Wednesday 19 November 2014

තවත් පක්ෂයක් සන්ධානයෙන් එලියට

මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පාර්ශව කරුවෙකු වන 2009 යුද සමයේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඬක් නැගු මහාචාර්ය රජීව විජේසිංහ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය නොදීමට තීරණය කර ඇත. මහාචාර්යවරයා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේ රට භාර ගැනීමේ දී ජනතාවටත් ජාත්‍යන්තරයටත් දුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් අමතක කරනු ලැබ ඇති බවයි.
‘මීට මාසයකට පෙර අපි ප්‍රකාශනයක් කළා, මම ජනාධිපතිට ලියුමකුත් යැව්ව, අපි කිව්ව එකක් තමයි මේ ඡන්දෙ තියන්න එපා කියල. මේක කාලය නාස්ති කිරීමක්. ජනතාව අවුරුදු හයකට බලය දුන්නම සැරින් සැරේට ඡන්ද තියන එක වැරදියි.ආණ්ඩුවක් පත් කරන්නේ ආණ්ඩු කරන්න”. යනුවෙන් ඔහු කියා සිටියි.
පොරොන්දු වූ පරිදි ප්‍රතිසංස්කරණ සිද නොවන්නේ නම් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහය දීම කළ නොහැකි බව දැනුම් දුන්නද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් වී නැති බවයි මහාචාර්ය විජේසිංහ ප්‍රකාශකළේ.
ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා නොමැති ප්‍රතිසංස්කරණ මොනවාදැයි සංදේශය විමසූ විට ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය රජීව විජේසිංහ සඳහන් කළේ, දෙදහස් නමය වසරේ යුද්ධය ජයග්‍රහණය කළේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාව වෙනුවෙන් වුවද සුළු ජනතාව වෙනුවෙන් ඉන්දියාවට හෝ එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බැන්කී මුන් ඉදිරියේ දුන් පොරොන්දු ආණ්ඩුව ඉටු කර නැති බවයි.
පොරොන්දු ඉටුකර නැහැ
‘දෙවෙනි කරණය තමයි මම අගෝස්තු මාසෙ ජනාධිපතිතුමා සමඟ කතා කළා, මේ බොදුබල සේනාව විසින් මුස්ලිම් ජනතාව ඈත් කරමින් සිටීම ගැන. ඒක නරක වැඩක් කියල මම කිව්වම ජනාධිපති තුමා කිව්ව ‘නෑ නෑ ඒක කුමන්ත්‍රණයක්’ කියල. ඉතිං මම ඇහුව ඇයි ගෝඨාභය රාජපක්ෂ මේ කුමන්ත්‍රණයට ඇතුල් වෙන්නෙ කියල’ යනුවෙන් තම අප්‍රසාදය පළ කළ මහාචාර්යවරයා පැවසුවේ රට භාර ගැනීමේ දී ජනාධිපතිවරයා තුළ පැවති හොඳ අදහස් දැන් වෙනස් වී ඇති බවයි.
ඒ අකාරයටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට ගැනීම වැනි දේ ආදිය සලකා බැලීමේ දී තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු නැති බව හැඟී ගිය බවයි මහාචාර්ය රජීව විජේසිංහ ප්‍රකාශ කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන විපක්ෂයේ පොදු මතවාදය සමග එකඟවන්නේ දැයි විමසු විට මහාචාර්යවරයා කියා සිටියේ මෙම දේශපාලන ක්‍රියාවලීන් පිලිබඳ අධ්‍යයනය කරන්නේ ලිබරල් පක්ෂය පමණක් බවත් ලිබරල් පක්ෂයේ ස්ථාවරය වන්නේ ජනාධිපති නිලය අහෝසි නොකොට ජනාධිපති සතු බලය අඩුකළ යුතු බවයි.

No comments:

Post a Comment