Wednesday 25 December 2013

සංධානයේ පිපිරිම පා .ම ශාන්ත බණ්ඩාරගෙන් ඇරබේ..

දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සමඟ එක්ව අලව්ව ප්‍රාදේශීය සභා අය-වැය පරාජය කිරීමට ක්‍රියා කළේ යැයි හිටපු සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් මහතා චෝදනා කරයි.

ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ තම ඥාතියකු, සභාපති පුටුවේ වාඩි කරවීම දඹදෙණිය ආසන සංවිධායකවරයා අරමුණ විණැයි පවසන මුහන්දිරම් මහතා අලව්ව ප්‍රාදේශීය සභා අය-වැය පරාජය කිරීමට ආසන සංවිධායකවරයා කළ කුමන්ත්‍රණ සාර්ථක වීමත් සමඟ ඔහුගේ එම අරමුණද ඉටුව ඇතැයි පෙන්වා දුන්නේය.

අය-වැය දෙවැනි වර ඡන්ද විමසන අවස්ථාවේදී ප්‍රාදේශීය සභා භූමියට පොලිස් නිලධාරීන් පවා කැඳවීමට ආසන සංවිධායකවරයා ක්‍රියා කර තිබූ බව පවසන ඒ මහතා ඔහු දිගින් දිගටම අලව්ව ප්‍රාදේශීය සභාවට කෙනෙහිලිකම් කළ බවද කීය.
ඒකාබද්ධව පැවැති නාරම්මල හා අලව්ව වෙන්කර 2011 වර්ෂයේ අලව්ව ප්‍රාදේශීය සභාව වෙනම පිහිටුවීමෙන් පසු සභාපති ධුරයට පත්වූ තමා ප්‍රාදේශීය සභාවට හිමිවූ අඩු සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගෙන කටයුතු කර වයඹ පළාත් පාලන ආයතන අතර 2013 වර්ෂයේ පැවැති කාර්යසාධන තරගාවලියෙන් අලව්ව ප්‍රාදේශීය සභාව හයවැනි තැනට ගෙන ඒමට සමත්වූ බවත් මුහන්දිරම් මහතා පෙන්වා දෙයි.

තම සභාපතිත්වය යටතේ අලව්ව ප්‍රාදේශීය සභාවෙන් ඉටුකළ කාර්යභාරය පිළිබඳ ප්‍රදේශයේ ජනතාවගේ මතය විමසන ලෙස පක්‍ෂයෙන් ඉල්ලා සිටි මුහන්දිරම් මහතා තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් අලව්ව ප්‍රාදේශීය සභාවට ගෙන ආ හොඳම අය-වැය පරාජය කිරීමට දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා ක්‍රියා කළ බවද කීය.

තම පළමු ඡන්දයට පමණක් හිටපු සභාපතිවරයා තමන්ට උදවු කළ බව දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා පැවසුවද ඔහුගේ දේශපාලන ජීවිතයට පක්‍ෂය වෙනුවෙන් තමන් තරම් උදවු කළ වෙනත් අයකු ආසනයේ නැති බවත් සිහිපත් කළේය.

ඉකුත් වයඹ පළාත් සභා මැතිවරණයේදී ආසන සංවිධායකවරයා සහාය දැක්වූ අපේක්‍ෂකයාට තමන් සහාය නොදැක්වීම හේතුවෙන්ද අවස්ථා ගණනාවකදී තමන්ට එරෙහිව ඔහු කටයුතු කළ බවද මුහන්දිරම් මහතා පැවැසීය.

දඹදෙණිය ආසනයේ පක්‍ෂ ශාඛා සමිති සංඛ්‍යාව තුනේ සිට එකසිය හතළිහ දක්වා වර්ධනය කිරීමේ සිට ආසනයේ සියලු කටයුතු වෙනුවෙන් තමන් කළ කැපකිරීම් අමතක කර කටයුතු කරන දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා තරම් ගුණමකුවකු තවත් නැති බවද ඒ මහතා අවධාරණය කළේය.

ප්‍රාදේශීය සභා අය-වැය පරාජය කිරීම පසුපස උප සභාපතිවරු සිටින බැවින් ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන බවට පක්‍ෂය තීරණය කළද අලව්ව ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස දඹදෙණිය ආසන සංවිධායකවරයාගේ ඥාතියකු වන හිටපු උප සභාපතිවරයා පත්කිරීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය.

No comments:

Post a Comment