Wednesday, 12 November 2014

අපගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි.
මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ දී සතුටු වීම මිත්තා නම් වේ. එමෙන් ම යමෙක් ගේ කරදරයක දී ආරක්ෂාව සැපයීම ද මිත්ත නම් වේ. (තායතී යනු ආරක්ෂාවයි)

දිනක් බුදු හිමි අසල සිටි ආනන්ද හිමියෝ “ස්වාමීනි, සසුන් බඹසරෙහි අඩක් ම පවතින්නේ මිත්‍රත්වය පදනම් කොට ගෙන නොවේ ද?” යයි ඇසූහ. එවිට බුදු හාමුදුරුවෝ “ආනන්දය අඩක් නොව මුළු සසුන් බඹසර ම පවතින්නේ මිත්‍රත්වය මතය යනුවෙන් වදාළ සේක.
“සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා - අඤ්ඤමඤ්ඤං පියචක්‍බූහි සම්පස්සන්තා විහරාමාති”
ඛීරොදකීභූතා - කිරි + දිය මෙන් එකට මුසු වී අඤ්ඤමඤ්ඤං පියචක්‍ඛූහි සම්පස්සන්තා - ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇස් වලින් බලමින් සම්මොදමානා අවිවද මානා - සංවාද කරමින්, විවාද නොකරමින් මිත්‍රයන් කටයුතු කරන බව දේශනාවේ සඳහන් ව ඇත. සැළලිහිණියේ මෙසේ මිත්‍රත්වය ගැන කියයි.
“මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති”
මිත්‍රයා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරිය ම බලා සිටින්නා සේ පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණයකි.
එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් පිළිබඳ මෙසේ කියයි. “උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විජ්ලවෙ - රාජද්වාරෙ ස්මශානෙ - ය තිෂ්ඨති ස බාන්ධවා”
එනම්, යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි, ව්‍යසනයේ දී, යුද්ධයේ දී එකට සිටිය යුතුය. එසේ ම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට නැතහොත් රාජකීය දඬුවමකට යටත් වන විට, සොහොනට යන කල්හි එකට සිටින්නා මිත්‍රයෙකි. මෙසේ සියලු ස්ථානයන්හි දී වෙනස් නොවෙන්නා මිත්‍රයා ලෙස හඳුන්වනු ලැබේ. මේ පිළිබඳව බුද්ධ දේශනාවේ ඇතුළත් තවත් වැදගත් අවස්ථාවක් මෙසේ ය.
“තීහි භික්‍ඛවේ අඩ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො” - මහණෙනි, නියම මිත්‍රයෙක් කාරණා තුනකින් යුතු වේ. එනම්,
1. දුද්දදං දදාති - දෙන්න බැරි දේවල් දෙන්නා
2. දුක්කරං කරොති - කළ නොහැකි දේවල් කරන්නා
3. දුක්ඛමං ඛමති - ඉවසන්න බැරි දේවල් ඉවසන්නා
අද සමාජයේ සමහර මිතුරන් කළ හැකි දේ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. මුළු බුදු දහම මිත්‍රත්වය හා බැඳී පවතින බව පෙර ද සඳහන් කළෙමි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පාප මිත්‍ර හා කල්‍යාණ මිත්‍ර වශයෙන් කොටස් දෙකක් සිටින බව පැහැදිලි කළ සේක.
විමසා බලන්න, මා ඔබව මිත්‍රත්වයෙහිලා සලකන්නේ සැබෑවටම මිතුරන් ලෙසිනි... එහෙත් ඔබගේ හැසිරීම් කල්‍යාණ ගුණය පරයා පාපමිත්‍ර ස්වරූපයක් ගන්නා බව පෙනී යයි... අද මේ රටේ සිදුවන සෑම අකටයුතුකමකටම ප්‍රධාන හේතුව ඒ පාප මිත්‍ර ස්වරූපය නිසා එහි වරදකරුවන් වන්නේ ද ඔබමයි...

No comments:

Post a Comment