Wednesday 25 December 2013

කූඩු ගැන සජිත් ප්‍රේමදාස කියන කතාව

රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩු ව්‍යාප්ත වීමට ඉඩ සැලසීම නිසා ශ්‍රී ලාංකික සමාජය භයානක ලෙස පිරිහෙමින් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.
හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ දරු දැරියන් සඳහා ටිකිරි ළමා ඉතිරිකිරීමේ ගිණුම් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේ මෙලෙසිනි.
කවදත් ආදර්ශවත් දිවි පෙවතක් ගත කරන බව ලොවට පෙන් වූ ශ්‍රී ලාංකිකයන් වන අප මේ වන විට ඉතා භයානක ලෙස පිරිහෙමින් සිටිනවා. අවුරුදු දහස් ගණනක් පුරා පැවති අපේ රටේ කීර්ති නාමය පලුදු වෙමින් පවතිනවා. එයට ප්‍රධාන හේතුව මත්කුඩු වසංගතය සහ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන වෙනත් දුරාචාරයි. රටේ ජනතාව මේ ව්‍යසනවලට ගොදුරු වෙමින් විනාශයට පත්වනු දැකීමට ලැබිම බරපතළ ඛේදවාචකයක් වගේම අවාසනාවක්. අපට තිබුණු ‍පොහොසත් සංස්කෘතිය, සංවේදී ගති පැවතුම් සියල්ල විනාශ වෙමින් පවතිනවා.
‍පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය නොබෝදා ප්‍රකාශ කළේ වෙන කවර කාලයකටත් වඩා මෙම වසරේදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ බවයි. පසුගිය දා දකුණු ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේදී අල්ලා ගැනීමත් සමග මෙය කොතරම් බරපතළ තත්ත්වයකට පත්ව ඇද්ද කියා ඔප්පු වී තිබෙනවා. මත්කුඩු කන්ටේනරයක් නැවකින් ප්‍රසිද්ධියේ මෙරටට එවන්නට තරම් වෙනත් රටක මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු කිසිදු බියක් සැකක් නොමැතිව පෙළඹීම සුළුපටු කාරණයක් නොවෙයි. මේ ආකාරයෙන්ම මීට පෙර තවත් කොපමණ මත් කුඩු තොග මෙරටට රැගෙන එන්නට ඇත්ද කියා අප කල්පනා කර බැලිය යුතුව තිබෙනවා.
මෙය හැඳින්විය හැක්කේ ‘ආසියාවේ කුඩු ආශ්චර්යය’ කියායි. නීති විරෝධී මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් හැටියට අපේ රට හංවඩු ගැසෙමින් පවතිනවා. නුරුදු අනාගතයේදීම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන මත්කුඩු මධ්‍යස්ථානය බවට පත්වීමේ අවදානම මේ වන විට බැහැර කළ නොහැකියි. දැන් සිදු වෙමින් පවතින්නේ ඉක්මනින් මුදල් හරි හම්බ කිරීමට කලු සල්ලිකාරයන් මේ ව්‍යාපාරයට බියක් සැකක් නැතිව අත ගැසීමයි. ඔවුන් පාලක පක්ෂයේ දේශපාලනඥයන්ට නිර්ලෝභීව මුදල් වියදම් කර ඔවුන්ගේ මිතුරන් බවට පත් වනවා. ඉන් පසුව දේශපාලනඥයන් තමන්ට උපකාර කළ මිතුරන්ට උපකාර කරන්නට පෙළඹෙනවා. අද මත් කුඩු ජාවාරම ඉහළ පෙළේ පුද්ගලයන්ගේ ආධාර උපකාර ඇතිව සිදු වන නිසා එය පාලනය කිරීමට අපහසු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
නොබෝදා අත්අඩංගුවට පත්වූ විශාලම මත්කුඩු තොගය සහිත කන්ටේනරය නිදහස් කර ගැනීමට මැදිහත් වූ පුද්ගලයා මේ රටේ අග්‍රාමාත්‍යවරයාගෙන් වැටුප් ලබන එතුමාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙක් වීම ගැන මේ රටේ ජනතාව පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු වරාය බලධාරීන්ට මේ කන්ටේනරය ප්‍රමාද ගාස්තු අය කර ගැනීමෙන් තොරව නිදහස් කරන ලෙස ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. එසේ මැදිහත් වෙමින් ඔහු එය නිදහස් කර දීමට රාජ්‍ය බලය අනියමින් යොදා තිබෙනවා. මේ සිද්ධියෙන් මුළු ආණ්ඩුවම අපකීර්තියට පත් වුණා. වත්මන් පාලනයට එහි වගකීමෙන් නිදහස් වීමටද නොහැකියි. මන්ද, ජනතාව ආණ්ඩුව බලයට පත් කළේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා රට සුඛිත මුදිත කරන්නට මිස කුඩු ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාර තර කරන්නට, ආරක්ෂා කරන්නට නොවන නිසයි.
