Wednesday 12 November 2014

පොදු අපේක්ෂිකා සුනේත්‍රා බණ්ඩාරනායක

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු ‍අපේක්ෂකවරියක් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වැඩිමහල් සොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාවක් පසුගියදා කොළඹ සිනමන් ගාර්ඩ්න් හෝටලයේ පීච් වැලී නම් ස්ථානයේදී ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු අතර පැවැති සාකච්ඡාවකදී සිදුව ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් අද දින වාර්තා කරයි.
         ඒ අනුව මෙම සාකච්ඡාවේදී ඇය මේ සදහා වඩාත්ම සුදුසුකම් ඇති තැනැත්තියක් ලෙස හදුන්වා දී ඇති අතර ඒ සදහා වන සුදුසුකම් ලෙස සාකච්ඡාවේ නිරත වූවන් දක්වා ඇත්තේ කාන්තාවකගේ ඉදිරිපත් වීම ලංකා සමාජය විසින් ඉහලින් සැලකීමත් සුනේත්‍රාගේ පවුල් පසුබිම ලාංකීය ජනතාව ඉහලින් සැලකිය හැකි බව මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතාවගේ මනාපය ගැනීමට ඇයට සුවිශේෂී සුදුසුකමක්ද ඇති බව සැලකිල්ලට ලක්කිරීමත් සමඟය. පීඩිත ජනකොටස්වල අයිතින් වෙනුවෙන් කාලයක් පුරා විවිධ සමාජ සංවිධාන සමඟ වැඩකළ සුනේත්‍රා සම්බන්ධයෙන් සිවිල් සමාජය තුලද ඉහළ ප්‍රසාදයක් ඇති බව එම පිරිස් අතර කතා බහට ලක්ව තිබේ. එමෙන්ම සියළු පක්ෂ කොටස්වල මෙන්ම නව මුහුණක් නිසා  ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීමද පහසුවනු ඇති බවද එම පිරිසේ අදහස වී ඇත.

එසේම දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ සුනේත්‍රා බණ්ඩාරනායක යම්කිසි හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය මහින්ද රාජපක්ෂට වෙනත් කිසිවෙකුටත් වඩා ප්‍රබල අභියෝගයක් විය හැකි බවත්ය.

එසේම මේ පිරිස අතරෙහි වූ තවත් චරිතයක් පිළිබඳව යෝජනාවක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳවන මෛත්‍රී වික්‍රමසිංහ ගැනද සාකච්ඡාවට ගෙන තිබේ. සුනෙත්‍රා හා සමාන සමාජ සබඳතා සහිත කාන්තාවක වන මෛත්‍රී වික්‍රමසිංහද පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව සහිත බව මෙම පිරිසේ මතය වී තිබේ.

විශේෂයෙන්ම මේ වන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් දිනා ගැනීමේ ජනාධිපතිවරණය සටනට වඩා විස්වාසදායක අපේක්ෂිකාවන් දෙදෙනකු ලෙස සුනේත්‍රා හා මෛත්‍රී මෙම පිරිසේ පිළිගැනීමට ලක්ව තිබෙන අතර එසේම පොදු අපේක්ෂකයා ‍තෝරා ගැනිම සම්බන්ධයෙන් පක්ෂ හා කණ්ඩායම් අතර ඇති විවාදයන් ‍රැසක් මෙමඟින් අවමකර ගත හැකිවීම වඩා වැදගත් වනු ඇතැයි ද එම කණ්ඩායම සාකච්ඡා කර ඇත.

No comments:

Post a Comment