Tuesday 23 July 2013

කුමරන් පද්මනාදන් ජාතික වීරයකු ලෙස හැදින්වීම රණවිරුවන්ට කරන අපහාසයක් නොවේද?

කොත්මලේ ස්වීඩනයෙන්ද, වික්ටෝරියා එංගලන්තයෙන්ද, රන්දෙනිගල හා රන්ටැඹේ ජර්මනියෙන්ද යන ජල විදුලිබලාගාර 4 එජාප රජය සමයේ පිටරටට ශතයක ණයක් නැතිව ලැබුණු බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම කිසිදු බලාගාරයක් ණය අරගෙන ඉදිනොකළ බවත් ඒවා සියල්ල ලැබුණේ තෑගි ලෙස බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද (22) මහනුවර හේවාහැට එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් කීවේය.

ජේ.ආර් ජනපති කාලයේදී ගාමිණි දිසානායක මහතාට ඒවා ක්‍රියාත්මක කිරීමට දුන් බව ඔහු පැවසීය.

චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉහළ කොත්මලේත්, සී.පී. ද. සිල්වා මහතා උඩවලවේත්, හැදූ ජල විදුලිබලාගාර 2ක හැරුණු විට මෙරට ජල විදුලිය නිපදවන ජලාශ 15කින් 13ක්ම එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඒවා බව හෙතෙම පැවසිය.

කෙසේ වුවද අද වන විට වත්මන් ආණ්ඩුව ජනතාවට සොබාදහමෙන් ලැබෙන වාසිය පවා කොල්ලකමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

අප්‍රේල් මාසයේ සිට මෙරට ජල විදුලි නිෂ්පාදන ගාස්තු පහල බැස ඇති අතරම ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල ද පහළ ගොස් ඇති බව හෙතෙම පැවසීය.

එහෙත් එම වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.

මේ අතර විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර පල්ලේකැලේ, කුණ්ඩසාලේ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල රැස්වීම ද ඊයේ ඇමතු අතර එහිදී ඔහු මෙසේ පැවසීය.

මැතිවරණ ජය ගැනීමට නම් සියලූ දෙනාම එකට එක්ව වැඩ කළ යුතු අතර, එසේ නොවුණොත් පරාජයට පත් වනවා. යුද්ධයක් ජය ගැනීමට නම් ශක්තිමත් හමුදා බල ඇණි අවශ්‍ය වනවා සේම, බලය ලබා ගැනීම සඳහා අප අපේ ශාකා, යොවුන් සහ ලක්වනිතා සමිති යන බල ඇණි ශක්තිමත් කළ යුතුයි.

රටත් ජනතාවත් දැඩි අර්බුදයකට ලක්ව සිටින මේ වර්තමාන මොහොත සහ මේ යුගය ඉතාම තීරණාත්මක අවස්ථාවක් බව කිව යුතුයි.

සිනමා චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම, බුදු දහම ගැන ග‍්‍රන්ථ රචනා කිරීම, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම සහ ජනමාධ්‍ය නිදහස ඇතුළු සියල්ල තහනම් කරමින් ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ රෙජිමය ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙනවා.

ඒකාධිපති රෙජිමය තහනම් කළ රටේ සහ ජනතාවගේ නිදහස නැවත දිනා ගැනීම සඳහා කළ යුත්තේ සියලූ පාර්ශ්වයන් එකට එක්ව එම රෙජිමය තහනම් කිරීමයි.

පියාඹන මාළුවෝ නැමැති චිත‍්‍රපටයට ගාමිණි සුමනසේකරගේ සභාපතිත්වයෙන් යුතු රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය දී තිබිය දී රහස් පොලිසිය එම චිත‍්‍රපටය තිරගත කිරීම තහනම් කර තිබෙනවා.

රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ චිත‍්‍රපටයක් තිරගත කිරීම තහනම් කිරීමට රහස් පොලීසියට තිබෙන අයිතිය සහ බලය කුමක්ද? රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය යම් චිත‍්‍රපටයකට ලැබුණා නම් එම චිත‍්‍රපටය තිරගත කළ යුතුයි.

ශ‍්‍රී ලංකා රහස් පොලීසිය කියා සිටින්නේ මේ චිත‍්‍රපටයෙන් හමුදාවට අපහසයක් සිදු වන නිසා එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම වැළැක්වූ බවයි.

ආරක්ෂක හමුදාවන් අපකීර්තියට පත් කිරීමේ අපරාධය යනුවෙන් අපරාධයක් ඇත්තේ නැහැ. එම චිත‍්‍රපටය මගින් සැබෑ ලෙසම ආරක්ෂක හමුදාවට අපකීර්තියක් සිදු වන්නේ නම් ඊට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරනු ඇති අතර එවැනි අපහාසාත්මක චිත‍්‍රපට තහනම් කළ හැක්කේ ජනමතය මගිනුයි.

