Wednesday 10 September 2014

මහින්ද රාජපක්ෂ මහතා පුටුවෙන් බස්සන මන්ත්‍රය මෙන්න

ආදරය කම්හලක හදන්න බැහැ. දයාව කිරලා දෙන්න බෑ. පාරවල් හදන එක පහසු දෙයක්. පාරවල් කාපට් කරන එකත් පහසු දෙයක්. හැබැයි මිනිසුන්ගේ හිත්වල තියෙන කුහකකම් නැති කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ තරමට අද වන විට මේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනය විනාශ වෙලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
පසුගියදා පස්සර නගරයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවකදී ඔහු එසේ පැවසීය.
සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේ පැවසීය.
මේ ආණ්ඩුව අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටු‍පොළවල් හැදුවේ දකුණේ. ඇවිදින මන්තීරු හැදුවේ බස්නාහිර පළාතේ. ඌවට කරපු දෙයක් නැහැ. බදුල්ල - මඩකලපුව පාර ඒ - 5 මාර්ගයක්. ඒත් කාපට් කරලා නෑ. හැබැයි දකුණේ කැලෑ කාපට් කරනවා. පස්සර හෝ බදුල්‍ලේ එකම කර්මාන්ත පුරයක්වත් නෑ. දැන් ඌවේ ජනතාව මේ ආණ්ඩුව මට්ටු කරන්න සූදානම් වෙන්න ඕනි. දැන් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකිනෙකා බිලි බා ගන්නවා. මොකද ඌව පළාත් සභාව පැරදුණොත් ලබන වසරේදී එන ජනාධිපතිවරණයත් පරදින බව ආණ්ඩුව හොඳටම දන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ දිනනවා යැයි හැඟෙන මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න මේ අය දැන් ගිවිසුම් ගහනවා. එක්සත් ජාතික පක්ෂයේ 67ක් එකවර ආණ්ඩුවට පැන්නා. විජමු පැන්නා. ඊට පස්සේ පුතා පාර්ලිමේන්තු ගියා. ලක්ෂ්මන් සෙනෙවිරත්න පක්ෂයෙන් පනියි කියලා මම මීට පෙර පස්සර රැස්වීමකදී කිව්වා. එයාට ඡන්දය දෙන්න එපා කියලත් කිව්වා. මොකද වුණේ ? යූ.එන්.පී. පිරිස් ලක්ෂ්මන් පාර්ලිමේන්තු යැව්වා. දැන් එයා මහින්දගේ ළඟ.
මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන. ඔබලාගේ හැඟීම වැරදි තැනකට යවන්න එපා. මහින්ද මහතා එජාපයේ ලොක්කන්ට හොඳට සලකනවා. නිදහස් පාක්ෂිකයෝ තළ තළා හිටිය ලක්ෂ්මන්ට ඇමැතිකමකුත් දුන්නා. විමල් වීරවංශ කිව්වා. අපි ආණ්ඩුවෙන් ඉවත්වී ඌවට තරග කරනවා කියලා. බදුල්‍ලේදී වෙන්වුණා. මොනරාගලදී එක්වුණා. බදුල්‍ලේදී මහින්ද මහතා නරකයිලු. මොනරාගලදී මහින්ද හොඳයිලු.
මුස්ලිම් ඡන්ද ගලවලා සන්ධානයට වාසි ගන්න මහින්ද මහතා හකීම්ටත් කොන්ත්‍රාත් දීලා. හකීම් ආණ්ඩුවට විරුද්ධ නම් ඇමැතිකම් දාලා එළියට බහින්න ඕන. මේ සත්‍ය තේරුම් ගන්න ඕන. දැන් සන්ධානයේ පළු එකින්නෙක ගැළවෙනවා. හෙළ උරුමයත් වෙන් වෙලා. රට අඳුරට. අගාධයට ගෙන යන මේ ආණ්ඩුව ගේම් ගහලා දිනන්න උත්සාහ කරනවා. මේක නවත්තන්න බැරි වුණොත් මේ රටට අනාගතයක් නැහැ. ඒ නිසා දැන් මහින්ද මහතා ආසනයෙන් බස්සන්න ඕනෑ. ලංකාවේ දේශපාලන කුණු ඔක්කොම එකතු වෙන්නේ සන්ධානෙට. හැබැයි මේ ආණ්ඩුවට ජවිපෙ කාරයෝ නම් බිලි බා ගන්න වෙන්නේ නෑ. අපේ පක්ෂය ප්‍රතිපත්තිගරුකයි. විනය ගරුකයි. ඕනෑම ආයතනයක හෝ ගෙදරක අපද්‍රව්‍ය බැහැර කරනවා. අපේ පක්ෂයේ විමල් වීරවංශටත් අපි ඒ දේ කළා.

No comments:

Post a Comment