Monday 4 August 2014

මෙන්න.. එන්න... ලේසියෙන්ම ණයක් ගන්න

ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය....

"ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක්‌ හරි හොයාගන්න බැරුවය"

"ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ණයට දෙන්නෙත් නැහැ,දුන්නත් උන්දැගේ පොලිය ගෙව්වම කැවිලි හදලා ලාබයක් ගන්න බැහැ අක්කේ "

උඹට  කීයක්විතර තිබ්බනම් ඇතිද?

"රුපියල් 10000 ක් තිබ්බෝත්නම් කළමනා ටික ගන්න ඇතිවෙයි මයේ හිතේ,තාච්චි ආම්පන්න ටිකනම් මයේ ගාව තියෙනවා."

එහෙනම් වරෙන් අද හවසට ප්‍රජා ශාලාවේ තියෙන අපේ සමිතියට.උඹට මේ වෙලාවේ උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ......

-------------------

මාතෘකාවට කෙලින්ම බහින්නේ නැතිව පොඩි කතාවක් ලිව්වේ වැඩේට ආරම්භයක් විදිහට.මේ වගේ කතා අපි කොතෙකුත් අපි අපේ ජීවිතවල අහලා අත්දැකලා තියෙනවනේ.ඉතින් අපි අද කතාකරන්න බලාපොරොත්තුවෙන ක්ෂුද්‍ර මූල්‍ය කියන අංශයේ අන්තර්ගතය ඔන්න ඔය ඉහතසිද්දවුණු කතාබහ ඇතුලේ තියෙනවා.ලෝකයේ බොහෝ රටවලට මේ ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ අළුත් දෙයක් වුනාට අපේ රටේනම් මේ නමින්ම නැතත් ඉස්සර කාලේ පටන්ම මේ ක්ෂුද්‍ර මූල්‍යක්‍රමය යම්පමනකට ක්‍රියාත්මක වුනා.ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පටන් ගත්තේ ග්‍රාමීය දිළිඳුකම ගමේ ජනතාව තුලින්ම ඇතිවෙන වැඩපිළිවෙලකින් අකාමකා දැමීමේ ප්‍රයත්නයක් හැටියට.

ඉතින් ක්ෂුද්‍ර මූල්‍ය කියන්නෙත් මේ වගේ දේකටම තමා.ක්ෂුද්‍ර මූල්‍ය කියන දේට ගොඩක් නිර්වචන තිබුනත් මෙන්න මේ විදිහට ඒ දේ සරලව දක්වන්න පුළුවන්...

"විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැකි,අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ ආරථික හා සමාජ තත්වය ඉහල නැංවීමට උපකාරී වන අයුරින් සපයන කුඩා පරිමාන මුල්‍ය සේවා ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හැඳින්විය හැකියි"

