Tuesday 23 July 2013

ලංකා විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා ගුවන් සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව නිසා සමස්ත රාජ්‍ය ආයතනම පාඩු ලබා ඇත

සමස්ත රාජ්‍ය ආයතන ලබන පාඩුවෙන් සියයට 98ක්ම සිදුවන්නේ ආයතන 4කින් බව, පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කෙරුණු පොදු ව්‍යාපාර කාරක සභා හෙවත් කෝප් වාර්තාවෙන් හෙළිවිය.
ලංකා විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා ගුවන් සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව එම ආයතන 4යි.
රාජ්‍ය ආයතන 244ක් මෙවර විමර්ශනයට ලක්කර ඇත. වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ආයතන 72කින් 16ක් පාඩු ලබන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් වාර්තාවේ ඇතුළත්වේ.
එම රාජ්‍ය ආයතන 2011 වසරේ සිට  අඛන්ඩව පාඩු ලබා ඇති බව ද  අනාවරණයවිය. මෙම රාජ්‍ය ආයතන 16න් 14 ක් 2009 වසරේ සිටම අඛණ්ඩව පාඩු ලැබීමද විශේෂත්වයකි.

වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවට එක් වූ කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඒ පිළිබඳ කරුණු දැක්විය. රාජ්‍ය ආයතන පාඩු ලැබීමට හේතුවන කරුණු කිහිපයක් ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
මාධ්‍ය හමුවට එක්වූ කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා කියා සිටියේ,  රාජ්‍ය ආයතනවලට ප‍්‍රධානීන් පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කිරීමට පියවර ගත යුතු බවයි.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ කමිටු සාමාජික එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා පැවසුවේ, වංචා දූෂණ හෙළි කිරීමේදී මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙන බවයි.

No comments:

Post a Comment