රියදුරාගේ ජීවිතය බේරා ගැනීමට එක් වෙඩිල්ලක් සැකකරු දෙසට මුදා හැරියා – මාමස්මිගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී පොලිස් පරීක්ෂක අජිත් කුමාර සාක්කි දෙයි
පොලිස් පරීක්ෂක සාගර මහතාගේ අණ කිරීම මත මම
රියදුරුගේ ජීවිතය බේරාගැනීම සඳහා මාගේ පිස්තෝලයේ එක් වෙඩිල්ලක් සැකකරු
මාමස්මි දෙසට මුදා හැරියැයි පොලිස් විශේෂ බළකායේ පොලිස් පරීක්ෂක අජිත්
කුමාර මහතා පැවසීය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා ද අල්විස්
මහත්මිය හමුවේ ඊයේ (08) පැවැති මේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට සාක්කි දෙමින්
සාක්කිකරු එසේ පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප්
රත්නායක මහතා විසින් මෙහෙයවන ලද සාක්කියේ වැඩිදුරටත් සාක්කි දුන් උප පො.ප.
හල්පවත්තගේ අජිත් කුමාර මහතා මෙසේ ද කීය.
ස්ථානාධිපති සාගර මහතා සමඟ මහා පරිමාණ
හෙරොයින් ජාවාරම්කරුවෙකු කප්පම් ගැනීම්, මිනී මැරුම් හා ස්ත්‍රී දූෂකයෙකු
වන ජනතාව පීඩාවන්ට පත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අප එදින පිටත්
වුණා. රාත්‍රී 2.00ට පමණ අවි ගබඩාවෙන් උණ්ඩ 12 සහිත පිස්තෝලයක් ද ගෙන
කණ්ඩායම පොලිස් ස්ථානයෙන් පිටත් වුණා.
පොලිසිය – මෙම කණ්ඩායමේ අණ දෙන නිලධාරී කවුද?
සාක්කිකරු – පොලිස් පරීක්ෂක සාරංග මහතා
ෙපාලිසිය – මෙම මෙහෙයුම සඳහා කුමකින්ද පිටව ගියේ ?
සාක්කිකරු – ඩබ්ලිව්.පී.කේ.1152 දරන ඩිෆෙන්ඩර් රථයෙන්
පොලිසිය – එම මෙහෙයුමේ රාජකාරිය කුමක්ද?
සාක්කිකරු – යම් කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි.
පොලිසිය – එම කණ්ඩායම කොහේටද ගියේ?
සාක්කිකරු – 159 මාලිගාවත්ත ප්‍රදේශයට ගියා.
පොලිසිය – එම ප්‍රදේශයට ගිහිල්ලා ඔබ මොකද කළේ?
සාක්කිකරු – උප පොලිස් පරීක්ෂක අබේනායක
නිලධාරි ඇතුළු කණ්ඩායම 159 වත්ත වටා ආරක්ෂක රාජකාරි සඳහා පිටව ගියා. මා
පොලිස් පරීක්ෂක සාගර ගුණසේකර ඇතුළු නිලධාරීන් සමඟ තොරතුරු ලද නිවසට ගියා.
පොලිසිය – එහිදී මොකද වුණේ?
සාක්කිකරු – පොලිස් පරීක්ෂක සාගරසැකකරුගේ
නිවසේ දොරට තට්ටු කළා. එවිට එම නිවසේ ඇතුලේ සිටි කාන්තාවක් පැමිණ දොර විවෘත
කළා. පසුව සාගර මහතා අපි පොලිස් විශේෂ බළකායේ නිලධාරීන් බවට එම කාන්තාවට
අනන්‍යතාව තහවුරු කළා. එම නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව දන්වා එම නිවෙස
තුළට පොලිස් පරීක්ෂක සාගර, පොලිස් පරීක්ෂක සම්පත්, උප පොලිස් පරීක්ෂක
ප්‍රේමලාල්, උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් කොස්තාපල් (6924) ලක්මාල්,
කාන්තා පොලිස් කොස්තාපල් (2009) නේරංජලා යන නිලධාරීන් මා සමඟ ඇතුළු වුණා.
පොලිසිය – ඔබ එම නිවසේ කොහේද පරීක්ෂා කළේ?
සාක්කිකරු – මා එම නිවසේ දෙවන මහලට ගියා.
පොලිසිය – දෙවන මහල යනුවෙන් ඔබ අදහස් කළේ කීවෙනි තට්ටුවද?
සාක්කිකරු – පළමු තට්ටුව අපි කාමරයට
ඇතුළුවනවාත් සමඟ අපි දැක්කා පුද්ගලයකු එම කාමරයේ ජනේලයෙන් ඉවතට පැන යාමට
උත්සහ කරනවා. අපේ නිලධාරීන් එතැනට දිව ගොස් එම පුද්ගලයා බඳලා අල්ල ගත්තා.
පොලිසිය – ඔහුගේ නම හඳුනා ගත්තද?
සාක්කිකරු – ඔහු මාමාස්මි බවට හදුනා ගත්තා.
රියදුරු බලපත්‍රය ඔහු සතුව තිබුණා. එම රියදුරු බලපත්‍රයට අනුව මාමාස්මි
නොහොත් කාදර් මොහිදීන් අස්මි බවට තහවුරු කර ගත්තා.
පොලිසිය – ඊට පස්සේ මොකද කළේ.
සාක්කිකරු – සැකකරුව සාගර මහතා බාරයේ රඳවා
තිබියදී පොලිස් පරීක්ෂක සම්පත් එම කාමරයේ ඇඳ යට තිබී සුදු පැහැති ෙපාහොර
උරයක් එළියට ගත්තා. ඒ තුළ ලී මිට සහිත ටී 56 ගිනි අවිය, ටී 56 ජීව උණ්ඩ 30
ක් පිර වූ මැගසීනයක් හා ජීව අත්බෝම්බ තිබුණා. නිලධාරීන් කණ්ඩායම සැකකරු හා
නඩු භාණඩ සමඟ ජීප් රථයට නැංගා.
පොලිසිය – කොහේද ගියේ?
සාක්කිකරු – ස්වාමීනි, ජීප් රථය කඳවුර දෙසට එන්න පිටත් වුණා.
පොලිසිය – අතරමඟදී වාහනය නැවැත්තුවා ද?
සාක්කිකරු – ඔව්, සැකකරුගේ ප්‍රශ්න කිරීම සඳහා කඳවුරට යන අතරමඟදී නිදහස් චතුරස්‍රය අසල ප්‍රදේශයේ වාහනය නැවැත්වූවා.
පොලිසිය – ප්‍රශ්න කළාද?
සාක්කිකරු – කණ්ඩායම් බාර පොලිස් පරීක්ෂක සාගර මහතා එම ස්ථානයේදී ඔහුගෙන් ප්‍රශ්න කළා.
පොලිසිය – යම් කරුණක් අනාවරණය වූවා ද?
සාක්කිකරු – ඔව්, සැකකරු විසින් ප්‍රකාශ කර
සිටියා. ඔහුගේ කණ්ඩායමේ ළඟම සාමාජිකයෙකු වන බොරැල්ල පදිංචි දුෂාන්ත නමැති
පුද්ගලයා සතුව තවත් පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ තිබෙන බව
පොලිසිය – ඉන්පසු මොකද කළේ ?
සාක්කිකරු – ඉන්පසු අප නිලධාරි කණ්ඩායම මේ
වන විට දෑත්වලට මාංචු දමා තිබූ සැකකරු ද රැගෙන ජීප් රථයෙන් සැකකරු විසින්
පවසන ලද දුෂන්ත නමැති පුද්ගලයා හා එම නීතිවිරෝධී අවිආයුධ පුපුරන ද්‍රව්‍ය
අත්අඩංගුවට ගැනීමට එම ස්ථානයට පිටත් වුණා.
පොලිසිය – ඔබ ගියේ මොන මාර්ගයේ ද?
සාක්කිකරු – එම ස්ථානයේ සිට සරණ පාර ඔස්සේ එම ස්ථානයට යෑමට පිටත් වුණා.
පොලිසිය – නිලධාරී වාඩි වී සිටි ආකාරය පැහැදිලි කරන්න.
සාක්කිකරු – පොලිස් කොස්තාපල් (15696)
රාජකරුණා පැද වූ අතර පොලිස් පරීක්ෂක සාගර ඉදිරිපෙළ වම් අසුනේ සිටියා. එම
රියදුරු අසුනට පිටුපසින් දකුණු පැත්තේ සැකකරු මාමස්මි රැඳී සිටියා. සැකකරුට
පිටුපසින් පොලිස් කොස්තාපල් ලක්මාල්, උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් රැඳී
සිටියා. පොලිස් පරීක්ෂක සාගර පිටුපස වාහනයේ වම්පස පොලිස් පරීක්ෂක සම්පත්
නිලධාරියාද ඊට පිටුපසින් මා ද මාගේ පිටුපසින් උප පොලිස් පරීක්ෂක ජයලත් ද
අසුන්ගෙන සිටියා.
