Tuesday 24 September 2013

ආනන්දිගේ නිවසට පහර දුන්නේ 'ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව'


N Gopalasamy


උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
සැප්තැම්බර් විසි වැනි දින උදෑසන ආනන්දි සසීහරන්ගේ නිවසට කඩා වැදුණු පිරිසක් එහි සිටි ඇයගේ ආධාරකරුවන්ට පහර දී දේපොළවලට ද අලාභහානි සිදු කළහ.
මැතිවරණ නිරීක්ෂකයෙකුටද එහිදී තුවාල සිදුවූ අතර පිරිස කඩා වැදුනු අවස්ථාවේ අපේක්ෂිකාව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇයගේ ආධාරකරුවන් සමත් වී තිබේ.
ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක්ද ප්‍රහාරකයන් අතර සිටි බව පැවසූ දෙමළ ජාතික සන්ධානය, සිය අපේක්ෂික්කාවගේ නිවසට කඩා වැදුනේ ආරක්ෂක හමුදා සාමාජිකයන් බවට චෝදනා කළ නමුත් හමුදාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයෝ
කෙසේ නමුත්, ප්‍රහාරකයන් හමුදා භටයන් බවට තමන්ට 'සියයට එකසිය එකක්' සහතික බවයි, දකුණු ආසියානු නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියා සිටියේ.
2006-2009 කාලය අතරතුර ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වන එන් ගෝපාලසාමි එල්ලකරන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය චාර්ල්ස් හැවිලන්ඩ්ට පැවසුවේ එය දේශපාලන අරමුණක් සහිත පුද්ගලයන් විසින් නගන චෝදනාවක් බවයි.
ආනන්දි සසීහරන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට භාර වීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින එල්ටීටීයේ හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක එලීලන් ගේ බිරිඳයි.
මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම, උතරේ මැතිවරණ සමය තුල විශාල හමුදා පිරිසක් රඳවා සිටීම විශ්වසනීය මැතිවරණ ක්‍රියාදාමයකට ප්‍රබල බාධාවක් වූ බව සඳහන් කරයි.
එහෙත් හමුදා ප්‍රකාශකයා එම චෝදනාවද ප්‍රතික්ෂේප කරයි.
-

No comments:

Post a Comment