මේ චිත‍්‍රපටය මගින් හමුදා නායකයින් ඇතුළු අයගේ අනියම් සබඳතා ආදී තොරතුරු හෙළි කරමින් ඒ අයට අපහස කරන බව මේ අය චෝදනා කරනවා.

ලෝකයේ ප‍්‍රධානතම හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් පවා අනියම් සබඳතා ආදිය තිබූ බව කියැවෙනවා. මේ කියන අනියම් සබඳතා ගැන සොය සොයා කතා කරමින්, චෝදනා එල්ල කරමින් සිටිනවා නම් අපට කිසිවක් කිරීමට හැකි වන්නේ නැහැ.

දිවි පරදුවට තබා යුද්ධය ජයග‍්‍රහණය කරා මෙහෙය වූ විරෝදාර රණවිරුවන්ට හොඳ අනාගතයක් උදාකරන බවට දුන් පොරොන්දු උල්ලංඝණය කරමින් ඒ අයව තණ කොළ කැපීමට යොදවා කුමරන් පද්මනාදන්ව ජාතික වීරයකු ලෙස හැදින්වීම රණවිරුවන්ට කරන අපහසයක් නොවේ දැයි ඒකාධිපති රෙජිමයෙන් අප ප‍්‍රශ්න කරනවා.

ඕනෑම අයෙකුට අදහස්, ආකල්ප සහ අභිමතය පරිදි සිනමා නිර්මාණයක් කළ හැකි වන අතරම අයිතිය වෙනුවෙන් ඉඩදිය යුතුයි. එමෙන්ම එම චිත‍්‍රපටය නැරඹිමට සියලූදෙනාටම අයිතියක් තිබෙන බවත් කිව යුතුයි.

එම චිත‍්‍රපටයේ යම් වරදක් තිබෙනවා නම් හෝ එමගින් යම් අයෙකුට අපහසයක් සහ අගෞරවයක් සිදු වනවා නම් ඊට එරෙහිව නඩු පැවැරිය හැකියි. ජනතාවගේ මූලික අයිතිවාසිකම් යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන අතර එම අයිතීන් ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා.

සිය අදහස්, ආකල්ප සහ අභිමතය පරිදි සිනමා නිර්මාණයක් කිරීමටත්, එම චිත‍්‍රපටය නැරඹිමටත් ජනතාවට තිබෙන අයිතිය අහිමි කිරීම ද්‍රෝහී ක‍්‍රියාවක් බව කිව යුතුයි.

විවිධ නිර්මාණ ඇතුළු විවිධ මාර්ග ඔස්සේ සිය අදහස් සහ යෝජනා නිදහසේ ඉදිරිපත් කිරීමට ජනතාවට තිබෙන මූලික අයිතිය ආදී සියලූ අයිතීන් උල්ලංඝණය කරමින් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ ගමන් කරන්නේ ඒකාධිපති රාජාණ්ඩුවකටයි.

බුදුන් වහන්සේ වදාළ ධර්මය අළලා මම රචනා කළ දේශපාලනය සහ ධර්මය යන ග‍්‍රන්ථය ද මහ අපරාධයක් බවට මේ අය චෝදනා කරනවා.

අවිහිංසාව, සමානාත්මතාවය සහ මෛත‍්‍රීය ඇතුළු සංකල්ප ගැන දේශනා කරමින් බුදුන් වහන්සේ ඉන්දියාවේ බුද්ධගයාවේ බෝගහ යට වැඩ සිටිමින් කළ මහ විප්ලවය දේශපාලනය සහ ධර්මය, ග‍්‍රන්ථය මගින් මම මුළු ලොවටම විස්තර කිරීම අපරාධයක් වන්නේ කෙසේද?

අශෝක අධිරාජ්‍යයා දිග් විජය ප‍්‍රතිපත්තිය අතහැර ධර්ම විජය ප‍්‍රතිපත්තියට මාරු වී ඒ අනුව ක‍්‍රියා කරමින් සිය අධිරාජ්‍ය පුළුල් කර ගත් බව මම එම ග‍්‍රන්ථය මගින් පෙන්වාදුන්නා.

ථෙරවාදී බුදු දහම ශ‍්‍රී ලංකාවෙන් තායිලන්තයට, මියන්මාරයට සහ කාම්බෝජයට පැතිර ගිය ආකාරය, බුද්ධ ධර්මය හේතුවෙන් ඇතිවූ නවීකරණය, ලෝකයේ ඇති වූ දේශපාලන පෙරළිය සහ අනේක ජාති සංසාරං ආදී සංකල්ප ඇතුළු කරුණු කාරණා මේ පොත මගින් විග‍්‍රහ කිරීම අපරාධයක් ද?

