Thursday 25 July 2013

විභාග අවුල පැතිරේ

http://sinhalanews.readsrilanka.com/wp-content/uploads/2013/07/students-in-exam.jpgඋතුරු මැද පළාතෙන් ආරම්භ වූ පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව ඊයේ වන විට කොළඹ, හම්බන්තොට අධ්‍යාපන කලාප දක්වාද පැතිර ගොස් ඇත. කොළඹ අධ්‍යාපන කලාපයේ 10 සහ 11 ශ්‍රේණිවල පාසල් වාර විභාගයට අදාළව වාණිජ විෂය පැවැත්වීමට ඊයේ නියමිතව පැවැතියද එක් පාසලක ඉකුත් 18 වැනිදා එම විෂය යටතේ විභාගය පැවැත්වීම හේතුවෙන් අනෙකුත් පාසල්වල එම විෂයට අදාළ විභාග කටයුතු ලබන 29 වැනිදාට කල් දමා තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී කොළඹ කලාප අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිල්වා මහතා පැවැසුවේ සියලු ප්‍රශ්න පත්‍ර ආරක්ෂා සහිතව අදාළ පාසල්වලට යොමු කළ බවත් ඉකුත් 18 වැනිදා වාණිජ ප්‍රශ්න පත්‍රයේ II කොටස හා ඊයේ (23 දා) එම ප්‍රශ්න පත්‍රයේ I කොටස යටතේ විභාගය පැවැත්වීමට නියමිතව තිබූ බවත්ය.
එහෙත් කලාපයේ එක් පාසලක ඉකුත් 18 වැනිදා වාණිජ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකම ලබා දෙමින් විභාගය පවත්වා ඇතැයි ඒ මහතා කීය. ඒ හේතුවෙන් අනෙකුත් පාසල්වලට ඊයේ (23 දා) පැවැත්වීමට නියමිත වූ එම විෂයට අදාළ විභාග කටයුතු කල් දැමූ බව කී ඒ මහතා ඒ බැව් සියලු පාසල්වලට දැනුම්දීමට තමන් කටයුතු කළ බවද පැවැසීය.
මේ අතර හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ඊයේ (23 දා) පැවැති විභාගයේදී මුද්‍රණ දොෂ සහිතව සිංහල ප්‍රශ්න පත්‍රයේ II කොටස සිසුන් අතට ලැබී ඇත. දිගින් දිගටම උතුරු මැද පළාතේ පාසල්වාර විභාග ගැටලු මතු වූ අතර ඊයේ (23 දා) දිනයේදීද එම ගැටලුකාරි තත්ත්වය දැකගත හැකි විය. ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් 7 ශ්‍රේණියේ සිසුන්ට ප්‍රශ්න පත්‍රයේ අපැහැදිලි රූප සටහන් හේතුවෙන් දැඩි පීඩාවකට මුහුණදීමට සිදු වූ අතර සිංහල මාධ්‍යයෙන් එම විෂයට මුහුණ දුන් 9 ශ්‍රේණියේ සිසුන්ට කොටස් අඩුවෙන් මුද්‍රණය වූ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට සිදු විණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසුවේ ලොව විශාලතම ඇසළ සිසු පෙරහර වැනි සිය දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගැනීමේ වැඩ හැර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු ගැන සොයා බැලීමට අධ්‍යාපන ඇමැතිවරයාට කාල වේලාවක් ඉතිරිව නැති බවයි.
උපුටා ගැනීම: මව්බිම

No comments:

Post a Comment