Thursday 6 February 2014

කබර හුනා අල්ලන ක්‍රමය මෙන්න

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වනජීවී වෙළෙඳාම නැවතත් ඉතාම විනාශකාරී ලෙස පැතිරී යමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඇලි කැස්බෑවෙකු පදනම් කරගනිමින් නටන්නට වූ නාඩගම පසුගිය දිනවල ජනමාධ්‍යවල විවිධ කතා මැවීම එහි එක් පරිච්ජේදයක් ලෙස හැඳින්විය හැකිය.

කවුරුන් කෙසේ කීවද ඒ තුළ සැඟවී ඇත්තේ මහා පරිමාණ වනජීවී ජාවාරමක නිරුවත බව පැහැදිලිය. ඒ අතරතුර දිවයින පුරා වනාන්තරවල කිඹුල් හූනන් සහ කබර හූනන් එකතු කිරීමේ ජාවාරමක්ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද විවිධ තොරතුරු ලැබෙමින් පවතී.
කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු විසින්ද දෙනියාය ප්‍රදේශයේ ජනාධිපති සහකාර ‍ලේකම්වරයෙකුගේ ඥාතියෙකු විසින්ද මේ ආකාරයෙන් හූනන් මිලදී ගැනීමේ නිරතවී සිටින බව ඇසේ. නමුත් එය කුරුණෑගල හෝ දෙනියායට පමණක් සීමා වූ ජාවාරමක් නොවන බව හැඟෙන්නේ පසුගිය මාස කිහිපය ඇතුළත දිවයින පුරාම විවිධ ප්‍රදේශවලින් මෙම වනජීවී ජාවාරම පිළිබඳව කසුකුසුව ඇති වීමෙනි. 

මේ පසුපස සිටින දේශපාලන ශක්තිවන්තයින් නිසා මෙම ජාවාරම පිළිබඳව බලධාරීන්ටද නෑසුණු කන් ඇතිව සිටින්නට වී ඇතිද යන සැකයද මතුවන්නේ මෙවැනි ජාවාරමක් පිළිබඳව තවමත් වනජීවී සංරක්ෂණ, රේගු වැනි නියාමන ආයතනවලට කිසිදු ශක්තිමත් වැටලීමක් සිදුකිරීමට නොහැකි වී ඇති බැවිනි. 

ශ්‍රී ලංකාව තුළ වනජීවී හා සත්ව කොටස් වෙළෙඳාම නීති විරෝධී ධනෝපායන මාර්ගයක් ලෙස පැතිරී යන්නේ අද ඊයේ සිට නොවන බව තතු දන්නෝ දනිති. සත්ව හා ශාක කොටස් මෙන්ම සජීවී සතුන්ට මේ ආකාරයෙන් ස්වභාවික පරිසරවලින් අල්ලා කූඨ ලෙස රට පැටවීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය කාලයේ ද අසන්නට ලැබුණි. විශේෂයෙන් මෙරටට ආවේණික ඉතා අලංකාරවත් වර්ණ රටාවක් සහිත විසිතුරු මත්ස්‍ය විශේෂ විදෙස් වෙළෙඳ‍පොළවලට යැවීම එහි එක් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ස්වභාවික පරිසරයෙන් මහා පරිමාණයෙන් මෙවැනි දුර්ලභ ආවේණික මිරිදිය මසුන් ඇල්ලීම නිසා ඇතැම් වාසභූමි වලින් සදහටම එම මිරිදිය මසුන් වඳවී ගිය ආකාරය පිළිබඳවද ඕනෑතරම් තොරතුරු තිබේ. එතරම් මහාපරිමාණ විනාශයක් සිදුකරමින් ද අපනයනය කෙරුණු මිරිදිය මසුන්ගෙන් රටට හිමි වූයේ සොච්චම් විදේශ විනිමය ප්‍රමාණයක් වීම නිසා සිදුවූයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට බවද අවධාරණය කළ යුතුය. 

එසේම කෙටල, අතිඋඩයන් වැනි ජලජ ශාකද මේ ආකාරයෙන්ම විනාශකාරී ලෙස ස්වභාවික පරිසර පද්ධතිවලින් ඉවත් කර ගෙන ඇතැම් විට වගා කර අපනයනය කරන බවට ව්‍යාජ කරුණු හුවාදක්වමින් රට පැටවූයේ ඉතාම තුච්ච ආකාරයටය. 