දැනටමත් මත්කුඩු උවදුරට ගොදුරු වුණු මේ රටේ යොවුන් වියේ පිරිස ලක්ෂ ගණනක් වනවා. දස ලක්ෂ ගණනක් පාසල් දරු-දැරියන් පිරිසක් මේ උවදුරට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ඔවුන් ඊට ගොදුරු කර ගැනීමට හිත් පිත් නැති රකුසන් පිරිසක් මාන බලමින් සිටිනවා. ක්‍රමාණුකූල අධ්‍යාපනයක් ලබා මේ රටේ අනාගතයට දායාද විය හැකි වයසේ පසුවන යෞවන - යෞවනියන් මත් කුඩු ලෝලීන් බවට පත් වුණොත් ජාතියක් වශයෙන් අපේ ඉරණම කුමක් විය හැකිද යන්න පළමුවෙන්ම කල්පනා කළ යුත්තේ රටේ පාලකයන් විසිනුයි. එහෙත් සිදු වන්නේ එහි අනෙත් පැත්තයි. පාලකයන් ඇස්-කන් වසාගෙන සිටිනවා. ඔවුන්ගේ අනුග්‍රහය ලබන පුද්ගලයන් මේ දුෂ්ඨ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා. උපයන ලාභයෙන් කොටසක් අනුග්‍රහය ලබා දෙන බංකොළොත් දේශපාලකයන්ගේ සුඛ විහරණයට වැය කරනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් සිටින පවුල්වල කතාව ඉතා කනගාටුදායක එකක්. දෙමාපියන්ගේ මුදල් සොරකම් කරගෙන ගිහින් කුඩු පාවිච්චි කරන දරුවන්, දෙමාපියන්ට තර්ජනය කර මුදල් සොයා ගන්නා, ගෙදර භාණ්ඩ විකුණා මුදල් සොයා ගන්නා දරුවන් ඒ පවුල්වල පැවැත්මට විශාල ගැටලුවක් වී තිබෙනවා. එපමණක් නොව එසේ මුදල් සොයා ගත නොහැකි වූ විට සොරකමට පෙලඹෙන නිසා ඔවුන් අසල්වාසීන්ටද තර්ජනයක් වී තිබෙනවා. කොටින්ම කිවහොත් මේ කුඩු කාරයන් මේ මුළුමහත් සමාජයටම මහත් පිළිලයක් වී තිබෙනවා. මේ අවාසනාවන්ත උවදුරින් රට මුදා ගන්නවා වෙනුවට මහා පරිමාණයෙන් කන්ටේනර් තොග ලෙස මෙරටට කුඩු ගෙනැවිත් බෙදා හැරීමේ ව්‍යාපාර ඇරඹී තිබෙනවා. ඒවා පසුපස පවතින දේශපාලන අනුග්‍රහය හෙළි වෙමින් තිබෙනවා.
මේ උවදුරින් මේ රට මුදා ගැනීමට අවස්ථාවක් ඇත්තේම නැද්ද ? ජන ජීවිතය සුරක්ෂා කරන්නට පාලකයන්ට උවමනාවක් ඇත්තේම නැද්ද? මේ ගැන අප වහා ගැඹුරින් කල්පනා කළ යුතුව තිබෙනවා. ජනතාව ගම් මට්ටමින්, නගර මට්ටමින්, සමාජ මට්ටමින් එක්වී සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
පසුගියදා මෙරට ස්වේච්ඡා සංවිධාන ගණනාවක ප්‍රධානීන්ගෙන් සමන්විත තරුණ පිරිසක් මා හමුවීමට හම්බන්තොටට පැමිණියා. ඔවුන් ආවේ මේ වනවිට බලවත් ගැටලුවක් වෙමින් පවතින ‘කුඩු වසංගතය’ ගැන මා සමග සාකච්ඡා කිරීමටයි. අපේ රට කලාපයේ ප්‍රධාන කුඩු තිප්‍පොළ බවට පත් වන්නට පෙර ගතයුතු ක්‍රියාමාර්ග ගැන අප බොහෝ වේලාවක් සාකච්ඡා කළා. එහිදී මා ඔවුන්ට පෙන්වා දුන්නේ දේශපාලන නායකත්වයක් ඇතිව පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම එකතු වුවහොත් මේ තත්ත්වය මර්දනය කළ හැකි බවයි. දුරාචාරය, කුඩු සංස්කෘතිය, සුරාව, සූදුව රජ වෙමින් රට නරක දිශාවකටයි ගමන් කරන්නේ. ඒවාට එරෙහි වන අය මර්දනය කිරීම සඳහා බලය කේන්ද්‍ර කරගෙන වෙනම වැඩසටහන් දියත් වෙනවා. අවසානයේදී මේ සියල්ලෙන් හානියක් සහ අගතියක් සිදුවන්නේ රටටයි. එනිසා මේ උවදුරුවලින් රටත්, තරුණ පරපුරත් බේරා ගන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්නට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමට මා සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හුංගම

No comments:

Post a Comment