලා අතින් ගංජා දාලා රිමාන්ඩ් කළා.

කුඩු රුවන් කියලා සමාජය කියනකොට බිරිඳ කියන්නේ මොනවද?

සමහර වෙලාවට බිරිඳ මගෙත් එක්‌ක අඬලා කියනවා "ඇයි සද්ද නොකර ඉන්නේ.. මගේ දරුවා කොහොමද පාරේ බැහැලා යන්නේ.. අපි ගිහින් එහෙම කියන අයගෙන් අහමු" කියලා..

එතකොට අද රුවන් ළඟ තියෙන්නේ සාධාරණ සල්ලි?

ඔව් මගේ ළඟ තියෙන්නේ සාධාරණ සල්ලි. ඒත් මම ලොකු සල්ලිකාරයෙක්‌ නෙමේ.

ගේ හදන්නේ ලෝන් එකක්‌ අරගෙන. පාවිච්චි කරන වාහනේ ගත්තේ ලීස්‌ කරලා. ඒවා ඔප්පු කරලා පෙන්නන්න මගේ ළඟ නීතිමය සාක්‍ෂි තියෙනවා.

රුවන් චමිල ප්‍රසන්න කොහොමද දෙමටගොඩ රුවන් වුණේ?

ඒක මම දන්නේ නැහැ. මම ව්‍යාපාරිකයෙක්‌. පදිංචිය සිරිධම්ම මාවතේ. මිනිස්‌සු මං ගැන ලොකුවට හිතන්න ඉන්නවා ඇති. ඒත් මම ගෙදර ඉන්න කැරපොත්තෙක්‌වත් මරන්න අකමැති කෙනෙක්‌. මිනිස්‌සු කියන කතාවලට මම මොනවද කරන්නේ?

මොනවා නැතත් හදාගත්ත කල්ලියක්‌ ඉන්නවා නේද?

මට එහෙම කල්ලි නැහැ. මම සමහර දවස්‌වල රෑට මගේ බිරිඳයි දරුවයි එක්‌ක තනියම ගෝල්ෙෆ්ස්‌ එකට ගිහින් එන කෙනෙක්‌. සමහර වෙලාවට බිරිඳත් එක්‌ක තනියම පාරේ ඇවිදිනවා. රුවන් කල්ලි හදාගෙන ඉන්න චණ්‌ඩියෙක්‌ නම් එහෙම කරන්න බැහැනේ. එහෙම චණ්‌ඩි පාරේ යන්නේ පස්‌ස බල බලා. ඒ ජීවිතේ ගැන තියෙන අවිශ්වාසයට. ඒත් රුවන්ට එහෙම කරන්න වෙලා නැහැ. දෙමටගොඩ පැත්තට ආවොත් මම තනියම පාරේ යනවා ඕන කෙනෙක්‌ට දැක ගන්න පුළුවන්.

පහුගිය 09 වැනිදා දෙමටගොඩදී වෙඩි තැබීමක්‌ වුණා. තරුණයෙක්‌ මියගියා මොකක්‌ද ඒ වුණේ?

එදා රෑ 9.30 විතර මගේ ගේ හදන බාස්‌ කෙනෙක්‌ මට කිව්වා ගෙදරට අවශ්‍ය බඩු වගයක්‌ ගෙනත් තියනවා කියලා. එවෙලේ මම මගේ වාහනේ එලවන මල්ලිත් එක්‌ක දෙමටගොඩ පොලිසිය පාරෙන් මගේ ගේ හදන තැනට යන්න ආවා. දෙමටගොඩ කලර් ලයිට්‌ එකේදී වාහනේ නතර කළා. එවෙලේ මම දැක්‌කා අනිත් පැත්තේ බොරැල්ල දෙසට යන්න ආපු කාර් එකක්‌ නවත්තලා තියෙනවා.

ඒ එක්‌කම ඩෝං ගාලා සද්දයක්‌ ඇහුණා. මම බයවෙලා රියදුරාට කිව්වා මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ ඉක්‌මනට කාර් එක හරවන්න කියලා. එයා බොරැල්ල පැත්තට වාහනේ හරවගෙන ඉස්‌සරහට ගියා. එවෙලේ තමයි මම දැක්‌කේ අර කාර් එක පේමන්ට්‌ එක දිගේ ගිහින් එකපාරට නතර වෙනවා. ඒ කාරෙක නතර වෙනවත් එක්‌කම ඒකේ හිටිය දෙන්නෙක්‌ ගිනි අවි දෙකකුත් අරගෙන බැහැලා ගියා. මම රියෑදුරාට කිව්වා ඉක්‌මනට හරවගෙන යමු කියලා. එහෙම ඇවිත් තමයි සිද්ධිය දෙමටගොඩ පොලිසියටත් කියලා මම ගියේ.