පොලිසිය – ගමන් කිරීමේදී සිදුවීමක් වූවා ද?
සාක්කිකරු – සරණ පාරේ වම්පැත්තට ඇති වංගුව
අසල දී ඉදිරියට ජීප් රථය ඇදුණා. වංගුව ආරම්භයත් සමඟ එකවරම සැකකරු විසින්
“මට උන්නත් එකයි, මලත් එකයි” කියා වේගයෙන් කෑ ගැසුවා. ඔහුගේ මාංචු සහිත
දෑත් දෙක රියදුරු අසුන ඉදිරියට දමා රියදුරුගේ බෙල්ල රියදුරු අසුනට තදවන
පරිදි හිරවනසේ මාංචු කුට්ටම දමා පිටුපසට ඇද්දා.
පොලිසිය – ඉන්පසු මොකද වුණේ?
සාක්කිකරු – එම මොහොතේ ධාවනය වූ වේගයට තරමක්
වැඩි වේගයෙන් වාහනය දකුණු පැත්තට රියදුරු පාලනයකින් තොරව ඇදී ගියා. එවිටට
මා දැක්කා පොලිස් පරීක්ෂක සාගර මහතා විසින් එක් අතකින් සුක්කානම පාලනය
කරන්න උත්සාහ දරනවා. අනෙක් අතින් සැකකරුගේ ග්‍රහණයට ලක් වී සිටින රියදුරු
බේරා ගැනීමට උත්සාහ දරනවා.
පොලිසිය – ඉන්පසු මොකද වුණේ?
සාක්කිකරු – ඒ මොහොත වන විටත් රියදුරුගේ
බෙල්ල පැත්තකට පාත් වී තිබුණා. එම කලබලය අස්සේ අප රියදුරුගේ ජීවිතය බේරා
ගැනීමට හා තත්ත්වය පාලනය කිරීමට මට එම පුද්ගලයාට වෙඩි තබන්න සිතුණත්,
නියෝගයක් නොතිබුණ නිසා එම තත්්ත්වය පාලනය කිරීම සම්බන්ධව කිරීමට දෙයක් සිතා
ගන්න අපහසු වුණා.
පොලිසිය – වෙඩි තබන්න නියෝගය ලැබුණද?
සාක්කිකරු – ඔව්. පොලිස් පරීක්ෂක සාගර මහතා
විසින් මට නියෝග කළා වෙඩි තබන්න කියලා. මා එම මොහොතේම රියදුරුගේ ජීවිතය
බේරා ගැනීමට හා රියදුරු පාලනයකින් තොරව අනතුරක්වීමට යන ජීප් රථයේ ගමන්
කරමින් සිටි නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා තත්ත්වය පාලනය කිරීමට නියෝග ලද
විගස මාගේ පිස්තෝලයෙන් එක් වෙඩිල්ලක් සැකකරු දෙසට මුදා හැරියා.
පොලිසිය – ඉන් පසු මොකද වුණේ?
සාක්කිකරු – වෙඩි තැබීමත් සමඟ ජීප් රථය මාර්ගයෙන් දකුණු පසට ගොස් ගසක වැදී වේගයෙන් නැවතුණා. සැකකරුගේ ඔලුවෙන් ලේ ගලනවා දැක්කා.
පොලිසිය – රියදුරු පිළිබඳව බැලුවද?
සාක්කිකරු – සැකකරු වෙඩිල්ලෙන් අඩපණ වුණා. රියදුරු පරීක්ෂා කළා. මඳ සිහිගතියෙන් සිටිනවා දුටුවා.
පොලිසිය – වෙඩි නොතැබුවා නම් මොනවා වෙයිද?
සාක්කිකරු – රියදුරුගේ ජීවිතය නැතිවෙන්න
තිබුණා. ජීප් රථය අනතුරට පත් වී ජීප් රථයේ ගමන්ගත් සියලු නිලධාරීන් අනතුරට
පත් වීමට ඉඩ තිබුණා.
පොලිසිය – සැකකරු පරීක්ෂා කළාද?
සාක්කිකරු – පොලිස් පරීක්ෂක සාගර මහතා විසින් සැකකරු පරීක්ෂා කළා. අනතුරුව සැකකරු මිය ගොස් ඇති බව කිව්වා.
පොලිසිය – රියදුරුට මොකද කළේ ?
සාක්කිකරු – ඒ අවස්ථාවේදී පොලිස් පරීක්ෂක
සාගර විසින් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට දුරකථනයෙන් සිද්ධිය දැනුම් දී
නිලධාරීන් කණ්ඩායමක් හා වාහනයක් එතැනට ගෙන්වා ගත්තා. රියදුරු එම වාහනයේ
කොළඹ ජාතික රෝහලට පිටත් කර හැරියා.