ටිකක් බර වචන තිබ්බත් කාටත් පැහැදිලි ඇති කියලා හිතනවා.මේක කියෙව්වම කෙනෙකුට ඉස්සෙල්ලම එන්න පුළුවන් ගැටලුව තමයි ඇයි කෙනෙකුට විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැක්කේ කියලා.ඒකටනම් හේතු ගොඩක් තියෙන්න පුළුවන්.අපි බලමු ඒ මොනවද කියලා..
  •  විධිමත්මුල්‍ය ආයතන වල පවත්නා නීතිරීති 
  • දුරස්ථභාවය 
  • අඩු මුල්‍ය සාක්ෂරතාවය 
  • අනන්‍යතාවය තහවුරු කිරීමේ ගැටළු 
  • මුල්‍ය  ආයතන වලින් ප්‍රතික්ෂේප කිරීම්
  • ස්වයංව හිතාමතා බැහැරවීම
ඔන්න  ඔය කියන හේතු එකක් හෝ කිහිපයක් නිසා සමහර ජනතාව විධිමත් මුල්‍ය ආයතන වෙතින් බැහැරවෙලා තියනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙලා තියෙන්නේ අඩු ආදායම්ලාභී ජනතාව වීම විශේෂයි.ලංකාවටත් වඩා මේ තත්වය ඉන්දියාව ,බංග්ලාදේශය වැනි රටවල දකින්නට තියෙනවා.ඒකනිසා තමයි නූතනක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ නව නැම්මක් ඇතිකළ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකුඇතිවෙන්නේ.මහාචාර්ය මොහොම්මඩ් යුනුස් විසින්  1976 දී මෙම බැංකුව පිහිටවන්නේ දිළිඳු කමින් පීඩා විඳින එහෙත් යම්කිසි ආදායම් උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති ජනතාව වෙත ලිහිල් සුරැකුම් යටතේ ණය ලබාදීමේ වැඩපිළිවෙලක් සමගයි.ගොඩ දෙනෙක් මේ 
ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ ආධාරමුදලක් ලබාදීමක් විදිහටත් හිතනවා.එය සම්පුර්ණයෙන්ම වැරදි නිගමනයක්.මෙය කිසිසේත්ම ආධාර මුදලක්නම් නෙමෙයි.අනෙක් ණය මුදලක් මෙන්ම මේවාද නිසිකලට ගෙවා නිමකළ යුතුයි.එහෙත් වෙනත් ණයවලට වඩා 
ක්ෂුද්‍ර මූල්‍ය යන්න වෙනස්වෙන්නේ එම මුල්‍ය පහසුකම් මගින් එය ලබාගන්නා ජනතාවගේ ආර්ථික තත්වය මෙන්ම සමාජ තත්වයද ඉහලනැන්වීමඅරමුණු කරගෙන තිබෙන නිසා.ඒ වගේම ඔවුනට දාරගත හැකි පොලියකට සහ ලිහිල් සුරැකුම් කොන්දේසි යටතේ ලබාදෙන නිසා.වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම සංවර්ධනය ඇතිකරවන්නේ ඔවුන් තුලින්ම පැනනගින ක්‍රියාවලියක් හැටියටයි.බංගලාදේශයට අමතරව ඉන්දියාව ,ඉන්දුනීසියාව වැනි රටවලත් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. 

අපි දැන් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ ලංකාවේ පසුබිම දෙසට හැරෙමුකෝ.මං කිව්වා වගේම ලංකාවේ ඒ කාලේ ඇතිවුණු සමූපකාර ව්‍යාපාරය මගින් බලාපොරෝත්තුවුනේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්වය එම ජනතාව මගින්ම ඇතිවන සංවිධානයක් මගින් පලවාහැරීමයි.ඒ යටතේ ග්‍රාමීය බැංකුව සහ පසුකාලීනව මහජන බැංකුව වැනි ආයතනත් බිහිවුනේ අර මුලින් කිව්ව අරමුණම ඇතිව තමා.වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම ඇතිව ශ්‍රී ලංකාව පුරාම කුඩා කණ්ඩායම් ක්‍රමය මගින් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයකුත් සංවර්ධන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා.ඒ යටතේ කුඩා කණ්ඩායම් ඇති කිරීමත් ඒ මගින් අඩු ආදායම්ලාභී ජනතාවගේ ඉතිරිකිරීම් වැඩිදියුණු කිරීම,සමාජ සජීවීකරණ ක්‍රියා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය කිරීම සිදුවෙනවා.අන්න ඒ විදිහට පිහිටවපු සමිතියක් ගැන තමයි අපි ඉස්සෙල්ලම සඳහන් කරපු දෙබසේ කතාවුනේ.

 ක්ෂුද්‍ර මූල්‍යකරණයෙන් බලාපොරොත්තුවෙන කරුණු දෙකක් තියෙනවා.ඒ තමයි...
  •  ඉලක්කගත අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත ඔවුනට දැරිය හැකි මිලකට මුල්‍ය පහසුකම් ලබාදීම.
  • එමගින් ඔවුන්ගේ දුප්පත්කම අඩුකරලීම.                                                                                                                                                                                      මේ පිළිබඳව වැඩිදුර විස්තර තවත් ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment