Tuesday 30 July 2013

තවත් බාල පෙට්‍රල් තෙල් නැවක් වරායට ඇවිත්

oiltransrerතවත් ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000 ක නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බාල පෙට්‍රල් තොගයේ නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරික්ෂණාගාරය විසින් පරික්ෂාවෙන් පසු දැනුම් දි ඇත. මෙම පෙට්‍රල් තොගයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000 ක් ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල්වන අතර මෙට්‍රික් ටොන් 5000 ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වේ. එම තෙල් තොගය ‘චයිනා ඔයිල් කම්පැනි’ නම් සිංගප්පුරු සමාගමෙන් ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ආනයනය කර ඇති අතර නැවෙන් ලබාගත් පළමු තෙල් සාම්පලය පරික්ෂා කිරීමේදි එහි නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බව සපුගස්කන්ද තෙල් පරීක්ෂණාගාරය විසින් දැනුම් දි ඇත.
එසේ වුවද තෙල් සංස්ථා ඉහළ කළමණාකාරිත්වයේ බලපෑම මත මෙය දෙවන සාම්පල පරික්ෂාවකට යොමු කර ඇතැයි එහි වෘත්තීය සමිති සඳහන් කරයි. පාලන අධිකාරිය උත්සාහ කරන්නේ මෙම තෙල් තොගය ගොඩ බෑමට යයිද සංස්ථා වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වාදෙයි.
කෙසේ නමුත් තෙල් සංස්ථාවේ පරික්ෂණාගාරය විසින් පරික්ෂා කිරිමෙන් පසු දෙවන පරික්ෂණයකට යොමු කරන්නේ නම් එය කළ යුත්තේ විදේශ රටකට යවා බවත් දෙවන පරික්ෂණයක් නැවත මෙරට තුළදිම පැවැත්වීම ගැටලු සහගත බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙරටට ආනයනය කළ ඉන්ධන තොගය ප්‍රමිතියෙන් තොර බවට දෙවන පරික්ෂණයෙන්ද ඔප්පු වුවහොත් මෙම තෙල් තොගය ප්‍රතික්ෂේප කරන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමති අනුර ප්‍රියදර්ශන මහතා උපදෙස් දී තිබේ.
ලසන්ත වීරකුලසූරිය

No comments:

Post a Comment