Tuesday 15 October 2019

මහින්දගේ හිටපු ධිවර ඇමති හා ග්‍රාමීය කටයුතු නියෝජ්‍ය ඇමති සජිත්ට

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 44 දෙනෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වෙමින් ඊයේ (15) ප්‍රකාශ කළහ.
පොහොට්ටුවට පාවාදීම හේතුවෙන් දියවී විනාශ වී යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැකගැනීමට සජිත් ප්‍රේමදාස මහතා හා එක්වන බව ඔවුහු ප්‍රකාශ කළහ.
හිටපු නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වික්ටර් ඇන්තනී පෙරේරා, වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමැති සුමාල්  තිසේරා, ඌව පළාත් සභාවේ මන්ත්‍රී ආර්. එම්. කේ. බී. මැදවල මහතා ඇතුළු කෑගල්ල, බදුල්ල, ලාහුගල, යටියන්තොට, අරනායක, මඩකලපුව ඇතුළු දිවයි‍නේ උතුරු නැගෙනහිර ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා රැසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් 44 දෙනෙක් සජිත් මහතා හා එක්වන බව ප්‍රකාශ කළහ.
තිරුක්කෝවිල්, මඩකලපුව, මාවනැල්ල, හොරොව්පතාන, මුලතිව්, උදයන්කට්ටු, වාන්කුලම්, අරනායක, යටියන්තොට, ආලයඩිවෙම්බු, මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වයඹ, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් එම පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකයින්, ආසන සංවිධායකවරුන් මෙසේ එක්විය.
විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ ඇමැති රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඉදිරියේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වූ මෙම නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් පිළිගත්හ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලියේදී එතුමාට සහාය දැක්වීමට එක්වූ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි මහතාගේ අඩිපාරේ යමින් තම සඟයන් සමඟ එක්වන බව මාධ්‍ය හමුවට එක්වූ ඔවුහු පැවසූහ.
විජිත් විජිතමුණි මහතාද මෙම අවස්ථාවට එක්විය.
පොහොට්ටුවේ පවුල් වාදයට එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ජනපති කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා අත්වැල් බැඳගන්නා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමැතිවරුන් ගෞරවයෙන් පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ උපනායක ඇමැති රවි කරුණානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස රට ගැන සිතා ලබාගත් නිර්භීත තීන්දුව ජනතා ජයග්‍රහණයක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර හතර තුළ බයක් සැකක් නොමැතිව ජීවත්වීමට හැකි රටක් බිහිකර දුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් හංසයා ලකුණින් සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනට ඉදිරිපත් කර ඇති බවත්, ජනතාව ජයග්‍රහණය කරවීමට නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ සහාය අගය කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින්ට සජිත් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වීම පිළිබඳව ස්තුති කළේය.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද පැවැසීය.
සජිත් ඇමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමැතිවරුන්ට දැනට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට අපගේ ස්තුතිය පුදකරනවා.
ඔබ අප හා එක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න පවුල්වාදය පිටුදකින්න. මේ රටේ ලොකුම පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා. පවුල්වාදය, රාජපක්ෂ අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටින ශක්තියට ස්තුති කරනවා.
පොහොට්ටුවට එක්වූ නිදහස් පක්ෂ ප්‍රබලයින්ට පොහොට්ටු පාක්ෂිකයෝ සැලකුවේ කොහොමද කියලා මුළු රටම දැක්කා. ඔවුන්ට මැර හූ හඬ ලැබුණ හැටි මුළු රටම දැක්කා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලොකු නායකයෝ පොහොට්ටුවට එකතු වූවත් නිදහස් පක්ෂ සාමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබානොදෙන බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා එහිදී පැවැසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය එය මනාවට පෙන්වා දෙන බව පැවසූ සොයිසා මහතා සියයට 12.15 ක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ප්‍රතිශතය කිසි දිනෙක පොහොට්ටුවට නොලැබෙන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ ඡන්ද එකතුවිය යුත්තේ හංසයාට බවද පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී ඇති බැවින් පාක්ෂිකයා රැකගැනීමට හංසයා සමඟ එකතු වන බවත් වැඩිදුරටත් පැවැසීය.
මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මඩකලපුව, මුලතිව්, එ‍රාවුර්, වාන්කුලම්, තිරුක්කෝවිල් ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ටී.එන්.ඒ., ඊ.පී.ඩී.පී. පක්ෂවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද එක්ව සිටීම විශේෂත්වයක් විය.
මඩකලපුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී. සසිදරන්, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කේ. යාලනී, මුලතිව් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ. සතාසිවම්, වාන්කුලම් ඩී. ජයසීලන් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක්ද හංසයාගේ ජය තහවුරු කිරීමට එක්වූහ.

No comments:

Post a Comment