Wednesday 26 February 2014

උදය ගම්මන්පිලගේ හා රොජර් සෙනවීරත්නගේ දේශපාලන ජීවිතය අවසන් වෙයි..?

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට ජාතික හෙළ උරුමයේ පිළ නියෝජනය කරමින් තරඟ වදින උදය ගම්මන්පිල මහතාට සහ විමල් වීරවංශ මහතාගේ පිළ නියෝජනය කරමින් තරඟ වදින නළු රොජර් සෙනෙවිරත්න මහතාට මැතිවරණයෙන් ජයග්‍රහණය කළද මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් උද්ගතව ඇතැයි නීතිවේදීහු සඳහන් කරති.

උදය ගම්මන්පිල මහතා තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී කරවාගෙන ගැනීමෙන් මැතිවරණ නීතිය උල්ලංගණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබුනේද රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි බවය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීම වරදක් බව ඔහු පෙන්වා දී තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා තම මැතිවරණ රැස්වීම්වලට සහභාගීවීම මැතිවරණ නීතිය උල්ලංගනය කිරීමක් යැයි තමන් නොදැන සිටි බවත් එය වැරැද්දක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේනම් එය පිළිගන්නා බවත් නීතීඥ ගම්මන්පිල මහතාද මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුනේය.

මේ අතර විමල් වීරවංශ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් සන්ධානයෙන් තරඟ වදින නළු රෝජර් සෙනෙවිරත්න මහතා පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී අතපය කඩාදැමීම පිළිබඳව මහ අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු බව ඔප්පුවී වසරදෙකක බරපතල සිරඳඩුවම් නියම වී එය වසර පහකට අත්හිටුවා ඇති තැනැත්තෙකි.

අධිකරණයේ සිරඳඩුවම් නියමවූවෙකු මැතිවරණ සඳහා ඉදිරිපත්වීමද මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතික්‍රියාමාර්ග ගැනීමට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක්ම කටයුතු කරමින් සිටී.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව කිසියම්හෝ පුද්ගලයෙකු හෝ කණ්ඩායම් අධිකරණයට යන්නේනම් ඊට තම සහයෝගය ලබාදෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නියෝජිත රැස්වීමේදී පවසා ඇත

No comments:

Post a Comment