Monday 29 July 2013

දයා මාස්ටර්ට සන්ධානයෙන් නාම යෝජනා නොලැබීම

උතුර සහ වයඹ පළාත් සභාවලට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් තැබීම අද (29) දිනයේ අවසන් කරන බව ආරංචි මාර්ග පවසනවා. ඊයේ දිනය වන විට නාම යෝජනා අත්සන් තැබීම සියයට 95කින් පමණ අවසන්ව තිබුණා. නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු සිදුවුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. උතුරු පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා අපේක්ෂාවෙන් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් ට නාම යෝජනා හිමි වූයේ නැහැ. නිදහස් සන්ධානයෙන් නාම යෝජනා හිමි නොවීම පිළිබද හිරු ප‍්‍රවෘත්ති අංශය දයා මාස්ටර්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පක්ෂයේ තීරණයට තමන් හිස නමන බවයි. උතුරු පළාත්සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන බවට දයා මාස්ටර් මීට පෙර ප‍්‍රකාශ කළා. පසුගිය 19 වන දා යාපනය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී ඔහු ප‍්‍රකාශ කළේ උතුරේ ජනතාවට සේවය කිරීම සඳහා තමන් සන්ධානයෙන් පළාත් සභාවට තරග කරන බවයි. මෙවැනි පසුබිමක් තුළ දයා මාස්ටර්ට සන්ධානයෙන් නාම යෝජනා නොලැබීම පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය විමසා සිටියේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යා කෙහෙලිය රඹුක්වැල්ලගෙන්. මේ ඔහු ඊට දැක්වූ ප‍්‍රතිචාරයයි.

No comments:

Post a Comment