පොලිසිය – මහේස්ත්රාත්තුමා එම ස්ථානයට ආවාද?
සාක්කිකරු – ඔව්, සැකකරු මා විසින් හඳුනාගනු ලැබුවා.
මෙහිදී මේ මෙහෙයුමට සහභාගි වූ රියදුරු වන දිසානායක මුදියන්සේලාගේ සරත් චන්ද්‍ර රාජකරුණා මහතා ද සාක්කි ලබා දුන්නේය.
පොලිසිය – 2013/7/4 ඔබේ රාජකාරිය කවරේද?
සාක්කිකරු – උප පොලිස් පරීක්ෂක සාගර මහතා
විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ බිහිසුණු බියවැද්දීම්. මංකොල්ලකෑම්, කප්පම්
ගැනීම්. සිදු කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමකට සූදානම් වන
ලෙස අණ ලැබුණා.
පොලිසිය – ඔබගේ රාජකාරිය කුමක්ද?
සාක්කිකරු – රියදුරු වශයෙන් මාලිගාවත්ත
ප්‍රදේශයට ජීප් රථයෙන් පිටත්වුණා. රාත්‍රී 2.00ට පමණ පිටත් වුණා.
මාලිගාවත්ත පොලිසිය අසල ඇති අතුරුපාරක ජීප් රථය දමා නැවැත්වූවා. මට වාහනය
තුළ ඉන්න කියලා සාගර මහතා ඇතුළු කණ්ඩායම වත්ත ඇතුළට ගියා. මඳ වේලාවකින්
සැකකරුවෙකුට මාංචු දමාගෙන ආවා. ජීප් රථයට ඔහු නංවා විශේෂ කාර්ය බළකා
මූලස්ථානය වෙත යන්න සාගර මහතා අණ කළා.
පොලිසිය – සැකකරු ඔබ දුටුවද?
සාක්කිරු – ඔව්. ජීප් රථයේ මාගේ පිටුපස
ආසනයේ ඔහු වාඩි වුණා. පොහොර උරයක් සාගර මහතා ගෙන ආවා. මරදාන හරහා නිදහස්
චතුරශ්‍රය දෙසට වාහනය පැදෙව්වා.
පොලිසිය – යම් තැනක නවත්වන්න අණ කළාද?
සාක්කිකරු – නිදහස් චතුරස්‍රය ආසන්නයේ
නවත්වන්න නියෝග ලැබුණා. පසුව සාගර මහතා සැකකරුගෙන් ප්‍රශ්න කළා. පසුව
බොරැල්ල ප්‍රදේශයට රථය ධාවනය කරන්න නියෝග ලැබුණා.
පොලිසිය – යම් කිසි සිදුවීමක් වුණා ද?
සාක්කිකරු – ඔව්, වංගුව ආසන්නයේ දී
පිටුපසින් ශබ්දයක් ආවාත් සමඟම මාගේ බෙල්ල තද කළා. හුස්ම ගැනීම අපහසු වුණා.
සාගර අනතුරක් කියලා කෑ ගැසුවා. සුක්කානමෙන් දෙඅත් ඉවත් වුණා. බෙල්ලේ තිබූ
මාංචු ඉවත් කරන්න උත්සහ කළා. වාහනය ඉවතට යනවා දැනුණා. ඉන්පසු මට කිසිවක්
මතක නැති වුණා සිහිය එන විට රෝහලේ සිටියා. එක් දිනක් රෝහලේ නේවාසිකව
ප්‍රතිකාර ලැබුවා.
පොලිසිය – සිද්ධිය පසුව දැනගත්තාද?
සාක්කිකරු – ඔව්. මාගේ ජීවිතය බේරා ගැනීම
සඳහා පිටුපස අසුනේ සිටි නිලධාරීන් සැකකරුට වෙඩි තැබුවා කියලා දැන ගත්තා.
මිය ගිය සැකකරු මාමාස්මි බව දැන ගත්තා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි විභාගය
අවසන් කළ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා ද අල්විස් මෙනවිය මරණ පරීක්ෂණ නියෝගය
සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත නඩුව යොමු කළ අතර මේ
මස 15 දින නියෝගය සඳහා කල් තැබිණ.
කුරුඳුවත්ත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ජයසුන්දර, සැරයන් මෙන්ඩිස් හා සිසිර යන අය පැමිණිල්ල මෙහෙයවීය.
සිරන්ජනි කුමාරි
No comments:
Post a Comment