අද වන විට හූනන් පාදක කරගනිමින් ද ගොඩනැගී ඇත්තේ එම ජාවාරමේම තවත් කොටසකි. ඖෂධීය සංයෝග සඳහා මෙම හූනන් අල්ලාගෙන අපනයනය කිරීමට කටයුතු කරන බව කීවද මෙවැනි විනාශකාරී ජාවාරම් නිසා ඉතා බරපතළ පාරිසරික විනාශයන් සිදුවන බව නොකිවමනාය. විශේෂයෙන්ම විශේෂිත සත්ව කොටසක් මිලදී ගැනීමට ජාවාරම්කරුවන් ඉදිරිපත් වුවද තමන්ට ලැබෙන මුදලට වහල් වී ජනතාව ඉවක් බවක් නොමැතිව තමන්ට හසුවන සියලු සතුන් එක් රැස් කර රැගෙන ඒමට පෙළඹෙයි. එමගින් එම පරිසර පද්ධතිවලින් සතුන් විශාල වශයෙන් ඉවත් වී එහි ෙජෙව සමතුලිතතාවය බිඳ වැටෙයි. 

සතුන් ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් ගහනය පවත්වා ගෙන යාමට සිටිය යුතු අවම සංඛ්‍යාව හෝ නොමැති වීමෙන් ඉතා කෙටි කලක් ඇතුළත සත්ව විශේෂ වඳ වී යාමටද පටන් ගනී. තවද විශේෂයෙන් ජාවාරම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගනු ලබන්නේ ප්‍රමුඛව වර්ණ රටා සහිත, විශාල, නිරෝගී වනජීවීන් වන බැවින් ඔවුන් ගහනයෙන් ඉවත් වී යාම අදාළ ජීවී විශේෂයේ පැවැත්මට ඉතා බරපතළ ලෙස බලපායි. 

තමන්ගේ මව හෝ විකුණා මඩිය තරකර ගැනීමට තරම් සමහර ශ්‍රී ලාංකිකයින් පත්ව තිබිම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. අතීතයේ සමාජ ආර්ථික මිණුම් දඬු අනුව දරිද්‍රතාවයේ පහළ මට්ටමක සිටි ජාතියක් ලෙස හෝ මෙතරම් අවිනීත ආකාරයෙන් මුදල් පසුපස හඹා යන්නට ජනතාව පෙළඹුණේ නැත. නමුත් අද වන විට ආර්ථික සංවර්ධන නිර්නායකවල ඉහළට පැමිණ සිටින තත්ත්වයක් තුළ බළලුන් මරා හෝ මුදල් ඉපයීමට ඇතැම් පුද්ගලයින් නිර්ලජ්ජිත වී තිබිම පිළිකුල් සහගතය.