එහෙම කිව්වට දැන් ඒකට පොලිසිය ඔයාවනේ සැක කරන්නේ?

ඒක මම දන්නේ නැහැ. මේ සිද්ධිය පොලිසියට කියන්න ගිය වෙලාවේ එතන හිටිය රාළහාමි කෙනෙක්‌ මගෙන් ඇහුවා ඔයා නේද වෙඩි තිබ්බේ කියලා. මම ඔහුට කිව්වා මම වෙඩි තිබ්බ නම් පොලිසියට කියන්න එනවද කියලා. පස්‌සේ මම ගෙදරට ගිහින් නිදා ගත්තා. ඒත් පහුවදා ආරංචි වුණා ඒ කොල්ල මරපු එකට මාව සැකක කරනවා කියලා.

ඒ ඝාතනය කෙරුණු තරුණයා ගෝලයෙක්‌ නේද?

නැහැ කිසිම දවසක එයාගෙයි මගෙයි ආශ්‍රයක්‌ තිබුණේ නැහැ. එයා මගේ ළඟ හිටිය සේවකයෙක්‌ නෙමේ. එදා ඒ කාරෙකේදී එක්‌කෙනෙක්‌ වෙඩි වැදිලා මැරුණා කියලා මම දැන ගත්තෙත් පහුවදා උදේ. මම දැක්‌කේ දෙන්නෙක්‌ ආයුධ දෙකක්‌ අරගෙන බැහැලා යනවා විතරයි. දැක්‌ක දේ මම ගිහින් පොලිසියට කිව්වා. ඒත් දැන් පොලිසිය කියනවා මම වෙඩි තිබ්බා කියලා. මේක බොරු චෝදනාවක්‌ කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.

දේශපාලනඥයොත් එක්‌ක තියෙන සම්බන්ධය මොකක්‌ද?

ඔව් මම කොළඹ ඉන්න දේශපාලනඥයෙක්‌ එක්‌ක සම්බන්ධ වෙලා හිටියා.

ඒ සම්බන්ධකම් තියාගෙන හිටියේ වැරදි වහගන්නනේ. සමාජය එහෙම චෝදනා කරනවා?

මම ගමේ මිනිස්‌සුන්ට උදව් කරගෙන මිනිස්‌සු එක්‌ක ඉන්න කෙනෙක්‌. ඒ පිරිස්‌ මා එක්‌ක ඉන්න නිසා මම දේශපාලනඥයෙක්‌ තෝරගෙන මගෙත් එක්‌ක ඉන්න මිනිස්‌සුන්ගේ ශක්‌තිය ලබා දුන්නා. ඒ ඇරෙන්න කවදාවත් මම අරයා කුඩු ගහලා අහුවුණා. මෙයා ගංජා බීලා අහුවුණා අනේ උන්ව පොලිසියෙන් බේරලා දෙන්න කියලා දේශපාලනඥයන්ගෙන් ඉල්ලලා නැහැ.

සම්බන්ධ වෙලා හිටියා කියන්නේ දැන් සම්බන්ධයක්‌ නැද්ද?

මම මගේ දේශපාලනය කළා. දේශපාලනයට මගේ ආශාවක්‌ තිබුණා. මම දුකේදී සැපේදී උදව් කරපු ගමේ මිනිස්‌සු ඒ දේශපාලනයේදී මගෙත් එකක්‌ හිටියා. ඒත් මේ දේශපාලනේ නිසාම තමයි මට අද වැදිලා තියෙන හැම මඩක්‌ම වැදුණේ. ඒ නිසා මම දැන් දේශපාලනෙන් ඈත් වෙලා ඉන්නේ. මම හැම දේම අතඇරලා මගේ ව්‍යාපාර දියුණු කර ගන්න උත්සාහ ගන්නවා. මොකද මගේ දරුවට අනාගතයක්‌ තියෙන්න ඕනේ. මගේ දරුවා ලස්‌සනට ඉන්න ඕනේ. ඒක හැම තාත්තා කෙනෙක්‌ම හිතන දෙයක්‌නේ.

තරහකාරයෝ ඉන්නවද?

දැනුවත්ව නම් හිටියේ නැහැ. එත් දැන් හිතෙනවා සැඟවිච්ච පිරිසක්‌ ඉරිසියාව නිසා තරහෙන් ඉන්නවද කියලා.

තවත් මොනවා හරි කියන්න තියනවද?

මට ඉන්නේ පුතෙක්‌. ඒ පුතා දිහා බලාගෙන රටේ තරුණයන්ට කුඩු විකුණලා පොහොසතෙක්‌ වෙන්න තරම් මම කාලකණ්‌ණියෙක්‌ නෙමේ. මට කුඩු රුවන් කියලා කියන්න එපා. 

No comments:

Post a Comment