Friday 11 March 2022

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා මැතිණිය රාජපක්ෂලාගේ පතුරු අරියි

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා රාජපක්ෂලාගේ පතුරු අරියි _________________ රටේ වත්මන් ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධානතම හේතුව 2005 සිට 2014 දක්වා ආණ්ඩු නායකයින් විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය වංචා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. අඟහරුවාදා (8) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ චෝදනා කළාය: “අද අප අත්විඳිමින් සිටින ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව 2005 සිට 2014 දක්වා එක් ආණ්ඩුවක නායකයන් විසින් සිදු කරන ලද බරපතල මූල්‍ය වංචාවන්. ඔවුන් ට්‍රිලියන ගණනක් මහජනතාව හොරකම් කළා. ඒ හොරකම් කරපු සල්ලි තමයි තවමත් වෙනත් රටවලට ණය වාරික වශයෙන් ගෙවන්නේ.” එම කාලය තුළ ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. දිළිඳු රටවල් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලින් ණය ලබා නොගන්නා බවත්, කෙසේ වෙතත්, 2005 සිට 2014 දක්වා පරිපාලනය 9% වැනි ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබාගෙන විවිධ අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මුවාවෙන් බොහෝ මුදල් සොරකම් කළ බවත් ඇය සඳහන් කළාය. . “සාමාන්‍යයෙන් දුප්පත් රටවල රජයන් ණය සඳහා ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් සහ ඊට අනුබද්ධ රටවල්වලින් ණය ලබාගෙන 1%ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය ගන්නවා. මේ සියලු භාවිතයන් නොසලකා හරිමින් 2005-2014 පාලනාධිකාරිය 9% පොලියට ණය ගත්තා.” තම පාලන කාලය තුළ දී නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 280 කට චීන සමාගමක් සමඟ අත්සන් කළ නමුත් 2005 බලයට පත් රජය එම ගිවිසුමම ඩොලර් මිලියන 520 කට වෙනත් චීන සමාගමක් සමඟ අත්සන් කළ බව කුමාරතුංග මහත්මිය පවසයි. ඩොලර් මිලියන 280කට කළ හැකිව තිබූ දේට ඩොලර් මිලියන 520ක් ගෙවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද? "මේ හේතු නිසා තමයි දැන් රට විශාල වශයෙන් ණය වෙලා තියෙන්නේ. ජනතාවට දැන් ඉන්ධන, විදුලිය, ආහාර නැහැ. මෙයට ප්‍රධාන හේතුව මුල්‍ය වංචාව සහ වත්මන් රජයට කිසිදු සැලසුමක් නොමැති වීමයි.” තමන් බලයට පත්වන විට ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 25 න් එකක් වූ නමුත් තම ජනාධිපති ධුර කාලය අවසන් වන විට ලෝකයේ ධනවත්ම රටවල් 72 අතරට පැමිණීමට හැකි වූයේ ශ්‍රී ලංකාව පැහැදිලි වැඩපිළිවෙලක් සහ ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්ති යටතේ පැවති පාලනය නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. සටහන :- බුද්ධික සමරවීර

No comments:

Post a Comment