සජීවී සතුන් හා එම සතුන්ගේ කොටස් හා ශාක කොටස් අපනයනය කිරීම ලෝකයේ මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක් බව කිව යුතු නොවේ. එමගින් වාර්ෂිකව ජනනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ජාන සම්පත් මංකොල්ලයද ඒ අතර වෙයි. මහාපරිමාණ බහුජාතික සමාගම් අප වැනි අධික ෙජෙව විවිධත්වයක් සහිත දුප්පත් රටවලට ඉව අල්ලන්නේ එකී ජාන සම්පත් කොල්ලකා ගැනීමටය. දේශීය බුද්ධිමත් ප්‍රජාවද එකී ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්වී මෙරටට අනන්‍ය ෙජෙව සම්පත් බහුජාතික සමාගම්වලට ලබාගැනීමට මග පාදන බව නොකිවමනාය. එවැනි ජාන සම්පත්වලට අයත් පේටන්ට් බලපත්‍ර මගින් එකී බහුජාතික සමාගම් උපයන වාර්ෂික ආදායමට අපගේ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් ලබන ආදායම වඩා කිහිප ගුණයක් විශාලය. නමුත් මෙම ලෝක පරිමාණ ජාවාරමට මුහුණදීමට අපට තවමත් නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ උරග සම්පත් අයථා ආකාරයෙන් විදේශගත කර තම මඩිය තරකර ගැනීමටද පටු අවස්ථාවාදීන් කටයුතු කළ ප්‍රථම හෝ අවසාන අවස්ථාවද මෙය නොවන බව කිව යුතුය.
වරක් හිතවත් පරිසර සංරක්ෂණවේදියෙකු ප්‍රකාශ කළේ ලොව විශාලතම උරග අලෙවි ‍පොළක් වන ජර්මනියේ ඩ්චථථ ජ්චඪප හිදීද ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ කටුසු විශේෂ තුනක සජීවී සතුන් අලෙවිය පිණිස තබා තිබූ බවය. ගැටහොඩු කටුස්සන් කිහිප දෙනෙකු , කුරු බෝදිලිමුන් කිහිප දෙනෙකු සහ කඟමුව අං කටුසු පැටවෙකු ඒ අතර වූ බව කියවුණි. ඒ අතරින් ගැටහොඩු කටුස්සන් කුමන හෝ ආකාරයකින් විදෙස් රටවලට ගෙන ගොස් කෘත්‍රිමව දෘෂ්‍යාජනනය කර සුරතල් සතුන් ලෙස අලෙවි කරන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත අනුව නීතිමය ආරක්ෂාව ලබා ඇති මෙම කටුසු විශේෂවල පැවැත්මට බාධා එල්ල වන කුමන ආකාරයේ හෝ අකටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද මේ ආකාරයෙන් එම සතුන් හොර රහසේ රට පැටවීම විමතියට කරුණකි. අප ඉහත සඳහන් කළ කටුසු විශේෂවලට අමතරව තවත් බොහෝ දේශීය හා ආවේණික වනජීවීන් අප නොදැනුවත්වම විදෙස් රටවලට රැගෙන යාමට විවිධ පාර්ශ්ව කටයුතු කරන බව පරිසර ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙකුට රහසක් නොවන බව අපි සිතමු. මෙරට රේගු දෙපාර්තමේන්තුවේ ෙජෙව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ ඉතා කාර්යශූර නිලධාරීන් සිටින බවද පැහැදිලි කරුණක් නමුත් මේ ආකාරයෙන් අපේ ෙජෙව සම්පත් ඒ සියල්ලන්ටම හොරා රට පැටවීමට හැකි වී ඇත්තේ මෙම යාන්ත්‍රණයේ ඇති යම් කිසි අඩු පාඩුවක් නිසාද යන්න සොයා බැලීම ඒ සෑම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.


එසේම මෙරට සංචාරක කර්මාන්තයේ නියැළී සිටින මාර්ගෝපදේශකයින් හා ස්වභාවවේදීන්ද මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව අපි සිතමු. තමන් සමග සංචාරය කරන සංචාරක නඩය විසින් කරන කියන දෑ පිළිබඳව මනා සිහිනුවණින් යුතුව සිටීම හා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම ඔවුන්ගේ වගකීමකි. එසේ නොකරන විදේශිකයින්ගේ මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අපට ආවේණික ෙජෙව උරුමයන් ඔවුන්ට බිලිදී මල්ල පුරවා ගැනීමට ඔවුන් කටයුතු කළහොත් එය සැබැවින්ම ඔවුන් ස්වකීය විනාශය තමන් විසින්ම සිදුකර ගන්නෝ බව අවධාරණය කළ යුතුය. ඒ මන්ද යත් ඔවුන්ගේ රැකියාව මෙන්ම අනාගතයද රැඳී ඇත්තේ මෙම ආකර්ෂණීය වනාන්තර හා වනජීවී සම්පත් වල සුරක්ෂිත බව මත වන බැවිනි. මේ සම්බන්ධ සියලු වගකිව යුතු පාර්ශ්ව තම වගකීම් හා යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වගබලා නොගතහොත් නොබෝ දිනකදීම මෙම දුර්ලභ හා ආවේණික වනජීවී සම්පත් අධික මිලට පිටරටවල සිට මව් රටට ආනයනය කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. 

සුපුන් ළහිරු ප්‍රකාශ්

No comments:

Post a Comment