Thursday 25 July 2013

අමාත්‍ය එස්.බී නාවින්න කලකිරීමෙන්

දයාසිරිව ආණ්ඩුවට ගත්තේ නාවින්නට බොරු කියලා

sb-navinna-dayasiri


සන්ධාන ආණ්ඩුව විසින් අමාත්‍ය එස්.බි.නාවින්න මහතාට එක් නීතියකුත්,එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එක් කරගැනීමේදී දයාසිරි සම්බන්ධව තවත් නීතියකුත් අනුගමනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී නාවින්න මහතා කලකිරීමෙන් පසුවන බව දැන ගන්නට තිබේ.

එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි. එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.

නාවින්න මහතා සම්බන්ධව ඇමති මෛත්‍රිපාල නීති දමන විට දයාසිරි ජයසේකර මහතා ට සන්ධානයෙන් වයඹ මහඇමති ධුරය අපේක්ෂකත්වය ලබාදීම සහ ඔහු ට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ගැන දේශපාලන කසු කුසු පැවතිනි. ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතර මේ සම්බන්ධව සාකච්ඡා වට පැවැත්වෙමින් තිබු බව ද අනාවරණය වෙමින් තිබිණ.

මේ ගැන ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතර තීරණාත්මක සාකච්ඡා 23 දා පැවති අතර සන්ධානයෙන් නාමයෝජනා ලබා දිය හැකි නමුත් වයඹ මහඇමති ධුරය අපේක්ෂකත්වය ලබාදීම කල නොහැකි බව දයාසිරිට දැනුම් දීම සමග ඔහු තම තීරණය වෙනස්කර එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග වයඹ පළාත සඳහා එ. ජා. ප අපේක්ෂකයන් තේරීමේ කටයුතුවල නියැලී තිබිණි.

මෙකි තත්ත්වය අරලියගහ මන්දිරයට වාර්තා වීම සමග දයාසිරි එහි කැඳවා තිබේ.ජනාධිපතිවරයා සමග 23 දා රාත්‍රියේ පැවති දීර්ඝ සාකච්ඡාවේදී වයඹ මහඇමති ධුරය අපේක්ෂකත්වය දයාසිරිට ලබා දෙන බවට ලිඛිතව පොරොන්දු වූ පසු දයාසිරි විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රචි කරුණානායක මහතාට තමන් නිශ්චිතවම පක්ෂය හැර යන බව දුරකථන මගින් දැනුම් දුන් බව ප්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග හෙළිකළේය. මේ බව එ. ජා. ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වීමට දයාසිරි උත්සහ දරා ඇතත් වික්‍රමසිංහ මහතා එකී ඇමතුම් ප්‍රතික්ෂේප කර තිබිණි.

No comments:

Post a Comment