Tuesday 17 December 2013

කතෝලික ආගමට අපහස කළා බැවින් ..,කෙහෙළිය ඉල්ලා අස්වෙයිද?

කතෝලික සභාව හෝ වෙනත් ඕනෑම සභාවකට යෝජනා ඉදිරිපත් කළ හැකි වුවත් තමන් රට පාලනය කරන්නේ ජනතාවට ලබා දී තිබෙන ප්‍රතිඥා මත පමණක් බව රජය ප්‍රකාශ කරයි.
රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ, කතෝලික අගරදගුරු සම්මේලනය අනුශාසනා පත්‍රයකින් ආණ්ඩුවට කර තිබෙන යෝජනා පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී.

"අපි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා, කලින් කලට එක එක්කෙනාට මේ සභාව අර සභාව කියන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන්න නීතියෙන් ඉඩකුත් නැහැනේ," යනුවෙන් ඇමතිවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී.

උතුරු නැගෙනහිර පළාත් වලට සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කළ යුතු බවට සහ උතුරේ රඳවා සිටින හමුදා සාමාජිකයන් අඩු කළ යුතු බවට අදාල අනුශාසනා පත්‍රයේ සඳහන් යෝජනා පිළිබඳව රජයේ මතය කුමක්ද යන්න සංදේශය ඇමතිවරයාට යොමු කළ තවත් ප්‍රශ්නයක්.

"මේක හැම පැත්තෙන්ම එන චෝදනාවක්නේ? ඒක කතෝලික සභාව මම නම් වශයෙන් කියනවා රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ, ඔවුන්ට කථා කළේ සටන්කාමීන් හැටියට, විමුක්තිකාමීන් හැටියට ඉතින් එවැනි පසුබිමක් තියෙන්නේ," යන්න ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ ප්‍රතිචාරයයි.

ආණ්ඩුවේ පළාත් පාලන ආයතනවල අය වැය පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ, ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන දෙසිය ගණනකින් අය වැය පරාජය වී ඇත්තේ ආයතන අටක පමණක් බවයි.

නව පණතට අනුව එලෙස දෙවතාවක් පරාජය වී ඇති පළාත් පාලන ආයතනවලට නව සභාපතිවරු පත් කිරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පිළි ගත්තේය.

එසේ අය වැය පරාජය වීමට හේතු විය හැකි කරුණු පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, "උප සභාපති සභාපති වෙන්න උත්සාහ කරන්න පුළුවන් පෙළක් තැන්වල, සමහර තැන්වල සංවිධායක තුමත් එක්ක ප්‍රශ්න ඇති, එහෙමත් නැත්නම් සභාපති එකදිපතියෙක් විදිහට කටයුතු කරනවා ඇති," යනුවෙන් කියා සිටියේය.

හෙරොයින් තොගයක් නිදහස් කරන ලෙස අගමැති කාර්යාලයෙන් යැවු ලිපිය පිළිබඳවද මාධ්‍යවේදීහු අමාත්‍ය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළහ.

"මේ වෙනකොට අදාල පුද්ගලයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් දීල තියෙනවා. පරීක්ෂණයක් කෙරෙනවා පරීක්ෂණවලින් පසුවයි ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න වෙන්නේ," ඔහු පැවසීය.

ජනතාව පිට දිගින් දිගටම බදු පනවන ආණ්ඩුව පසුගිය සති අන්තයේ කොළඹ පැවති මෝටර් රථ ධාවන තරඟ බදු වලින් නිදහස් කළේ මන්දැයි යන්න ඇමතිවරයාට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්.

"ඒක වසරකට සැරයක් තියෙන දෙයක්. දෛනික බදු ඒකත් එක්ක පටලව ගත යුතු නැහැ," බවයි, එයට ප්‍රතිචාර වශයෙන් ඇමතිවරයා පවසන්නේ.

"ඒකත් එක්ක තියෙන ප්‍රතිලාභ බැලුවොත් ලෝකයේ දියුණු සංචාරක ව්‍යාපාර තියෙන රටවල ලොකු වියදමක් දරල මේ තරග පවත්වන්නේ. ඒ හරහා ලොකු අදායමක් බලොපොරොත්තු වෙනවා වක්‍ර විදිහට, ඒකට ආරම්භයක් දෙන්න තමයි එහෙම කළේ."

No comments:

Post a Comment