Monday 22 July 2013

ප්‍රධාන රේගු නිලධාරියා පරීක්ෂණයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

මතභේදයට තුඩු දී ඇති වියට්නාමයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වූ එතනෝල් මද්‍යසාර ස්පී්‍රතු කන්ටේනර් දෙක පිළිබඳ පරීක්ෂණ පවත්වන රේගු නිලධාරීන්ට කරන ලද ජීවිත තර්ජන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා අද කොටුව ‍පොලිසියට පැමිණෙන ලෙස රේගු නිලධාරීන්ට සහ තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට ‍පොලිසිය දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොනවත්වන බව රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරියෙක් ‘රිවිර’ට ඊයේ පැවසීය.
මේ අතර මෙම එතනෝල් සිද්ධියේ සැකකරුවන්ගේ පාර්ශ්වයේ නීතිඥවරු රේගුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමු වී දැනට සිදු කෙරන පරීක්ෂණ වෙනත් පැත්තකට හැරවීමේ උත්සාහයක් දරා ඇති බව ද අනාවරණය වෙයි.
මෙම එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රධාන රේගු නිලධාරියා ඉවත් කර වෙනත් අයකු ඒ සඳහා පත් කරවා ගැනීම මොවුන්ගේ ව්‍යායාමය වී ඇතැයි ද වාර්තා වේ.
මෙයට පෙර ද අවස්ථා තුනකදීම මෙම ප්‍රධාන රේගු නිලධාරිවරයා ඉවත් කරවා ගැනීම සඳහා ලිඛිතවම ඉල්ලීම් කර ඇතත් ඒ සියලු ඉල්ලීම් නිෂ්ප්‍රභ වී ඇති බව ද කියති.
රේගුවේ පරීක්ෂණ පවත්වන නිලධාරියා පරීක්ෂණයෙන් ඉවත් කර ගැනීමට කළ සැලසුම් සහ උත්සාහය අසාර්ථක වීම නිසා රේගු නිලධාරීන්ට තර්ජන හා බලපෑම් කර ගැටුමක් නිර්මාණය කර ගැනීම උපක්‍රමය ලෙස යොදාගෙන තිබෙන බව ද රේගුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.
එල්ලවන තර්ජන ගර්ජනවලට යට නොවී මෙම මස 31 දා මෙම පරීක්ෂණයේ තීන්දුවක් දීම තම අදහස බව ද රේගුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ අතර එතනෝල් සිද්ධිය සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන පරීක්ෂණ වැඩිදුරට ගෙන නොගොස් ගොඩින් බේරා දෙන ලෙස රේගුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමුවට පැමිණි දේශපාලනඥයකු සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයකුගේ සහෝදරයෙක් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වේ.
මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා හමු වී පිටතට යන දේශපාලනඥයාගෙන් රේගු නිලධාරීන් “ඔබතුමා මොකද මෙහෙ?” යැයි විමසූ විට “මම වෙනත් ප්‍රශ්නයක් සඳහා කතාකර ගැනීමට පැමිණියේ.” යැයි ඔහු රේගු නිලධාරීන්ට පවසා ඇත.
පසිඳු සමරවීර

No comments:

Post a Comment