ශ‍්‍රී ලංකා රහස් පොලීසිය සහ එම අධ්‍යක්‍ෂවරයා නම් කියා සිටින්නේ එසේ කිරීම අපරාධයක් බවයි. ඒ අනුව රහස් පොලීසිය මේ සම්බන්ධයෙන් මගෙන් ද ප‍්‍රශ්න කිරීමට උත්සාහ කරනවා. මේ ක‍්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව යටතේ මිනිසුන්ගේ නිදහස සහ අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගෙන සිටින අතර, කිසිදු විශ්ව විද්‍යාල භූමියකට ඇතුළුවීම ඔහුට සපුරා තහනම් කර තිබෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයේදී අප ද එදා උද්ඝෝෂණය කළා. මිනිස් ජීවිත සහ දේපොළවලට හානියක් නොවන්නේ නම් එසේ උද්ඝෝෂණය කිරීමේ ප‍්‍රශ්නයක් ඇත්තේ නැහැ.

යම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක් වරදක් කරන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවැරිය හැකියි. ඔහු හෝ ඇය විශ්ව විද්‍යාලයට ඇතුළුවීම අනතුරුදායක නම් ඊට අදාළ සාක්කි, සාධක සහ තොරතුරු ඉදිරිපත් කරමින් ඒ ඒ විශ්ව විද්‍යාල අධිකරණය හමුවේ නඩු පවරා ඒ සඳහා අධිකරණ නියෝගයක් ගත යුතුයි.

එසේ නොමැතිව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කරන්නේ කෙසේද? අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක වන නිසා මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අප ප‍්‍රශ්න කිරීමට තීරණය කර තිබෙනවා.

”පියාඹන මාළුවෝ” චිත‍්‍රපටය තිරගත කිරීම තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව කියා සිටින්නේ ජනතාව නැරඹිය යුත්තේ චිත‍්‍රපට නොව අතිවිශාල මහජන මුදල් කන්දරාවක් නාස්ති කරමින් සංවිධානය කරන ඒ අයගේ රාත‍්‍රී කාර් ධාවන තරග පමණක් බවයි. විශාල මුදලක් ගෙවා මේ රාත‍්‍රී කාර් ධාවන තරග නැරඹිමට යන අයට මේ අය රුසියානු ගැහැණුන් ද ලබා දෙනවා.

නමුත් “පියාඹන මාළුවෝ” චිත‍්‍රපටය නරඹන අයට නම් රුසියානු ගැහැණු ලබා නොදෙන අතර, “දේශපාලනය සහ ධර්මය” නැමැති ග‍්‍රන්ථයේද රුසියානු ගැහැණුන් ගැන සඳහන් වන්නේ නැහැ. එමෙන්ම බුදුන් වහන්සේගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රාත‍්‍රී කාර් ධාවන තරග ඇත්තේ ද නැහැ.

නිදහස් ජනමාධ්‍ය මර්දනය කරන ආණ්ඩුව නැවත නැවත ලිවීම දුකක්ය යන ස්ථාවරයේ පිහිටා ආණ්ඩුවට විරුද්ධව ලියන අය සුදු වෑන් මගින් පැහැරගන්නා අතර කාම සුඛල්ලීකානු යෝගයේ යෙදීම සඳහා ඇතැම් මාධ්‍යවේදීන්ට “අයි පොඩ්” වර්ගයේ ලැෆ්ටොප් පරිගණක ලබා දෙනවා.

රටට ජනතාවට එරෙහිව පනවා තිබෙන සියලූම තහනම් නියෝග අහෝසි කර අහිමි කළ නිදහස දිනා ගැනීම සඳහා සියලූ දෙනාම එකට එක්ව ඒකාධිපති රෙජිමය වහාම තහනම් කළ යුතු අතර එම සටන මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී මේ මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ජයග‍්‍රහණය කරා මෙහෙය වනවා.

වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බලය අතට ගෙන ඔහුට අනුව ක‍්‍රියා කරමින් ආණ්ඩුව සියලූ දේ තහනම් කිරීමට එරෙහිව එකට එක්වී දැඩි විරෝධය පළ කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරමින් 2014 දී ජාතික මැතිවරණයක් ගෙන එම මැතිවරණය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි.

ඒ සඳහා ශාඛා, යොවුන් සහ ලක්වනිතා යන අපේ සමිති වහාම ශක්තිමත් කර බල ගැන්විය යුතු අතර, රට පුරා සියලූම ශාඛා සමිති පිහිටුවීමේ වැඩ කටයුතු එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසීය.

මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණ සඳහා ඉතාම ප‍්‍රබල ශක්තිමත් සහ බුද්ධිමත් කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගොඩනැගීමේ මුල් පියවර සහ පෙරහුරුව ලෙස මේ පළාත් සභා මැතිවරණ සලකා සියලූ දෙනාම එකට එක්ව වැඩ කළ යුතුයි. සෑම මැතිවරණයකින්ම මේ ආණ්ඩුව ජය ගත්තා නම් එසේ ජය ගත්තේ අපේ පාක්‍ෂිකයන් ඡන්ද පොළොට නොපැමිණීමේ හේතුවෙන වන නිසා මේ පළාත් සභා මැතිවරණයේදී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පාක්‍ෂිකයින් සියලූ දෙනාම ඡන්දපොළට ගොස් 2014 දී අපේ ආණ්ඩුව නියත ලෙස ගොඩනැගීම සඳහා ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ යුතුයි.

වැඩි කළ විදුලිය ගාස්තුව ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වය හමුවේ ජීවිතය ගැට ගසා ගැනීම ජනතාවට තව තවත් අමාරුවී තිබෙන අතර, ජනතාවගේ සියලූම බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් තිබෙන බව පැහැදිලියි.

රට පුරා සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාක්‍ෂිකයින් එක්සත් ජාතික පක්‍ෂය වටා රොක්වීමෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව ගැන එම පාක්‍ෂිකයින්ම කෙතරම් කලකිරී සිටිනවා ද යන්න පිළිබඳවයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව මේ වන විට දැඩි අභ්‍යන්තර අර්බුදයකට ලක්ව සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බව කිව යුතුයි.

දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා මගින් ආණ්ඩුවේ හෙංචයියන් විශාල ලෙස මුදල් උපයා සුර සැප විඳින නමුත් කිසිදු සහනයක් නොමැති ජනතාවට සිදුව තිබෙන්නේ විඳීමට නොව සියල්ල විඳවා ගැනීමටයි.

මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී අත්වන අන්ත පරාජය දැක භීතියට පත්ව වියරු වැටී සිටින ආණ්ඩුව භීෂණය සහ මර්දනය පතුරුවා ජන බලවේගය මර්දනය කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා.

ආණ්ඩුවේ හොරකමට සහ මැරකමට එරෙහිව හොඳ පාඩමක් ඉගැන්වීමට ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ දේශපේ‍්‍රමී ජනයා රටත්, ජනතාවත් වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සමග එකට එක්ව සිටිනවා.

එහිදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

2014 දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගොඩනැගීමට නම් මේ තීරණාත්මක පළාත් සභා මැතිවරණ අප ජය ගත යුතු වන නිසා සියලූ දෙනාම “ගේන් ගෙට” ගොස් ජනතාව දැනුම්වත් කරමින් ආණ්ඩුවට එරෙහිව සියලූ ජනයා පෙළ ගැස්සවිය යුතුයි.

ගුරුවරියක් දණ ගස්සවා ගුරු වෘත්තීයට මහ අගෞරවයක් සහ අපහසයක් කරමින් මුළු රටටම ඉතාම බියකරු ආදර්ශයක් දුන් කුරුණෑගල ප‍්‍රාදේශීය දේශපාලකයාට ආණ්ඩුව මධ්‍යම පළාත් සභා මැතිවරණයට නාම යෝජනා ලබා දී අවනීතියට රජකම නොව ශක්විති රජකම දී තිබෙනවා.

ජීවන අර්බුදය සහ අවනීතිය හේතුවෙන් මුළු රටම විනාශ වී ජනතාව අන්ත අසරණවී සිටියත් ආත්මාර්ථකාමී සහ දේශද්‍රෝහී ආණ්ඩුවට රටත් ජනතාවත් ගැන කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. මේ ආණ්ඩුවට කැක්කුමක් තිබෙන්නේ රටත් ජනතාවත් ගැන නොව හොරකම සහ මැරකම ගැන පමණක් වන නිසා මේ මොහොතේවත් යතාර්ථය තේරුම් ගෙන ජනතාව හොඳ තීරණයක් ගත යුතුයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දකුණු පළාත් සභා මැතිවරණය ජයගනිමින් එදා ආණ්ඩු බලය අතට ගත්තා සේම මධ්‍යම පළාත් සභා මැතිවරණය ජය ගෙන 2014 දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පිහිටුවීමට අප කවුරුත් දැන් සූදානම් විය යුතුයි.

ආණ්ඩුවේ භීෂණයට සහ මර්දනයට මුහුණු දී ඒ සියලූ අභියෝග ජය ගෙන මධ්‍යම පළාත් සභා මැතිවරණය ජය ගැනීමට අපේ සියලූම බලවේග ජනතාව වෙනුවෙන් සිරුවෙන් තැබීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු යොදා තිබෙනවා.

No comments:

Post a Comment